Home » ක්‍රිකට් උපන් එංගලන්තයේ දස්කම් පාන ශ්‍රී ලංකාවේ පියපුතු තුන්කට්ටුව

ක්‍රිකට් උපන් එංගලන්තයේ දස්කම් පාන ශ්‍රී ලංකාවේ පියපුතු තුන්කට්ටුව

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

එංගලන්තයේ ප්‍රාන්ත තරග නියෝජනය කිරීමේ අවස්ථාව ලැබූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ බොහෝ වෙති. එහෙත් එංගලන්තයේ ජාතික කණ්ඩායමක් නියෝජනය කිරීමේ අවස්ථාව උදා වූයේ ඒ අතරින් එකම ක්‍රීඩකයකුට පමණි. කොළඹ ආනන්ද විදුහලෙන් බිහි වූ මේ ක්‍රීඩකයා වමතින් පාදඟ පන්දු යවන අමල් දළුගොඩ ය. පුහුණුකරුවකු ලෙස 2006 වසරේදී එංගලන්තයට ගිය අමල් දළුගොඩ අවසානයේදී නතර වූයේ එංගලන්තයේ අවුරුදු 50න් ඉහළ ජාතික කණ්ඩායමේ සාමාජිකයකු බවට පත් වෙමිනි. පසුගිය මැයි මාසයේදී එංගලන්ත ජාතික කණ්ඩායමේ හිස්වැස්ම පැලඳ වේල්ස් කණ්ඩායම සමඟ සිය පළමු තරගයට ක්‍රීඩා කළ අමල් දළුගොඩ එහිදී කඩුලු 2ක් දවාලීමට සමත්වූ අතර, එම තරගයෙන් එංගලන්ත පිල ලකුණු 106ක ජයක් අත්කර ගත්තේය. අනතුරුව එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර අවුරුදු 50න් ඉහළ ‘අළුබඳුන‘ තරගාවලියට ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබූ අමල් එවැනි ගෞරවයක් අත්කර ගත් පළමු ආසියාතික ක්‍රීඩකයා ද වේ. අවුරුදු 50න් ඉහළ ජාත්‍යන්තර මාස්ටර්ස් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ලබන වසරේ පෙබරවාරියේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අතර, එංගලන්තය නියෝජනය කරමින් එම තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ද අමල්ට ලැබෙනු ඇත.

අමල් දළු­ගොඩ

අමල් දළු­ගොඩ

මේ වන විට 51 හැවිරිදි වියෙහි පසුවන අමල් දළුගොඩ එංගලන්තයේ පදිංචියට ගියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමේ එළිපත්තේ සිටියදීය. ශ්‍රී ලංකාවේ ප්‍රබලතම දඟපන්දු යවන්නන් ලෙස අනූව දශකයේදී අන්තර් සමාජ ක්‍රිකට් පිටියේ නමක් දිනා සිටි අමල් දළුගොඩ දෙවැනි වූයේ මුත්තයියා මුරලිදරන්ට සහ රංගන හේරත්ට පමණි. එහෙත් ඔහුට ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාවක් හිමි වූයේ නැත. වසර 1989, 1990 සහ 1991 ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාම ත්‍රිත්වයකටම ක්‍රීඩා කළ මේ විශිෂ්ට පා දඟ පන්දු යවන්නා පාසල් තරග බිමෙන් පසු චරිත් සේනානායකගේ නායකත්වයෙන් යුතු සීසීසී ක්‍රීඩා සමාජයට එක්විය.

විදෙස්ගත වෙන්න හේතුව

‘එතකොට සීසීසී එකේ ටෙස්ට් ගහන ක්‍රීඩකයන් 10ක්ම හිටියා. මම විතරයි ටෙස්ට් නොගහපු ක්‍රීඩකයකුට හිටියේ. අපේ තේරීම් කමිටුවලට පින්සිද්ධ වෙන්න මට නැෂනල් ගහන්න අවස්ථාව නැතිවුණා. ඒත් ඒ කාලයේ අන්තර් සමාජ තරග බිමේ හැම අවුරුද්දේම නොම්මර එකේ දඟපන්දු යවන්නා වුණේ මමයි. ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමටත් තේරුණා. ඒ කාලයේ ඉන්දියාවේ ටෙස්ට් සංචාරයක් තිබුණා. අන්තිම මොහොතේ මාව කැපුණා. ඊට පස්සේ සිම්බාබ්වෙ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී අවස්ථාවක් ලැබෙන බව කිව්වා. ඒකත් වුණේ නෑ. අවස්ථා අහිමි වෙද්දී ඇතිවෙච්ච කලකිරීමත් පවුලේ තිබුණු අගහිඟකම් නිසාත් විදෙස්ගතවෙන්න මම තීරණය කළා.‘ අමල් දළුගොඩ ‘සිළුමිණ‘ සමඟ කතාබහට එක්වූයේ එලෙසිනි.

‘අපි දකුණු පළාතේ මාතර තුඩාවේ. කොළඹ ඇවිත් කුලී ගෙදරක ඉඳලයි මමයි අයියයි (නෙවිල් දළුගොඩ) ඉස්කෝලේ ගියේ. අපේ තාත්තා අලුත්කඩේ උසාවිය ළඟ ක්ලාක් ටයිපිස්ට් රැකියාවක් කළා. අම්මා නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපිකාරිනියක් හැටියටයි වැඩ කළේ. ඇත්තටම ඒ කාලේ අපිට සෑහෙන ආර්ථික දුෂ්කරතා තිබුණා. මේ හැම දෙයක්ම හරි ගියේ මම රට ගියාට පස්සෙයි.‘ අමල් එසේ කීවේය.

‘2006දී මම එංගලන්තයට ගියේ ක්‍රිකට් පුහුණුකරුවෙක් අවශ්‍යයි කියලා තිබුණු වේකන්සි එකකට අනුවයි. එතකොට මම දෙවැනි මට්ටමේ පුහුණුකරුවෙක්. එංගලන්තයට ආපු මුල් කාලයේ මම පුහුණුකරුවෙක් විදිහට වැඩ කරන ගමන් ක්‍රීඩා සමාජ දෙක තුනකටත් ක්‍රීඩා කළා. පස්සේ ලැන්කෂයර් ප්‍රාන්තයේ දඟපන්දු පුහුණුකරුවෙක් බවට පත්වුණා. අදටත් මගෙන් තමයි ලැන්කෂයර් ප්‍රාන්තයේ 90% ක්ම දඟපන්දු යවන්නන් බිහි වෙන්නේ. අවුරුදු 10 ඉඳලා ඇකඩමි මට්ටම දක්වා සියලුම දඟපන්දු යවන්නන් පුහුණු කරන්නේ මමයි‘ ඔහු පැවැසීය. ඔහු මේ වනවිට 3 වැනි මට්ටමේ පුහුණුකරුවකු වන අතර, මීට වසර 11කට පමණ පෙර ‘එක්ස්ප්‍රෝ‘ නමින් පෞද්ගලික ක්‍රිකට් ඇකඩමියක් ද ආරම්භ කරනු ලැබීය.

පවුලේ වගතුග

‘මම විවාහකයි. මට දරුවෝ 5දෙනෙක් ඉන්නවා. දූලා තුන්දෙනයි, පුතාලා දෙන්නයි. මගේ බිරිය ලසන්ති දළුගොඩ, පවුලේ වැඩිමලා ශෙනාලි, දෙවැනියා නටලි, ඊළඟට ලොකු පුතා අවීන්, එයා දැනට ලැන්කෂයර් ප්‍රාන්තයට ක්‍රීඩා කරනවා. පොඩි දුව රෙමෝලි, පවුලේ බඩපිස්සා රියොන්. එයා ලැන්කෂයර් ප්‍රාන්තයේ අවුරුදු 13න් පහළ ක්‍රීඩා කරනවා. එයාට අත් දෙකින්ම පන්දු යැවීමේ හැකියාව තියෙනවා. අවීන් පොඩිකාලේ ඉඳලම ලැන්කෂයර් ප්‍රාන්ත පිලේ දකුණත් පිට දඟපන්දු යවන්නා. යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම එක්ක තරගයකදී කඩුලු 6ක් බිඳවැටුණු වෙලාවේ එයා ඇවිත් ලකුණු අසූවක් ගැහුවා. එතකොට එයාට අවුරුදු 9යි. අවුරුදු 10න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරමින් හිටියේ. එදා තමයි පිතිකරුවෙක් හැටියට හැමෝම එයා හඳුනා ගත්තේ. එදායින් පස්සේ අවීන් පුතා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වුණා. දැන් නම් තුන්ඉරියව් ක්‍රීඩකයෙක් විදිහටයි සෙල්ලම් කරන්නේ. එයාට දැන් අවුරුදු 15යි. එයා මුල්ම ශතකය රැස් කළේ අවුරුදු 12දියි. ඊළඟට අවුරුදු 13-14 ඇතුළත ලැන්කෂයර් ප්‍රාන්තයේ ඒ වයස් කාණ්ඩයේ වැඩිම ලකුණුලාභියා වුණා. අවුරුදු දෙකක්ම ලකුණු දහස පැන්නුවා. දැන් ලැන්කෂයර් ප්‍රාන්තයේ නැඟී එන කණ්ඩායමෙත් සෙල්ලම් කරනවා. එයා ඉක්මනටම ඇකඩමියට යාවි. ප්‍රාන්ත ඇකඩමි කියන්නේ ඉතින් ජාතික මට්ටමට ළඟා වෙන්න පුළුවන් කඩඉමක්.‘ අමල් එසේ කීවේ සිය වැඩිමල් පුත්‍රයා ගැනය.

‘බඩ පිස්සා රියොන් අවුරුදු 9න් ලැන්කෂයර් ප්‍රාන්තයට එකතු වුණේ. එයාත් තුන්ඉරියව් ක්‍රීඩකයෙක්. එයාට අත්දෙකින්ම පන්දු යවන්න හැකියාවක් තිබීම තමයි විශේෂත්වය. ලැන්කෂයර් ප්‍රාන්තයේ ඕනෑම වයස් මට්ටමකින් අත් දෙකින්ම පන්දු යවන එකම ක්‍රීඩකයා ඔහුයි.‘ අමල් සිය බාල පුතු ගැන එසේ කීවේ ආඩම්බරයෙන් යුතුවය.

පිය පුතු දෙපළගේ සුසංයෝගය

අවීන් දළුගොඩ පසුගිය වසරේදි ග්‍රේටර් මැන්චෙස්ටර් ක්‍රිකට් ලීග් ප්‍රිමියර් පළමු පෙළ තරගාවලියට ක්‍රීඩා කළ අතර, එහිදී අමල් සහ අවීන් පිය පුතු යුවළම ‘හීටන්‘ කණ්ඩායමට ක්‍රීඩා කිරීම කැපී පෙනෙන සිදු වීමකි. අවීන් දළුගොඩ මේ වසරේදී ලිවර්පූල් ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ‘විගැන්‘ කණ්ඩායමට ක්‍රීඩා කළ අතර, පසුගිය සැප්තැම්බර් මස Wallasey පිලට එරෙහිව සිය කණ්ඩායමට කඩුලු 6ක ජයක් අත්කර දුන්නේ නොදැවී ලකුණු 56ක් රැස් කරමිනි.

අමල්ගේ පුතුන් දෙදෙනාගෙන් ලැන්කෂයර් ප්‍රාන්තයේ වැඩිපුර අවධානය යොමු වී ඇත්තේ බාල පුතු රියොන් වෙතය. අවුරුදු 12න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් නොටින්හැම්ෂයර් පිලට එරෙහිව අගනා ශතකයක් වාර්තා කිරීමට සමත් වූ රියොන් එකම ඕවරයකදී වමතින් හා දකුණතින් පන්දු යවමින් ප්‍රතිවාදී පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කිරීමට සමත් පන්දු යවන්නකු ලෙස ලැන්කෂයර් ප්‍රාන්තයේ ප්‍රකටය.

අවු­රුදු 50න් ඉහළ එංග­ලන්ත ජාතික පිල (අමල් දළු­ගොඩ - දෙවැනි පෙළ වමේ සිට දෙවැන්නා)

අවු­රුදු 50න් ඉහළ එංග­ලන්ත ජාතික පිල (අමල් දළු­ගොඩ – දෙවැනි පෙළ වමේ සිට දෙවැන්නා)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division