Home » ඇතා බැන්ද බෝ මුලෙන් ආ බෝඹුරු ඇල්ල

ඇතා බැන්ද බෝ මුලෙන් ආ බෝඹුරු ඇල්ල

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

දෙස් විදෙස් සංචාරකයන් රැසක් වසර පුරාම සංචාරය කරනු ලබන කන්ද උඩරට පුරවරයක් ලෙස නුවරඑළිය සැලකේ. නුවරඑළියේ සොබා සෞන්දර්යය විඳ ගැනීමටත් එහි සිසිලස විඳ ගැනීමටත් පැමිණෙන සංචාරකයන්ට මෑත දශකයක පමණ කාලයට සිට තවත් නැරඹුම් ස්ථානයක් එකතු වී ඇත. ඒ, බෝඹුරු ඇල්ලයි. පසුගිය වසර 20කට ආසන්න කාලයක් පමණ වන තෙක් බෝඹුරු ඇල්ල ගැන හොඳින් දැන සිටියේ පරිසරවේදීන් හා එම ප්‍රදේශයේ ජනතාව පමණි.

එහෙත් මේ වන විට බෝඹුරු ඇල්ල ද නුවරරළිය සංචාරයන්ට එක් වී අවසන්ය. නුවරඑළියට යන සංචාරකයන් විසින් නැරඹිය යුතුම අලංකාරම සොබා සෞන්දර්යාත්මක ස්ථානයක් ලෙස බෝඹුරු ඇල්ල හඳුන්වා දීමට පුළුවන.

ශ්‍රී ලංකාවේ ඇති පළලින් වැඩිම දිය ඇල්ල

ජනතාවගෙන් කාලයක් සැඟව සිටියද මේ අලංකාර දිය ඇළි කොමලිය මේ වන විට සංචාරකයන්ගේ වි‍ශේෂිත ස්ථානයක් බවට පත් වී අවසන්ය.

මහවැලි ගංගාවේ අතු ගංගාවක් ලෙස සැලකෙන දුල්ගල ගඟ ගල් තලාවකින් කොටස් හතරකට බෙදී ඇදහැලීම තුළින් මෙම දිය ඇල්ල නිර්මාණය වී ඇත. ඇල්ලේ උස මීටර 50ක් පමණ වන අතර පළල මීටර 20ක් පමණ වේ. දිය ඇල්ලෙන් පහළ කොටස උමා ඔයේ ආරම්භය ලෙස සැලකේ. මෙම දිය ඇල්ල මෙරට පළලින් වැඩිම දිය ඇල්ල ලෙස සැලකේ. එහෙත් ඇතැම් පරිසරවේදීන් පෙන්වා දෙන්නේ හසලක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි රත්න ඇල්ල මීට වඩා පළලින් වැඩි බවය.  

කෙසේ වුවත් ස්වභාවධර්මයේ අලංකාරම නිර්මාණයක් ලෙසින් අපට බෝඹුරු ඇල්ල හඳුන්වා දීමට හැකිය. බෝඹුරු ඇල්ලට නම හැදුණු ආකාරය පිළිබඳව ද අපූරු කතාවක් තිබේ. එය රජ කාලය දක්වා ඈතට දිව යන්නකි.

දෙවැනි රාජසිංහ රජුගේ ඇතා කුලප්පු වී බැඳ තිබූ දම්වැල් කඩාගෙන ඇල්ල සහිත මේ වන පෙදෙසට පලා විත් ඇත. ඇතා ඇල්ලීමට ඇත් ගොව්වන්ට ද නොහැකි විය. ඇතා අල්ලා දෙන කෙනකුට ගම්වරයක් තෑගි දෙන බව රජු අණබෙරයක් මඟින් ප්‍රසිද්ධ කළේය.

මෙම ප්‍රදේශයේ විසූ වනසිංහ නමින් හැඳින්වූ මුත්තකු ඇතා අල්ලා බෝ ගසක මුලක බැඳ දැමුවේය. ඇතා බැන්දේ බෝ මුලේ නිසා ගම ද ‘බෝ මුලේ’ නමින් ව්‍යවහාරයට පත් විය. බෝ මුලේ නම පසුව ‘බෝඹුරේ’ විය. එම නිසා මේ ඇල්ලේ නම ද ‘බෝඹුරු ඇල්ල’ නමින් හැඳින් වූ බව ජනප්‍රවාදයේ කියැවේ.

ජෛව විවිධත්වයෙන් විශිෂ්ට ලක්ෂණ ඇති මෙම පරිසරය බ්‍රිතාන්‍ය සමයේ සතුන් දඩයම් කළ භූමියක් ලෙස ද හැඳින්වේ. දියඇල්ල විශාල හඬක් නඟමින් ඇදහැලෙන අතර දිය ඇල්ල කඩා හැලීමෙන් ඇති වන ඇල්ලේ පින්න මීටර 25ක් 30ක් පමණ දුරකට විසිවේ. දිය ඇල්ලට පහළින් දිය නෑමට සුදුසු තැනක් ද ඇත. ඇල්ල පාමුල මඳක් දුරින් අවශ්‍ය අයට ජල ක්‍රීඩා කර විනෝද විය හැකි ස්ථානයක් ද ඇත. එහෙත් සියල්ල ප්‍රවේශමෙන් කළ යුතු වන්නේ දිය ඇළිවල ස්වභාවය වරින් වර වෙනස් වන හෙයිනි.

බෝඹුරු ඇල්ලේ ඉහළට මීදුම ගලන විට ඇල්ල තවත් සුන්දරය.

බෝඹුරු ඇල්ල නිර්මාණය වන ඔයේ ආරම්භ සිදු වන්නේ පිදුරුතලාගල කඳු වැටියේ දකුණු අන්තයෙනි. එය පිදුරුතලාගල වැටියේම පිහිටි ගල් පව්වකින් ඇදහැලී ලවර්ස්ලිප් නම් වූ (පෙම්වතුන්ගේ පිම්ම) දිය ඇල්ල ද නිර්මාණය කරයි.

පසුව හාවාඑළිය හරහා ගලා ගොස් සඳතැන්න ජලාශය ද, ඊට පහළින් පිහිටි බොරලන්ද ජලාශය ද පෝෂණය කරයි. ඔය වනාන්තරයට පිවිසෙන්නේ ඉන් අනතුරුවය. ඒ ලෙසින් ශාඛා ගණනාවක් එකතු වීමෙන් සෑදුණු දිය වේගයෙන් පැමිණ බෝඹුරු ඇල්ල ප්‍රදේශයේදී කඩා හැලෙන හඬ මුළු ප්‍රදේශයම දෝංකාර දෙයි. එහි හඬ කිලෝමීටරයක් පමණ දුරට ඇසේ. ඒ තරම් සුවිශාල දිය දහරාවක් ගල් පව්වෙන් පහළට ඇදහැලේ.

බෝඹුරු ඇල්ල පේරවැල්ල ඇල්ල නමින්ද හඳුන්වා ඇත.

නුවරඑළියට සම්බන්ධ වුවද බෝඹුරු ඇල්ල බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වන්නකි.

ගමන් මාර්ගය

දුම්රියෙන් ගමන් කරන අයකු නම් නානුඔය දුම්රිය ස්ථානයෙන් බැස නුවරඑළිය දක්වා ගමන් කර එතැන් සිට මාර්ග අංක 331 බස් රථයෙන් (රේන්දපොළ හරහා යන) බස් රථයෙන් කිලෝමීටර් 18ක් පමණ ගමන් කළ යුතුය. බෝඹුරු ඇල්ල බස් නැවතුමෙන් බැස එතැන් සිට දිය ඇල්ලට පාගමනින් යා යුතුය. මේ මාර්ගයේ බස් රථ ධාවනය අඩුවෙන් සිදු වන නිසා එම බස් රථ ධාවන වේලාවන් ගැන දැනගෙන ගමන් කිරීම කළ යුතු වන්නේ ආපසු පැමිණීමට බස් රථ ඇති වේලාවන් ගැන දැන ගත යුතු නිසාය.

කොළඹ සිට එක් ගමන් කරන අය රාත්‍රී නවාතැන් නොගෙන පැමිණෙන්නේ රාත්‍රී තැපැල් දුම්රියෙන් ගමන් කිරීම වැදගත් වන්නේය. රාත්‍රී 8.30ට පිටත්වන එය අලුයම 4.00ට පමණ නානුඔයට ළඟා වන නිසා ආපසු එදිනම පැමිණීමට හැකි වේ.

එමෙන්ම හපුතලේ හෝ බණ්ඩාරවෙල සිට වුවද වැලිමඩ දක්වා ගොස් එතැන් සිට බෝඹුරු ඇල්ලට බස් රථයෙන් යා හැකිය. දුම්රියෙන් ගමන් කරන්නේ නම් උදෑසන 5.55, 8.50, 9.45, දහවල් 12.45 හා රාත්‍රී 8.30ට දුම්රිය ධාවනය කෙරෙන අතර ඊට අමතරව දුන්හිඳ ඔඩිසි හා ඇල්ල ඔඩිසි නමින් විශේෂ දුම්රිය දෙකක් ද වේ. ඒවායේ ප්‍රවේශ පත්‍ර මිල සාමාන්‍ය දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලට වඩා ඉහළය.

බෝඹුරු ඇල්ල නැරඹීමට දේශීය වැඩිහිටියකුගෙන් රුපියල් 100ක් සහ අවුරුදු 12ට අඩු දරුවකුගෙන් රුපියල් 30ක මුදලක් අය කෙරේ.

බෝඹුරු ඇල්ල ද වැසි කාලවලදී තරමක් චණ්ඩ ගති දක්වන අතර, එම දිනවල ඇල්ල ආසන්නයටම යාමට නොහැකි වන සේ ජල බිඳු විසි වේ.

බෝඹුරු ඇල්ල ගොවි ගම්මානයකි. ඇල්ලෙන් ගලා එන ජලය උපයෝගී කරගෙන සිදු කරන ගොවිතැන්ය. හෙල්මළු ක්‍රමයට කෙරෙන වී ගොවිතැන ගමට ආශීර්වාදයක් වී ඇත. ඕනෑම ගම්වැසියකු අවශ්‍ය මඟ පෙන්වීමක් කරන්නට මෙන්ම විස්තර සපයා දෙන්නට ද ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වන්නේ බලවත් කැමැත්තෙනි. ඒ මනුස්සකම ඔවුන් තුළ අතීතයේ මෙන්ම අදත් දක්නට තිබේ.

“මහත්තය කූඩැල්ලො ඉන්නව සබන් ගාගෙන යන්න, නැත්තන් මොනව හරි උලාගෙන යන්න” ඔවුහු ආගන්තුකයන්ට ඒ ඔවදන දෙන්නට අමතක නොකරති.

දිය ඇල්ල සඳහා ගමන් කරන්නන් සුන්දර වෙල්යාය මැදින් වූ කුඩා පඩි පේළිය ඔස්සේ ගමන ආරම්භ කළ යුතුය.

මෙම අලංකාර ගම්මානය මැදින් බෝඹුරු ඇල්ල දක්වා එළවළු, පලතුරු වෙ‍ෙළඳාමෙහි යෙදෙන ගම් වැසියන් දක්නට ලැබේ.

ඇල්ල ආසන්නයට ළඟා වන විට එම පරිසරය ගැන දැනෙන හැඟීම වචනයෙන් විස්තර කළ නොහැකිය. හොඳ හුස්මක් ගන්නට ලැබෙන තැනක් ලෙස පමණක් එය කෙටියෙන් හඳුන්වා දෙන්නට පුළුවන. ඇල්ල අවට ඇති තුරුලතා එතරම්ම ස්වාභාවික සෞන්දර­්යත්වයෙන් යුක්තය.

කලකට පෙර මේ ප්‍රදේශයේ දිවියන් ඇතුළු වන සතුන් ගැවසුණද මේ වන විට මිනිස් ඇසුරට ඒ ප්‍රදේශය ලක්වීම නිසා එම සතුන් ක්‍රමයෙන් වනගතව ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

පරිසරවේදීන්ට පමණක් නොව පාසල් සිසුන්ටත් පරිසරයට ආදරය කරන ඕනෑම අයකුටත් පැමිණ දැක බලා ගත හැකි මෙන්ම බලා ගත යුතු පරිසරයක් බෝඹුරු ඇල්ල අවට වේ.

බෝඹුරු ඇල්ල බැලීමට මේ වන විට පැමිණෙන පුද්ගලයන් සංඛ්‍යාව වැඩිවීම නිසා පරිසරය ද විනාශ වෙමින් පවතින බව සිහිපත් කළ යුතුය. සංචාරකයන් විසින් කළ යුත්තේ රැගෙන යන සියලු දේ එහි මතකයන් ද සමඟ ආපසු ගෙන ඒමය.

(ඡායාරූප – අන්තර්ජාලයෙනි)

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division