Home » ඊසි කෑෂ්වලින් බදුල්ලට ආ මත් කරල්

ඊසි කෑෂ්වලින් බදුල්ලට ආ මත් කරල්

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

– බදුල්ල වේවැස්සගම ජාවාරමා අත්අඩංගුවට ගන්නේ මත් කරල් 342ක් එක්ක

කොළඹ සිට භාණ්ඩ ප්‍රවාහනය කරන ‘කුරියර් සේවා’ මඟින් බදුල්ල ප්‍රදේශය ඉලක්කකර මත් පෙති තොග හොර රහසේ ගෙනැවිත් තරුණ අයට විකිණීමේ ජාවාරමක නිරතව සිටි බදුල්ල විනීතගම, වේවැස්සගම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මත්පෙති 342ක් සමඟ අත්අඩංගුවට ගැනීමට බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට හැකි වුයේ පසුගියදාය.

වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත මානසික රෝගින්ට ලබා දෙන මෙම මත්පෙති සැකකරු කොළඹ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු මාර්ගයෙන් මෙසේ ඊසි කෑෂ් ක්‍රමයට කොළඹ සිට බදුල්ලට කූරියර් සේවා මාර්ගයෙන් ගෙන්වාගෙන කාලයක් මුළුල්ලේ ඉතා සූක්ෂම සහ රහසිගතව බෙදාහැර ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි විය.

බදුල්ල ප්‍රදේශයේ සමහර තරුණයන්ට මත්පෙති විකිණීමේ ජාවාරමක් බදුල්ල විනීතගම, වේවැස්සගම ප්‍රදේශයේ ඉතා සංවිධානාත්මකව සිදුවන බවට බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දේවත්තට සිය විශ්වාසවන්ත තොරතුරුකරුවකුගෙන් තොරතුරක් ලැබෙන්නේ පසුගියදාය.

ඔහු අල්ලා ගැනීම සඳහා සිදු කරන වැටලීම ඉතා සාර්ථකව සිදු කිරීමට බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චානක චිරංජීව විජේරත්නට බාර දෙන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දේවත්ත විසිනි. ඔහු එම නිලධාරීන් පිරිස කැඳවා අවශ්‍ය උපදෙස් ද ලබා දුන්නේය.

ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක චානක චිරංජීව විජේරත්නගේ මෙහෙයවීම මත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය ගැණුම්කරුවන් මෙන් වෙස්වළාගෙන අදාළ මත්පෙති ජාවාරම සිදුවන විනීතගම, වේවැස්සගම ප්‍රදේශයට යන්නේ මත්ලෝලින් මෙනි.

වෙස්වළාගෙන සිටි පොලිස් නිලධාරීන් පිරිසක් රැකවලෙහි නිරතව සිටියදී මත්පෙති ගැනුම්කරුවෙක් මෙන් වෙස්වළාගෙන සිටි පොලිස් නිලධාරියකු අදාළ සැකකරුට දුරකතන ඇමතුමක් ලබා දී ඔහුගේ උපදෙස් අනුගමනය කරමින් මත් ජාවාරමාගේ නිවසට ගොස් මත්පෙති මිලදී ගන්නා විටදී සැඟවී සිටි ජාවාරමා පොලිස් නිලධාරීන් අල්ලාගන්නේ ඔහු තුෂ්නිම්භූතව සිටියදීය.

පසුව පොලිස් නිලධාරීන් පිරිස සැකකරුගේ නිවස සෝදිසියට ලක්කිරීමේදී කොළඹ ප්‍රදේශයේ සිට කුරියර් සේවා මඟින් බදුල්ලට ගෙන්වාගෙන හොර රහසේ විකිණීමට සඟවා තිබූ මත්පෙති 342ක් අත්අඩංගුවට ගන්නේ විනාඩි කීපයක් ඇතුළතදීය. අත්අඩංගුවට ගත් සැකකාර මත්ද්‍රව්‍ය ජාවාරමාගේ පොලිස් නිලධාරීන් දිගින් දිගටම ප්‍රශ්න කරන්නට වූ අතර කොළඹ ප්‍රදේශයේ ගැනුම්කරුවෙකුට ඊසි කෑෂ් ක්‍රමයට මුදල් යැවීමෙන් අනතුරුව ඔහු මත්පෙති කුරියර් සේවා මඟින් බදුල්ලට එවන බවත්, සතියකට වතාවක් පමණ මෙසේ මත්පෙති කොළඹින් ගෙන්වා ගන්නා බවත් එම මත් පෙත්තක් රුපියල් 250ක මුදලට විකුණන බවට පොලිසිය තොරතුරු හෙළිකර ගන්නා ලදි.

බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දේවත්තගේ උපදෙස් මත පොලිස් අධිකාරී බුද්ධික ගුණසේකරගේ අධීක්ෂණයෙන් බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චානක චිරංජිව විජේරත්නගේ මෙහෙයවීමෙන් සැරයන් 824 බස්නායක, 12560 විජේරත්න යන නිලධාරීන් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වූහ.

සී. ගමගේ - සොරණාතොට සමූහ

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division