– වැලිවේරිය ඇඹරළුවේ බෝඩිං හිමිකාරිය මරා පලා ගිය නයිට් ක්ලබ් නළඟන දින 20කට පසු අත්අඩංගුවට
– ඝාතනයට සැක අනියම් පෙම්වතා සිද්ධිය වූ මොහොතේම අල්ලයි
– රන් මුදල් කොල්ලකන්න අපරාධය කළ බව හෙළිවෙයි
– ඝාතනය දින රෑ එළිවනතුරු බෝඩිමේ සාදයක් පවත්වලා
– මුලින් ඇල්ලූ සැකකරුත් අපරාධ රැසක සැකකරුවෙක්
හෙරොයින් සහ මෑතක සිට මත්ලෝලීන් අතර ජනප්‍රිය අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ මත්ලෝලීන් නිසා සමාජයට සිදුවන හානිය මෙතෙකැයි කියා නිම කළ නොහැකි තරම්ය. සොරකම්, කොල්ලකෑම් පමණක් නොව මනුෂ්‍ය ඝාතන අතිබහුතරයකට හේතුව දැඩි සේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ මත්ලෝලීන්ගේ නොහොබිනා ක්‍රියාකාරකම්ය.
මෑත කාලයේ වාර්තා වූ මනුෂ්‍ය ඝාතන රැසකගේම පොලිස් විමර්ශනවලින් අනතුරුව හෙළිදරව් වූ හේතුව ලෙස සැලකෙන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමයි. විශේෂයෙන් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍යවලට දැඩි සේ ඇබ්බැහිවූවෝ, තම සමීප ඥාති හිතමිත්‍රාදීන් නොව දෙමාපියන් පවා නොහඳුනන තරමට ඕනෑම කෙනෙක් නැතිකොට හෝ තම අරමුණ නැතිනම් මත්ද්‍රව්‍ය පානයට මුදල් සොයා ගැනීමට පෙලඹී ඇති වගක් දිස් වේ.
ඉකුත් 28 දා ගම්පහ පොලිස් කොට්ඨාසයේ වැලිවේරිය පොලිස් වසමේ දකුණු ඇඹරළුව, වීර මාවතේ පදිංචිව සිටි කාන්තාවක ඝාතනය ද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අනියම් යුවළක් විසින් සිදුකළ අපරාධයක් බව මේ වනවිට තහවුරු වී ඇත්තේ එම සැකකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගනිමිනි.
වැලිවේරිය පොලිසිය සහ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය එක්ව සිදුකළ විමර්ශනයෙන් එම ඝාතනය සිදුකළ සැකකරු සහ සැකකාරිය මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටී. දින 20කට පමණ පසු එනම් ඉකුත් 18 වැනිදා එම සැකකාරිය අත්අඩංගුවට ගැනීමත් සමඟ වීර මාවතේ පදිංචිව සිටි එම කාන්තාව ඝාතනයේ සුලමුල පොලිසිය විසින් අනාවරණය කර ගනු ලැබීය.
පසුගිය සැප්තැම්බර් 28 වැනිදා වැලිවේරිය පොලිස් වසමේ දකුණු ඇඹරළුව, වීර මාවතේ නිවෙසක මනුෂ්‍ය ඝාතනයක් සිදු විය. එසේ ඝාතනය කර තිබුණේ අදාළ නිවෙසේ හිමිකාරිය වූ 57 හැවිරිදි කන්දේගෙදර මනන්නලාගේ මංගලිකා නමැති දෙදරු මවකි. දෙදරු මවක වුවද ඇය නිවෙසේ ජීවත් වූයේ තනිවමය. එහෙත් ඇය නිවෙසට යාබදව ඇනෙක්සියක බෝඩිමක් ද පවත්වාගෙන ගියාය.
මංගලිකා, ඝාතනය කර තිබුණේ ඇගේ නිවෙසේම කාමරයක් කුලියට ගෙන සිටි යුවළක විසින් බව අනාවරණය වූයේ පොලිසිය සිදුකරන ලද මූලික විමර්ශනවලදීය. මංගලිකා ඝාතනය කළ යුවළගෙන් පිරිමි පුද්ගලයා එසැණින් එම නිවෙසේ ඇනෙක්සියක සිටි පිරිමි පුද්ගලයා සහ ප්‍රදේශවාසීන් එක්ව අල්ලාගෙන වැලිවේරිය පොලිසියට බාර දුන්නද සැකකරු සමඟ සිටි කත පලා ගියාය. ඉකුත් සැප්තැම්බර් 28 දා අලුයම සිදුවූ එම ඝාතනයෙන් දින 20කට පමණ පසු එම කාන්තාව ද ඉකුත් 18 වැනිදා බැලුම්මහරදී අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ පිහිටි බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක දොලමුල්ල ඇතුළු කණ්ඩායමට හැකි විය.
මුදල් සහ ස්වර්ණාභරණ කොල්ලකෑමේ අරමුණින් මංගලිකා ඝාතනය කර තිබුණු බව හෙළිවන්නේ පොලිසිය කළ දීර්ඝ විමර්ශනයේදීය.
තනිවම ජීවත්වූ මංගලිකාගේ නිවෙසට යාබද ඇනෙක්සියේ පදිංචිව සිටියේ දමිත් සහ මධුවන්ති යන අනියම් යුවළය. ඒ මධුවන්තිගේ පෙර විවාහයේ දරුවන් ද සමඟය. මධුවන්තිගේ පෙර විවාහයේ සැමියා ජීවත් වූයේ සියඹලාපේවත්තේය. ඇය එම සැමියා බැලීමට ද එම නිවෙසට ආව-ගියාය. මධුවන්තිගේ අනියම් සැමියා ද එතරම් හොඳ පුද්ගලයකු නොවීය. ඔහුට එරෙහිව වැලිවේරිය පොලිසියේ ද පැමිණිලි කිහිපයක් ද තිබිණි.
දමිත් සිදුකළ අපරාධයකට සැප්තැම්බර් මාසයේ බන්ධනාගාරගතව සිටියේය. එම කාලයේදී මධුවන්ති පෙර විවාහක සැමියා බැලීමට සියඹලාපේට ගියාය. එදින මධුවන්තිගෙන් ඔහු විමසන්නේ,
“මධු… මගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා… ඒ දෙන්නට ඉන්න තැනක් හොයලා දෙන්න පුළුවනිදැ”යි කියාය.
මධුවන්තිගේ පළමු සැමියාගේ දැනහැඳුනුම්කම මත දින පහක පමණ කාලයකට යැයි කියා යුවළක් ඇය නවාතැන්ගෙන සිටි වැලිවේරියේ, දකුණු ඇඹරළුවේ, වීර මාවතේ ඇනෙක්සියට පැමිණියේය. ඒ වනවිට මධුවන්තිගේ අනියම් සැමියා දමිත් බන්ධනාගාරගතව සිටියේය. ඇය ඇනෙක්සියේ සිටියේ දරු දෙදෙනා සමඟිනි. යුවළ ඇනෙක්සියට පැමිණි විට එහි හිමිකාරිය මංගලිකා හමු විය.
“මේ ගෙදර තව කාටවත් ඉන්න ඉඩ නෑනේ මධු… එහෙනම් ඔයා ඉන්න ඇනෙක්සියේම මේ දෙන්නටත් ඉන්න දෙන්න…“ යැයි ඇය කීවාය. අනතුරුව එම යුවළ ද මධුවන්තිගේ ඇනෙක්සියේම නවාතැන් ගත්හ.
එම යුවළ ප්‍රදීප් පුෂ්පකුමාර සහ නිපුණි සඳරේඛාය. නිපුණිට යහමින් මුදල් ද තිබෙන ආකාරයක් දිස් විය. ඇප ලබා ගැනීමට මුදල් නොමැතිකමින් බන්ධනාගාරයේ ගත කළ මධුවන්තිගේ අනියම් සැමියාට ඇප ලබා ගැනීමට අවශ්‍ය රුපියල් පන්දහසක මුදල ද එම යුවළ විසින් මධුවන්තිට ලබා දෙන්නේ ඔය අතරේය.
එම යුවළ බෝඩිමට පැමිණියේ දින පහක පමණ කාලයකටය. දමිත් බන්ධනාගාරයෙන් පැමිණීමට පෙර දෙදෙනා දින දෙක තුනක් ගතකොට නැවත බෝඩිමෙන් යන්නට සූදානම් වූහ. ඒ මොහොතේ එම යුවළ ඒ බව බෝඩිම් හිමිකාරියට ද පවසන්නේ තමන් බෝඩිමෙන් යන්නට සූදානම් වන බව කියමිනි.
“ඇන්ටි… එහෙනම් අපි දමිත් එන්න ඉස්සෙල්ලා යන්නයි ඉන්නෙ…“ යැයි යුවළ මංගලිකාට කියන්නේ එලෙසය.
“ආ… එහෙමද? මෙහෙම දෙයක් කරමු… ඒ ඇනෙක්සියේ හැමෝටම ඉන්න ඉඩ මදිනම් මගේ ගෙයි ඉස්සරහ කාමරේ ඔය දෙන්නා නවතින්න… මාත් ඉතින් තනියමනේ ඉන්නෙ…“ යැයි මංගලිකා කීමත් සමඟ එම යුවළ ඇගේ නිවෙසේ ඉදිරිපස කාමරයේ පදිංචි වූහ.
දමිත් බන්ධනාගාරයෙන් පැමිණීමට පෙර මධුවන්ති, කුමාරට සහ නිපුණිට කීවේ, “ඔය දෙන්නා… දමිත් ආවම එයාට කියන්න එපා මේ බෝඩිම මං හොයලා දුන්නා කියලා… එහෙම වුණොත් ප්‍රශ්නයක් වෙයි… ඔයාලම හොයාගෙන ආව විදිහට ඉන්න…“ යැයි ඇය දෙදෙනා එලෙස දැනුම්වත් කළාය.
දමිත් ඇප මත නිදහස්ව ඉකුත් සැප්තැම්බර් 26 වැනිදා ඇනෙක්සියට පැමිණියේය. ඇනෙක්සියට පැමිණි දමිත්, කුමාර දුටු සැණින් ඇසුවේ, “ආ… කුමාර අයියා කොහොමද? උඹ මෙහෙට ආවේ කොහොමද? යැයි විමසමින් බොහෝ කලක සිට දන්නා අයෙක් දුටු ආකාරයෙනි.
මධුවන්ති නොදැන සිටියද දමිත් සේම කුමාර ද නිතරම බන්ධනාගාරගත වන අයෙකි. පොලිසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබුණේ කුමාරට රට පුරා අධිකරණවල මිනීමැරුම්, සොරකම්, කොල්ලකෑම්වලට අදාළව නඩු 15කට අධික සංඛ්‍යාවක් පවතින බවයි. ඒ අනුව නිතර බන්ධනාගාරගත වන අයෙකු වන කුමාර ද දමිත් බන්ධනාගාරයේදී දැක දැනහඳුනාගෙන සිටියේය. කෙසේ හෝ දමිත්ගේ සහ කුමාරගේ එවන් මිතුදමක් පිළිබඳ මධුවන්ති එතෙක් සවිස්තර තොරතුරක් දැන නොසිටියාය.
මංගලිකාගේ කාමරයේ සිටින එම යුවළ ගැන දමිත් මධුවන්තිව දැනුම්වත් කළේ, “ඔයා දන්නවද ඔය කුමාරයා හොඳ එකෙක් නෙවෙයි…“ යැයි කියමිනි.
දිනය ඉකුත් සැප්තැම්බර් 27 දාය. එදින සවස් යාමයේ දමිත්, මධුවන්ති සහ නිපුණි තිදෙනා වැලිවේරිය නගරයට ගොස් ෆ්‍රයිඩ් රයින් සහ බීර ද රැගෙන පැමිණ එදින සවස් යාමයේ සිට රාත්‍රිය දක්වාම සාදයක් පවත්වා තිබිණි. සාදය අවසානයේ රාත්‍රියේ මධුවන්ති දරුවන් දෙදෙනා සමඟ බෝඩිම ඇතුළට ගියේ නිදා ගැනීමටය. දමිත්, කුමාර සහ නිපුණි පසුදා අලුයම දක්වාම බීර පානය කර තිබිණි.
පසු දින අලුයම් කාලයේ මංගලිකා බිර පානය කරමින් සිටි දමිත්ට, “එන්න පුතේ තේකක් බොන්න…“ යැයි කතා කරන ආකාරය මධුවන්තිට ද ඇසී තිබුණාය. කෙසේ හෝ එම සාදයෙන් පසු අලුයම දෙකට පමණ දමිත් ඇනෙක්සියට පැමිණ නින්දට වැටිණි.
රාත්‍රී අඳුර කපාගෙන ඉකුත් 28 වැනිදාට හිරු එළිය පතිත වෙන්නට ඔන්න මෙන්න විය. ඒ මොහොතේ යාබද ඇනෙක්සියේ සිටි මධුවන්තිට ඇසුණේ මංගලිකාගේ නිවෙසින් කෙඳිරිලි හඬක් ඇසෙන ආකාරයයි. ඇනෙක්සියෙන් පිටතට පැමිණි මධුවන්ති, මංගලිකාගේ නිවෙස දෙස ඕනෑකමින් බලද්දී දුටුවේ ඒ වන විට මංගලිකාගේ නිවෙසේ ඉදිරිපස කාමරයේ දොරවල් විවෘතව තිබෙන ආකාරයයි. එහෙත් එහි නවාතැන්ගෙන සිටි නිපුණි සහ කුමාර පෙනෙන්නට නැත. මංගලිකා සිටි කාමරයේ දොර ලොක් කර තිබෙන අයුරක් ද දිස් විය.
දමිත් සහ මධුවන්ති එක්ව අසල්වාසීන්ට ද කෑකෝ ගසමින් සිදුවී ඇති දේ පවසන්නට උත්සාහ කළහ. එහෙත් කිසිවකු පැමිණියේ නැත. අනතුරුව මධුවන්ති අවට සිටි අයට සිදුවී ඇති දේ පැවසීමට ගියාය. එලෙස ගොස් එන අතරේ මධුවන්ති දුටුවේ මංගලිකා සිටි කාමරයේ දොරගුළු විවරකොට කුමාර සහ නිපුනි ඉන් පිටතට ඒමට උත්සාහ කරන අයුරකි.
ක්ෂණයෙන් ක්‍රියාත්මක වූ දමිත්, කුමාර අල්ලා ගැනීමට උත්සාහ කළේය. ඒ මොහොතේ ලද ඉඩහසරෙන් ප්‍රයෝජන ගත් නිපුණි පලා යාමට උත්සාහ කළාය. අල්ලාගත් කුමාර, දමිත්ට කීවේ, “අපි මේ දේ කළේ මුදල් ටිකක්… රත්තරන් ටිකක් හොයාගන්න… එහෙම නැතිව මංගලිකා ඇන්ටි මරන්න හිතාගෙන නෙවෙයි කළේ…“ යැයි කීවේ සිදුකළ වැරැද්දෙන් බේරීමට මෙනි.
අවට අය ද රැස්වී කුමාර අල්ලාගත්ත ද නිපුණි බෑගයක් ද රැගෙන පලා යන ආකාරය ඇතැමුන් දැක තිබිණි. නිවෙසට පැමිණි අය මංගලිකාගේ කාමරය පරීක්ෂා කරද්දී දුටුවේ මුළුතැන්ගෙය තුළ මංගලිකා මැරී වැටී සිටින ආකාරයයි. ඇගේ මුවෙහි රෙදි කැබලි ඔබා තිබිණි. එම සාහසික අපරාධය පිළිබඳ එදින පෙරවරුවේම අවට පුද්ගලයෙක් වැලිවේරිය පොලිසිය දැනුම්වත් කළේ, වීර මාවතේ නිවෙසක කාන්තාවක් අත්පා ගැට ගසා මුවට රෙදි කැබලි ද ඔබා වැටී සිටිනවා යැයි පවසමිනි.
එසැණින් එම ස්ථානයට පැමිණි වැලිවේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණවර්ධන ඇතුළු කණ්ඩායම විමර්ශන ආරම්භ කළේ ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන සිටි සැකකාර කුමාර අත්අඩංගුවට ගනිමිනි. බිම වැටී සිටි මංගලිකා රෝහල්ගත කිරීමට පැමිණි 1990 ගිලන්රථයේ නිලධාරීන් ඇය පරීක්ෂාකර කියා තිබුණේ ඇය ඒ වන විටත් මියගොස් ඇති බවය.
අනතුරුව වැලිවේරිය පොලිස් නිලධාරීන් මූලික විමර්ශන ආරම්භ කරමින් ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ ඇතුළු ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත මංගලිකාගේ ඝාතනය සිදු වූ ස්ථානයට ගම්පහ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ (soco) නිලධාරීන් ද, කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයේ ඇඟිලි සලකුණු නිලධාරීන් ද කැඳවා විමර්ශන සිදු කළහ. ඒ අතර ගම්පහ අංක 1 මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ද පැමිණ ස්ථානීය පරික්ෂාවක් සිදුකොට මංගලිකාගේ මළසිරුර පරික්ෂාවක් සිදු කළාය. මහේස්ත්‍රාත්වරිය විසින් මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණයට යොමු කරමින් ගම්පහ මහ රෝහලට රැගෙන යාමට පොලිස් නිලධාරීන් කටයුතු කළේය.
වැලිවේරිය පොලිසියේ නිලධාරීන් විසින් ත්අඩංගුවට ගැනුණේ විමලසූරිය මුදියන්සේලාගේ ප්‍රදීප් පුෂ්පකුමාර නමැති 40 හැවිරිදි අයෙකි. ඔහු හොරණ, ඉලිඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කුමාර සමඟ බෝඩිමේ සිටි පලා ගිය නිපුණි ඔහු මුණගැසී තිබුණේ බියගම සමාජ ශාලාවකදීය. ඒ ඊට ටික කලකට පෙරය. නිපුණි සමාජ ශාලාවල රැකියාව කරන්නියකි.
දැඩි සේ අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවී සිටි දෙදෙනා මධුවන්තිගේ පෙර විවාහක සැමියා හඳුනාගෙන තිබුණේ ඔහු ද අයිස් ජාවාරමේ නිරතව සිටි හෙයිනි. ඝාතනයෙන් පසු පලා ගිය නිපුණි ගැන වැලිවේරිය පොලිසිය විසින් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් දැනුම්වත් කිරීමත් සමඟ ඇය සොයා සිදුකරන විමර්ශන බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ද බාර කෙරිණි.
ඒ අනුව එම කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරි පී. පුෂ්පකුමාරගේ අධීක්ෂණයෙන් සහකාර පොලිස් අධිකාරි ජී.සී. ජනක කුමාරගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක දොළමුල්ල ඇතුළු කණ්ඩායම නිපුණි සොයා විමර්ශන සිදු කළහ.
එහිදී ඉකුත් දිනෙක බුද්ධි නිලධාරි සැරයන් (14868) සෝමසිරිට තොරතුරක් ලැබුණේ සැකකාර නිපුණි ඉකුත් 18 වැනිදා සවස් යාමයේ බැලුම්මහර දෙසට පැමිණෙමින් සිටින බවයි. වහා ක්‍රියාත්මක වූ බස්නාහිර පළාත් උතුර කොට්ඨාස නිලධරයෝ බැලුම්මහරදී පා ගමනින් යමින් සිටි නිපුණි අත්අඩංගුවට ගත්තේ 18 වැනිදා සවස 5.30ට පමණය. ඒ, ඇය සන්තකයේ තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 600ක් ද සමඟිනි.
අත්අඩංගුවට ගත් 22 හැවිරිදි නිපුණි ඌරුබොක්ක, කළුබෝවිටියන, ගලබඩකන්ද පදිංචිකාරිනියකි. ඇය ස්පා සහ රාත්‍රී සමාජ ශාලාවල සේවය කරන්නියකි. මංගලිකා ඝාතනයකර කොල්ලකන ලද රන්මාලය සහ කරාබු ජෝඩුව ඇය විසින් නෙළුව වෙළෙඳසලකටත් අත් පලඳනාව (බ්‍රේස්ලට්) මොරවක මූල්‍ය ආයතනයකටත් උකස් කර තිබිණි. අනතුරුව ඇය එම මුදල්වලින් වෙනත් ස්වර්ණාභරණ මිලට ගෙන මොරවක මූල්‍ය ආයතනයටම උකස්කර තිබූ රිසිට්පත් ද පොලිසිය සොයා ගැනිණි.
ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ සහ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරි පී. පුෂ්පකුමාරගේ උපදෙස් මත ගම්පහ පොලිස් අධිකාරි II චින්තක පීරිස්ගේ සහ සහකාර පොලිස් අධිකාරි ජී. සි. ජනක කුමාරගේ අධීක්ෂණයෙන් වැලිවේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණවර්ධන, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක දොළමුල්ල, වැලිවේරිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක වික්‍රමසිංහ, සැරයන්වරුන් වන (43782) අමල්, (55417) කමල්, කොස්තාපල්වරුන් වන (73811) බණ්ඩාර, (24361) මධුෂංක, බුද්ධි අංශ සැරයන් (46373) හෙට්ටිආරච්චි සහ (53176) ස්ටැන්ලි, කාන්තා කොස්තාපල් (2839) තිළිණි, කොස්තාපල් රියැදුරු (80739) විජේසූරිය, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ සැරයන්වරුන් වන (14868) සෝමසිරි, (66641) කවිෂ, කොස්තාපල් (83437) සමන්, කාන්තා කොස්තාපල් (12159) මධුභාෂිණි සහ කොස්තාපල් රියැදුරු (94806) සුබසිංහ යන නිලධරයෝ විමර්ශනවලට එක්වූහ.
අමිල මලවිසූරිය