Home » විනයගරුක දේශපාලනයක් රටට අවශ්‍යව තිබෙනවා – රනිල් විල්අද්දරගේ

විනයගරුක දේශපාලනයක් රටට අවශ්‍යව තිබෙනවා – රනිල් විල්අද්දරගේ

by yasara
November 1, 2024 10:16 am 0 comment

විනයගරුක දේශපාලනයක් රටට අවශ්‍යව තිබෙන බවත් ඒ හරහා රටේ ආර්ථික, සමාජීය, සංස්කෘතික, දේශපාලන ඇතුලු අංශ ගණනාවක පරිවර්තනීය වෙනසක් ඇති කළ හැකි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ (ගෑස් සිලින්ඩරය) කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රනිල් විල්අද්දරගේ මහතා පැවසීය.

පිළියන්දල පැවති ජන හමුවකට සහභාගි වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් විල්අද්දරගේ මහතා,

රට තුළ යහපත් දේශපාලන සංස්කෘතියක් බිහි කිරීම උදෙසා පෙනී සිටීම දේශපාලඥයින්ට, රටේ ජනතාව ඇතුලු අපි සියළු දෙනාට පැවරෙන වගකීමක් හා යුතුකමක් වෙනවා. රටේ ආර්ථිකය කඩා වැටීම නිසා අපි අර්බුද ගණනාවකට මුහුණ දුන් අතර ඒ හරහා විවිධ කේෂත්‍රයන්හි ගැටලු රාශීයක් ඇති වුනා. රටේ ජනතාව විශාල පීඩනයකට ලක්වුනා. එය අපට අමතක කළ නොහැකියි. එම තත්ත්වය කළමණාකරනය කර ගැනීම අභියෝගත්මක වූ අතර ඒ සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරනු ලැබූ වැඩපිළිවෙළ ප්‍රශංසනීයයි.

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ආණ්ඩුවට රජයක් පිහිටුවීමට හැකි වෙයිද නොහැකි වෙයිද අපි දන්නෙ නෑ. ඒක තීරණය කරන්නෙ ජනතාව. ඒ නිසා ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ හෝ කොතැන හිටියත් අපේ බලාපොරොත්තුව මේ රටේ දුප්පත්කම නැති කිරීමයි. ඒ සඳහා ව්‍යවසායකත්ව සංවර්ධනය සහ රැකියා බිහි කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙළක් සහිතව දේශපාලනයට ප්‍රවේශ වුනා.

ඒ වගේම නිර්මාණශීලි තරුණ තරුණියන් විදේශ රැකියා වෙළෙදපොළ ඉලක්ක කරගනිමින් සවිබල ගැන්විය යුතුයි. අපේ රටට විදේශ විනිමය ගෙන ඒම සඳහා අපේ රටින් පිටතට සන්නාම ගෙන යා යුතුයි. සෑම ක්ෂේත්‍රයකින්ම සන්නාමයක් අපට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ ඩිජිටල්කරණයත් සමග ලෝක වෙළෙඳපොළේ තියෙන අපේ හිඩැස් නිවැරදිව හඳුනාගෙන ඒ පාරේ ගියොත් තව අවුරුදු පහක් හයක් යනකොට මේ රට ගොඩ දාන්න පුලුවන්. ඩොලර් හිඟය එයින් විසඳෙනවා. සියලුම අදියරවල ඉන්න ව්‍යවසායකයන් එක තැනකට ගෙනත් අවසානයේ විදේශ විනිමය රටට ගෙන එන වැඩපිළිවෙලක් සකස් කළ විට අපි ස්ථාවර ආර්ථිකයක හිමිකරුවන් වෙනවා. ඒ තැනට රට ගේන්න පුළුවන් අද්දැකීම් අප සතුයි.

ජනතාව බලාපොරොත්තු වෙන්නේ මහත්මා දේශපාලනය. ඒ කියන්නේ අවංකභාවය පදනම් වූ දේශපාලනයක්. මේ තියෙන දේශපාලන වටපිටාවත් එක්ක ඒක හරි අමාරුයි. ඒ අතරට අවංක චේතනාවෙන් දේශපාලනයට එනවා කියන්නෙ ලෙහෙසි දෙයක් නෙමේ. නමුත් චේතනාව හොඳ නම් මේවා ප්‍රශ්න නොවේ. සත්‍ය කවදා හෝ ජය ගන්නවා. ජනතාවත් අවංකභාවයෙන්ම කටයුතු කරන්නේ නෑ. කාට මොනවා වුණත් මට හොඳයි නම් මොකද කියන තැන ඉන්න පිරිසකුත් ඉන්නවා. එහෙම පිරිසක් හිටිය නිසා තමා අපි මේ තැනට වැටිලා ඉන්නේ. නමුත් ජනතාවගේ මතය වෙනස් වෙමින් නිවැරදි මාවතට යමින් පවතිනවා. බෞද්ධයන් විදිහට මේ මනුෂ්‍ය ජීවිතයේ වැරදි දේ නොකර හෘද සාක්ෂියට එකඟව වැඩ කළ යුතුයි. එවිට ජයග්‍රහණය අපි පසුපස එනවාඑනවා යැයි රනිල් විල්අද්දරගේ මහතා වැඩිදුරටත් පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division