Home » වීඕසී තැටියයි රන් කාසියි ලක්ෂ 20කට විකුණන්න ගිය ජාවාරමාට වැටුණු දැල

වීඕසී තැටියයි රන් කාසියි ලක්ෂ 20කට විකුණන්න ගිය ජාවාරමාට වැටුණු දැල

by thanushika
November 2, 2024 12:30 am 0 comment

නිදන් වස්තු සහ පෞරාණික භාණ්ඩ එකතු කරන සහ ඒවාට ඇලුම් කරන පුද්ගලයෝ රැසක් මේ ජන සමාජයේ සිටිති. පුරාණ පුස්කොළ පොත් සොයාගෙන මහ කැලෑවල කඳුහෙල් තැනිතලා පීරමින් ඉතා කූට ලෙස ක්‍රියාකර නිදන් වස්තු සොයන පුද්ගලයන් ගැන ද අසා නැති කෙනෙක් සිටින්නට බැරිය. මේ අයගෙන් බොහෝ දෙනෙක් සෑහෙන යමක්කමක් ඇති අය වීම ද සුවිශේෂය. ඇතැමුන්ගේ විනෝදාංශය නිදන් සොයා වෙහෙසීම වන අතර, පුරාවස්තු එකතු කරන්නන්ගේ අඩුවක් ද නැත.

මෙවැනි පුද්ගලයන්ගේ අඩුපාඩු නිරීක්ෂණය කරන ජාවාරම්කරුවන් පෙළැන්තියක් ද රටපුරා සිටින්නේ අද ඊයේක සිට නොවේ. මේ ජාවාරම්කරුවන්ගේ මූලික අරමුණු නිදන් වස්තු සොයා යන සහ පුරාවස්තූන් එකතු කරන සමහර පුද්ගලයන් ‘අන්දවමින්’ ඔවුන්ගේ ද මිල මුදල් වංචා කිරීමයි. මේ හොර පුරාවස්තු සහ නිදන් ජාවාරමුන්ට හසුවී රුපියල් ලක්ෂ ගණන් මිල මුදල් අහිමි කර ගත් බොහෝ පිරිසක් සිටියත් ඒ ගැන ජනමාධ්‍ය මඟින් නොයෙක් විට හෙළිදරව් කළත් මේ වංචනිකයන්ට හසුවී අතේ තිබෙන මිල මුදල් නැති නාස්ති කරගන්නා අයගේ ද අඩුවක් නැති තරම්ය.

වී ඕ සී පිඟානක් සහ කිරිගරුඬ පිළිමයක් රුපියල් ලක්ෂ ගණනකට කුරුණෑගල ව්‍යාපාරිකයකුට අලෙවි කිරීමට ගෙන යමින් සිටි පිරිසක් පසුගියදා කොටු වන්නේ පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනානායක ඇතුළු කණ්ඩායමටය.

රුපියල් එක්කෝටි හැට ලක්ෂයකට අලෙවි කිරීමට සූදානම් කර තිබුණ රන්කාසි දහයක් සහ බුද්ධ ප්‍රතිමාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අනුරාධපුර බස් නැවතුම්පොළ අසලදී පසුගියදා අත්අඩංගුවට ගන්නේ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් කණ්ඩායමක් විසිනි. මෙලෙස ගජමුතු ජාවාරම්වල නිරතව සිටි පුද්ගලයන් සැලකිය යුතු පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධරයන්ට හැකිවන්නේ පසුගියදාය.

පුරාවස්තු සහ නිදන් සොරුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය නිරතුරු විමර්ශන සිදු කරන්නේ ද මෙවැනි ජාවාරම්වල වර්ධනයක් පෙනෙන්නට ඇති නිසාය. විශේෂයෙන් පුරාවස්තු සහ නිදන් වස්තු යැයි කියා ව්‍යාජ භාණ්ඩ පුද්ගලයන් රවටා අලෙවි කරන සංවිධානාත්මක කල්ලි කණ්ඩායම් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය නිරතුරු විමර්ශන සිදු කරන බව රහසක් නොවේ.

නුවරඑළිය දිසාවේ හැටන් පොලිස් කොට්ඨාසයට අයත් හැටන් මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම ද පසුගියදා අත ගසන්නේ එවැනි විමර්ශනයකටය.

හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් මධුෂංකය. ප්‍රදේශයේ සිදුවන සොරකම් කොල්ලකෑම් ඇතුළු අපරාධ මර්දනය සඳහා දිවා රෑ වෙහෙසෙන අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමට පුද්ගලික ඔත්තුකරුවන්ගෙන් ලැබෙන තොරතුරු ද අධිකය. ඒ ඔස්සේ ක්‍රියාත්මක වූ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම අත්පත් කරගෙන ඇති ප්‍රගතිය ද බොහෝය.

හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් මධුෂංකට පෞද්ගලික තොරතුරුකරුවකුගෙන් වැදගත් තොරතුරක් පසුගිය දිනෙක ලැබිණි. ඉන් කියැවුණේ කිසියම් පුද්ගලයකු ‘වී ඕ සී තැටියක්’ සහ ‘පෞරාණික කාසි දෙකක්’ රුපියල් ලක්ෂ 20කට කිසියම් පුද්ගල‍ෙයකුට විකිණීමට සූදානමින් සිටින බවය.

මේ පිළිබඳව තොරතුරු ඉතා රහසිගතව සොයා බලන පොලිස් පරීක්ෂක නුවන් මධුෂංක අනාවරණය කරගන්නේ වී ඕ සී තැටිය සහ පෞරාණික කාසි දෙක අයත් පුද්ගලයාගේ පදිංචිය කුමන ස්ථානයක ද යන්නයි. එහිදී පොලිස් පරීක්ෂකවරයාට දැනගැනීමට ලැබෙන්නේ එම පුද්ගලයා ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි. ඔහු 41 හැවිරිදි අයකු බවද තොරතුරු හෙළි විය.

මේ පුද්ගලයා ඒ වන විට සූදානමින් පසු වූයේ එම වී ඕ සී තැටිය සහ කාසි දෙක රුපියල් ලක්ෂ 20කට අලෙවි කිරීමටය. ඒ හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවකුටය.

මේ තොරතුරු සියල්ල හෙළිකර ගත් පොලිස් පරීක්ෂක නුවන් මධුෂංක අදාළ පුද්ගලයා සහ වී ඕ සී තැටිය, රන්කාසි දෙක අත්අඩංගුවට ගැනීම සඳහා සැලැසුමක් සකස් කරන්නේ හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේන, සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා සහ හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර යන නිලධරයන් ද දැනුම්වත් කරමිනි.

එම නිලධරයන්ගෙන් ද ඒ සඳහා උපදෙස් ලබාගත් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වැටලීම සිදුකරන්නේ පොලිස් උපාය දූතයකු ද මේ මෙහෙයුමට සම්බන්ධ කරගනිමිනි. සැකකරු සහ වී ඕ සී තැටිය, රන්කාසි දෙක පොලිස් අත්අඩංගුවට ගැනෙන්නේ ඉන් අනතුරුවය.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු තමාට වී ඕ සී තැටිය සහ කාසි ලැබුණ ආකාරය පිළිබඳ නිශ්චිත තොරතුරු හෙළිකර නැත.

මේවායේ පුරාවිද්‍යා වටිනාකම තහවුරු කරගැනීම සඳහා පුරාවිද්‍යා වාර්තාවක් ලබා ගැනීමට පොලිසිය කටයුතු යොදා ඇත.

හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකරගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවාගේ අධීක්ෂණයෙන් හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේනගේ මෙහෙයවීමෙන් හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් මධුෂංක, සැරයන් (26658) යසරත්න, කොස්තාපල්වරුන් වන (31110) විතානගේ, (8638) ශෂිකුමාර්, (97711) විජේසූරිය, කොස්තාපල්වරියන් වන (12473) කුමාරි, (13284) දුලානි යන නිලධාරින් වැටලීම සිදු කරන ලදි.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division