– රුපියල් ලක්ෂ 40ක ජංගම දුරකතන පෙර ගෙවුම් කාඩ්පත් උස්සලා
– දහනව ලක්ෂයක කාඩ් සැකකරුවකුගේ කළුතර පෙම්වතිය සන්තකයේ
– සැකකරුවන්ගෙන් ෆෝන් කාඩ් 2000ක් ලබාගත් අයකුත් කළුතරදී අත්අඩංගුවට
ගෙවල් දොරවල් අලුත්වැඩියාවට පැමිණෙන නාඳුනන පුද්ගලයන්ගේ අනන්‍යතාව ඒ අයගෙන් වැඩ ගන්නා අය විසින් තහවුරු කර ගැනීම අතිශය වැදගත් වන්නේ එවැනි ඇතැම් පුද්ගලයන් අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූවන් නිසාය. මෙවැනි ඇතැම් පුද්ගලයන් අදාළ නිවාස අලුත්වැඩියා කිරීම්වල නිරත වන අතරේ ඔත්තු බලාගෙන ගොස් පසුව නැවත වෙනත් වේලාවක පැමිණ එම නිවෙස්වල ඇති වටිනා බඩු බාහිරාදිය සහ මුදල් සොරකම් කරගෙන යන බව අමුතුවෙන් කිව යුතු කාරණයක් නොවේ. එවැනි සිදුවීම් ගණනාවක් ද පසුගිය කාලයේ පොලිස් ස්ථාන රැසකට වාර්තා වී තිබූ බවද දැනගන්නට ඇත.
මෙවැනි සිද්ධියක් පසුගියදා වාර්තා වූයේ නාරාහේන්පිට පොලිසියේ අපරාධ විමර්ශන අංශයෙනි.
දුරකතන පෙර ගෙවුම් පත් තොග වශයෙන් ගෙන්වා බෙදාහරින නාරාහේන්පිට පෞද්ගලික ආයතනයකට පසුගිය දිනෙක ඇතුළු වූ සොරුන් එහි තිබූ රුපියල් ලක්ෂ 40කට අධික වටිනාකමින් යුත් පෙර ගෙවුම් කාඩ්පත් තොගයක් සොරකම් කර තිබුණි.
අදාළ ආයතනයේ බලධාරීන් මේ ගැන නාරාහේන්පිට පොලිසියට කරන ලද පැමිණිල්ලකින් අනතුරුව ඒ ගැන විමර්ශන සිදු කෙරුණේ නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහගේ උපදෙස් මතය. එහි අපරාධ විමර්ශන අංශයේ ප්‍රධානී පොලිස් පරීක්ෂක ටී. අයි. හෙට්ටිආරච්චි මේ විමර්ශන මෙහෙයවිය.
මෙසේ විමර්ශන ආරම්භ කළ පොලිස් නිලධාරීන් ජාවත්ත ප්‍රදේශයේදී පුද්ගලයකු අත්අඩංගුවට ගන්නේ සැකපිටය. මේ පුද්ගලයා පරීක්ෂා කළ අවස්ථාවේදී ඔහු සතුව තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 2700ක් පමණ සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය. එලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරු පොලිසියට ගෙනැවිත් දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී නාරාහේන්පිට ආයතනයකින් රුපියල් ලක්ෂ 40ක දුරකතන පෙර ගෙවුම්පත් කාඩ් සොරකමේ සුලමුල හෙළිකර ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය.
එලෙස අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ ඔහු මෙම ආයතනය අලුත්වැඩියා කිරීම සඳහා ටික කලකට පෙර එහි පැමිණි අයකු බවය. ඔහු තවත් පුද්ගලයකු සමඟ ඊට ටික දවසකට පසු අදාළ ආයතනය වසා ඇති වේලාවක ඇතුළු වී ඇත්තේ ආයතනයේ තාප්පයට ගොඩ වී ඉහළ මාලයට ප්‍රවිෂ්ට වීමෙනි. මේ දෙදෙනා එකතුවී එහි තිබුණ රුපියල් ලක්ෂ 40කට වඩා වටිනා පෙර ගෙවුම් කාඩ්පත් සොරකම් කරගෙන පලා ගොස් තිබුණි.
මේ සැකකරු සමඟ පෙර ගෙවුම් කාඩ්පත් සොරකමට සම්බන්ධ සෙසු සැකකරු කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවකු බව සොයාගත් අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් ඔහු සොයා කළුතර නිවෙසට ගොස් ඇති අතර සැකකරු එම අවස්ථාවේ නිවෙසේ සිට නැත.
එම නිවෙසේ සිටි 17 හැවිරිදි තරුණියකගෙන් පොලිසිය ප්‍රශ්න කළ අවස්ථාවේදී හෙළි වී ඇත්තේ ඇය පලාගොස් සිටින සැකකරුගේ පෙම්වතිය බවයි. ඇය සතුව තිබුණු රුපියල් දහනව ලක්ෂ අසූතුන් දහසක් පමණ වටිනා පෙර ගෙවුම් කාඩ්පත් තොගයක් ද සොයා ගැනීමට පොලිසියට හැකි විය.
පොලිසිය විසින් එසේ අල්ලාගත් සැකකරු සහ පලාගොස් සිටින සැකකරු මීට පෙර අවස්ථාවකදී අදාළ ආයතනය බිඳ දේපළ සොරකම් කර ඇති බව හෙළි වන්නේ සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදීය. පලාගොස් සිටින සැකකරු කළුතර දොඩංගොඩ පදිංචිකරුවෙකි.
මේ අතර මේ සොරකමේම තවත් ‘කොණක්’ හෙළිකර ගැනීමට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයන්ට හැකි වූයේ පසුගියදාය.
කළුතර දකුණ කිතුලාව ප්‍රදේශයේදී කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධරයන් විසින් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයකුගෙන් නාරාහේන්පිට සිද්ධියට සම්බන්ධ තවත් වැදගත් තොරතුරු හෙළිකර ගැනීමට හැකි විය.
කළුතර දකුණ කිතුලාව ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගැනෙන්නේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් විසිනි. එසේ අල්ලාගත් පුද්ගලයා සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 370ක් තිබිණි.
පොලිස් නිලධරයන් ඔහු සතුව තිබුණ ගමන් බෑගය පරීක්ෂා කරද්දී එහි තිබුණ ජංගම දුරකතන පෙර ගෙවුම් පත් කාඩ් 1850ක් සොයා ගන්නා ලද අතර එහි වටිනාකම රුපියල් එක්ලක්ෂ අසූපන් දහසක් පමණ බව හෙළි විය. එම ජංගම දුරකතන පෙර ගෙවුම් කාඩ්පත් ඔහුට ලැබුණු ආකාරය පිළිබඳව විමසද්දී ඔහු පවසා ඇත්තේ තමාගේ මිතුරකු තමාට පෙර ගෙවුම් පත් කාඩ්පත් 2000ක් ලබා දුන් බවයි. සැකකරු ප්‍රකාශ කළ තොරතුරු පිළිබඳව සොයා බැලු පොලිස් නිලධාරීන් හෙළිකර ගන්නේ මේ සැකකරු අදාළ පෙර ගෙවුම් කාඩ්පත් දී ඇත්තේ නාරාහේන්පිට පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරු බවයි.
කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් විසින් එසේ අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා 40 හැවිරිදි අයෙකි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා දකුණු කළුතර පොලිසියට බාර දී ඇත.
නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහගේ උපදෙස් මත එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ටී.අයි. හෙට්ටිආරච්චි, සැරයන් (72025) කුමාර, කොස්තාපල්වරුන් වන (94534) වීරසිංහ, (88773) සුදේශ්, (56209) ආනන්ද, (103032) තෙන්නකෝන්, (102123) ප්‍රේමකුමාර සහ (102991) අත්තනායක යන නිලධාරීන් වැඩිදුර විමර්ශන කරන අතර කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාරගේ උපදෙස් මත එහි විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පී. ආර්. වීරසේන, සැරයන් (11700) කුමාර, (4298) කුමාරසිරි, කොස්තාපල්වරුන් වන (24504) ඉගලන්, (95627) උපුල්, (26974) කුමාර, (805073) ප්‍රනාන්දු යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.
දීපාල් සමරසේකර