Home » ගෙවල් 20ක් සුද්ද කළ කුඩ්ඩන් දෙදෙනා ඇල්ලූ පොලිස් උකුසු ඇස

ගෙවල් 20ක් සුද්ද කළ කුඩ්ඩන් දෙදෙනා ඇල්ලූ පොලිස් උකුසු ඇස

by thanushika
November 2, 2024 12:30 am 0 comment
දීපාල් සමරසේකර

අපරාධ මර්දන සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ විමර්ශන සඳහාම දක්ෂතාවන් පෙන්වන පොලිස් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් පොලිස් දෙපාර්තමේන්තුවේ සිටිති. අපරාධකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමුන් පිළිබඳ මේ නිලධාරින්ගේ දැනුම අතිමහත්ය. රටේ කොතැනක සිටියද අපරාධකරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීමට මේ නිලධාරින්ට ඇත්තේ සහජ දක්ෂතාවකි.

විශාල පිරිසක් මධ්‍යයේ වුවත් අපරාධකරුවකු හෝ ජාවාරම්කරුවකු ‘නියම විදියට’ හඳුනාගෙන ඔහු හෝ ඇය අත්අඩංගුවට ගැනීමට මෙවැනි නිලධාරින්ට ඇත්තේ සහජ දක්ෂතාවකි. මඟතොට යන එන අතරේ මේ නිලධරයන්ගේ උකුසු ඇස අපරාධකරුවන්, ජාවාරම්කරුවන් හඳුනා ගන්නේ ක්ෂණිකවය. ඒ, ඒ පිළිබඳව රාජකාරි කර ලබාගත් අත්දැකීම් නිසාය.

අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසියේ සේවය කරන එවැනි නිලධරයන් කණ්ඩායමකට

මඟතොටදී අහම්බෙන් මෙන් හසුවන්නේ නම ගිය අපරාධකරුවන් දෙදෙනෙකි. පොලිස් ඇසට වැලි ගසමින් සැඟවී සිටි මේ අපරාධකරුවන් දෙදෙනාට අම්බලන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධරයන් කණ්ඩායමේ උකුසු ඇස්වලින් ගැලවීමට ලැබුණේ නැත.

මේ කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.

ඇල්පිටිය පොලිස් කොට්ඨාසයට අයත් අම්බලන්ගොඩ, අහුන්ගල්ල පොලිස් වසම්වල පිහිටි බළපිටිය, කන්දගොඩ, වතුගෙදර ප්‍රදේශවල පසුගිය දිනවල සිදුවූ නිවාස බිඳ භාණ්ඩ සොරකම් කිරීමේ සිදුවීම් ගණනාවක් පිළිබඳව පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබුණේ ඒවාට සම්බන්ධ අපරාධකරුවන් අල්ලා ගැනීම සඳහාය.

අම්බලන්ගොඩ, අහුන්ගල්ල පොලිස් ස්ථානවල අපරාධ විමර්ශන අංශ නිලධරයන්ට අමතරව ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් ද මේ ගෙවල් බිඳුම් ගැන විමර්ශන ආරම්භ කෙළේ ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පලිස්කාරගේ උපදෙස් මතය.

අදාළ පොලිස් වසම්වල ගෙවල් 20කට වැඩි සංඛ්‍යාවක් බින්ද සොරුන් එකම කල්ලියක හෝ වෙන් වෙන් වශයෙන් අපරාධ සිදු කරන පුද්ගලයන්දැයි විමර්ශනය කිරීම සිදු වූයේ ඔවුන් හඳුනා ගැනීම සඳහා සී සී ටී වී දර්ශන ද පරීක්ෂා කරන අතරතුරේදීය. අපරාධකරුවන් රුපියල් ලක්ෂ 80ක පමණ දේපොළ මෙම නිවෙස්වලින් සොරකම් කර තිබූ බවද හෙළි වන්නේ ඔය අතරය.

අම්බලන්ගොඩ සහ අහුන්ගල්ල පොලිස් ස්ථානවල අපරාධ විමර්ශන අංශවල නිලධරයන් මේ අපරාධකාරයන් ගැන තොරතුරු සොයන්නේ එම ප්‍රදේශවල මීට පෙර සිදුවූ ගෙවල් බිඳුම්වලට සම්බන්ධ පුද්ගලයන්ගේ ‘තෝම්බුවක්’ සහ ඡායාරූප ද පරීක්ෂා කරමිනි. එහෙත් කිසියම් වැදගත් හෝඩුවාවක් සොයා ගැනීමට පොලිස් නිලධරයන්ට නොහැකි වුවත් පොලිස් නිලධරයෝ උත්සාහය අත්හැරියේ නැත.

අම්බලන්ගොඩ සහ අහුන්ගල්ල පොලිස් බල ප්‍රදේශවල පදිංචි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සහ ඒ සම්බන්ධ වරදට සිරගත වී දඬුවම් ලැබ නැවත ගමට පැමිණ ඇති අය ගැන ද පොලිසියේ අවධානය යොමුවන්නේ මේ අතරය.

අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඉසුරු පතිජීව ඇතුළු කණ්ඩායමක් පසුගියදා විමර්ශන රාජකාරියකට යද්දී අම්බලන්ගොඩ කන්දෙගොඩ, කුරුඳුවත්ත ප්‍රදේශයේදී සැක කටයුතු ලෙස ගැවසුණු පුද්ගලයන් දෙදෙනෙකු දැක ඔවුන්ගෙන් ප්‍රශ්න කර අත්අඩංගුවට ගන්නේ ඔවුන් පරීක්ෂා කිරීම සඳහාය.

පොලිස් නිලධරයන්ගේ සැකය තහවුරු කරමින් මේ සැකකරුවන් සතුව තිබුණ රුපියල් ලක්ෂ 3ක් පමණ වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය සොයාගැනීමට පොලිස් නිලධරයන්ට හැකි විය. එක සැකකරුවකු සතුව හෙරොයින් මිලිග්‍රෑම් 5320ක් සහ දෙවැනි සැකකරු සතුව තිබියදී හෙරොයින් මිලිග්‍රෑම් 6020ක් සොයා ගැනිණි. ඔවුන් මෙලෙස හෙරොයින් තබාගෙන සිට ඇත්තේ ඔවුන්ගේ කලිසම් සාක්කුවලය.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අම්බලන්ගොඩ පොලිසියට රැගෙනවිත් ප්‍රශ්න කරද්දී හෙළි වන්නේ ඔවුන් මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වූවන් බවය.

අම්බලන්ගොඩ, අහුන්ගල්ල පොලිස් වසම්වලට අයත් කන්දෙගොඩ, වතුගෙදර, බළපිටිය ඇතුළු ප්‍රදේශ කීපයක නිවාස 20ක් බිඳ රුපියල් ලක්ෂ 80ක පමණ වටිනා දේපොළ සොරකම් කර ඇත්තේ මේ සැකකරුවන් බවට තොරතුරු හෙළි වන්නේ අම්බලන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් මොවුන් දෙදෙනාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදීය.

මේ දෙදෙනා සමඟ එක්වී ගෙවල් බිඳුම් සිදු කරන ලද තවත් පුද්ගලයන් දෙදෙනෙක් ගැන තොරතුරු විමර්ශනයේදී හෙළි විය. එම දෙදෙනා ද මත්ලෝලීන් වන අතර, ඔවුන් මේ වන විට එම ප්‍රදේශයෙන් පලාගොස් ඇත.

අම්බලන්ගොඩ සහ අහුන්ගල්ල ප්‍රදේශවල පසුගිය දිනවල සිදුවුණු ගෙවල් බිඳුම් නිසා ප්‍රදේශවාසීන් ද මහත් භීතියට පත්ව සිටි බවද වාර්තා විය.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් අම්බලන්ගොඩ කන්දෙගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගේ වයස අවුරුදු 21කි. සෙසු පුද්ගලයා පොලොන්නරුව, වැලිකන්ද, සිංහපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගේ වයස අවුරුදු 21කි. පස්දෙනෙකුගෙන් සමන්විත මේ කල්ලියේ ප්‍රධානියා සන්තකයේ නිවෙස්වලින් සොරාගත් රුපියල් ලක්ෂ ගණනක භාණ්ඩ ඇති බවට සැක කෙරේ. ඔහු පලාගොස් සිටී.

ඇල්පිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පලිස්කාරගේ උපදෙස් මත අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරි වෙත්තසිංහගේ අධීක්ෂණයෙන් ප්‍රසන්න ඇල්ගිරියගේ අම්බලන්ගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉසුරු පතිජීව, උප පොලිස් පරීක්ෂක පියල්, සැරයන් (3164) අමරසිරි, කොස්තාපල්වරුන් වන (70765) මාලින්ද, (100570) දිසානායක, (104575) රූපසිංහ, (90252) නිශාන්ත යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වතී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division