– අයිස්, මැන්ඩි, කුෂ් තොගයක් තැපැල් පාර්සල් 07ක් ලෙස එවලා
– අයිතිකරුවන් නැති තැපැල් පාර්සල් සොයා කළ විමර්ශනයකදී සොයා ගනී
ශ්‍රී ලංකාව සතර අතින්ම මුහුදින් වට වූ දූපතකි. එහෙයින් මෙරටට මත්ද්‍රව්‍ය ගෙන එන්නේනම් ඒ සඳහා විදේශවලින් රැගෙන ඒම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුය. මෙරටට මත්ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් ගෙන එන එක් මාවතක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඔස්සේ ද වැටී තිබේ. එම මාවත ඔස්සේ දෙයාකාරයකින් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම සිදු වෙමින් පවතී.
මින් පළමුවැන්න කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණෙන ගුවන් මගීන් ඔවුන්ගේ ගමන් මලු තුළ නැතිනම් සිය සිරුරේ සඟවාගෙන මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමයි.
අනෙක් ක්‍රමය වී පවතින්නේ ගුවන් තැපැල් සේවාව ඔස්සේ පාර්සල් ලෙස කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානය (Cargo Village) වෙත ව්‍යාජ ලිපිනයන් සහිත ත්‍යාග පාර්සල් ලෙස සකස් කර මෙසේ විදේශීය මත්ද්‍රව්‍ය මෙරටට එවීමයි.
මෙම ක්‍රමය වඩාත් ආරක්ෂිත බොහෝවිට කිසිවකු අත්අඩංගුවට පත් නොවී ක්‍රියාත්මක කළ හැකි සුරක්ෂිත ක්‍රමයක් බව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ සිය අත්දැකීමෙන්ම ප්‍රත්‍යක්ෂ කරගෙන සිටිති.
මෙසේ කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට රැගෙන එන මත්ද්‍රව්‍ය රටපුරා අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොගයන් සමඟ සාපේක්ෂව සසඳා බලනවිට ප්‍රමාණයෙන් මඳක් අඩු වුවද ඉහළ මට්ටමක පවතින මත්ද්‍රව්‍ය මෙසේ ජාවාරම්කරුවන් විසින් රැගෙන ඒමට පියවර ගෙන තිබේ.
එසේ රැගෙන එන මත්ද්‍රව්‍ය තවත් බොහෝ දෑ සමඟ කලවම් කර අධික ලාභ තබා ගනිමින් අලෙවි කිරීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ කටයුතු කරමින් සිටිති.
නිදසුනක් ලෙස හෙරොයින් මත්ද්‍රව්‍ය නන් මෙම ජාවාරම්කරුවෝ කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට රැගෙන එන්නේ ඉස්තරම් බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් වීම පෙන්වා දිය හැකිය.
කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ යූ.පී.එස්. බන්ධිත ගුදම වෙත ලැබී තිබූ නමුදු කිසිවකුත් රැගෙන යාම සඳහා භාර ගැනීමට නොපැමිණි ගුවන් තැපැල් පාර්සල් හතක් මාස ගණනාවක් තිස්සේ මෙහි ගොඩ ගැසී තිබුණි. මෙම පාර්සල් අමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය සහ කැනඩාව යන රටවල සිට මෙරට විවිධ ප්‍රදේශවල පිහිටි ව්‍යාජ ලිපිනයන් වෙත එවා තිබුණි. එම පාර්සල් බොහෝමයක් මත එම රටවලින් මෙරටට ලැබෙන ‘ත්‍යාග’ ලෙස සඳහන් කර තිබීම විශේෂත්වයක් විය.
මෙම පාර්සල් මෙසේ දිගු කාලයක් රැගෙන නොයාම පිළිබඳ අවධානය යොමු කළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මෙම පාර්සල් තුළ සඳහන් ලිපිනයන් සොයා ගොස් ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කර තිබුණි. එහිදී මෙම පාර්සල් තුළ සඳහන් ලිපිනයන් සියල්ල ව්‍යාජ ලිපිනයන් බවට කරුණු තහවුරු වීමත් සමඟ මෙම පාර්සල් සියල්ල විවෘත කර පරික්ෂා කර බැලීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර එකඟතාවකට පත් වී තිබුණි.
ඒ අනුව පසුගියදා මෙම නිලධාරීන් දෙපාර්ශ්වය එක් වී මෙම හිමිකරුවන් ඉදිරිපත් නොවූ පාර්සල් විවෘත කර පරික්ෂා කර බැලීම ආරම්භ කර තිබුණි. ඔවුන් සැක කළ පරිදිම එම හිමිකරුවන් ඉදිරිපත් නොවූ පාර්සල් තුළ විශාල විදේශීය මත්ද්‍රව්‍ය තොගයක් සඟවා තිබියදී අනාවරණය කර ගැනීමට සමත් විය.
එම පාර්සල් තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 07යි ග්‍රෑම් 21ක්, මැන්ඩි නමැති රසායනිකය මුසුකොට නිෂ්පාදන කෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 338ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 143ක්ද තිබී අත්අඩංගුවට ගැනීමට මෙම නිලධාරීන්ට හැකි විය. මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් අටකෝටි පනස් ලක්ෂයක් ලෙස තක්සේරු කර තිබුණි.
පසුව මේ පිළිබඳ තවදුරටත් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා මෙම මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත රැගෙනවිත් තිබුණි.
කටුනායක ටී. කේ. ජී. කපිල