Home » සමරිසි පාටියට ආ රුපලාවණ්‍ය ශිල්පියාට වෙච්ච දෙයක්

සමරිසි පාටියට ආ රුපලාවණ්‍ය ශිල්පියාට වෙච්ච දෙයක්

by Mahesh Lakehouse
November 2, 2024 12:30 am 0 comment
දීපාල් සමරසේකර

– පාටිය සොයා ගිය රූපලාවණ්‍ය ශිල්පියාට කට්ටියක් පහර දීලා ක්‍රෙඩිට් කාඩ්පතෙන් අසූහතර දහසකුත් අරන්
– ඇප් එකකින් හමුවුණු තරුණයෙක් පිළියන්දල පාටියකට එන්න කියලා

අහිංසක අසරණ පුද්ගලයන් ඉතා සූක්ෂ්මව රවටා ඔවුන් සතු මිල මුදල් භාණ්ඩ දේපළ ඉතා සංවිධානාත්මකව පැහැරගන්නා කල්ලි කණ්ඩායම් රටපුරා ක්‍රියාත්මකව සිටින්නේ අද ඊයෙක සිට නොවේ. මේ අය ඒ සඳහා සුවිශේෂී මෙවලමක් ලෙස අන්තර්ජාලය, මුහුණුපොත යොදා ගන්නේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් වැඩිපුරම අන්තර්ජාලය භාවිත කරන නිසාය.

අන්තර්ජාලය ඔස්සේ විශේෂයෙන් පුද්ගලයන් ග්‍රහණය කරගන්නා යෙදුම් කිහිපයකි. ඒවා අතරින් ගණිකා ජාවාරමට සහ සමරිසි පුද්ගලයන් සඳහා ද ඇති යෙදුම්වලට ඇතැමුන් ආකර්ෂණය වන්නේ නිතැතින්මය.

සුරූපී ගණිකාවන් සපයන බවට අන්තර්ජාල යෙදවුමක් (ඇප්) මඟින් දැන්වීම් සහ සුරූපිනියන්ගේ ඡායාරූප පළකර ධනවත් පුද්ගලයන් හෝටල්වලට කැඳවා පහර දී අතපය බැඳ දමා ඔවුන් සතු මිල මුදල්, දේපළ, රන් ආභරණ පැහැරගෙන පලා යන කාන්තාවක ඇතුළු කල්ලියක් පිළිබඳ තොරතුරු මාධ්‍ය මඟින් පසුගියදා හෙළිකර තිබිණි.

සමරිසි පුද්ගලයන්ගේ සේවය ලබාගැනීමට හැකි බව සඳහන් කරමින් ඒ සඳහා පෙළගැසී සිටින ඇතැම් පුද්ගලයන් විවිධ ස්ථානවලට ගෙන්වමින් ඔවුන්ට ළාබාල පිරිමි අය සපයා පසුව පහරදී නිරුවත්කර ඡායාරූප ද ලබාගෙන ඒවා අන්තර්ජාලයේ පළ කරන බවට තර්ජනය කර මිල මුදල් කප්පම් ලෙස ලබාගත් සංවිධානාත්මක තරුණ කල්ලියක් ගැන මොරටුව ප්‍රදේශයෙන් වතා දෙකකදී පමණ වාර්තා වු අතර, මේ කල්ලියට හසු වූ හමුදා මේජර්වරයෙක් මොරටුව පොලිසියට කරන ලද පැමිණිල්ලකින් පසුව එම කල්ලිය කොටුකර ගැනීමට පොලිසියට හැකි විය.

අන්තර්ජාල යෙදවුමක් මඟින් හඳුනාගන්නා පුද්ගලයන්ට මත්ද්‍රව්‍ය සාද සහ සමරිසි පුද්ගලයන් හඳුන්වා දෙන මුවාවෙන් ඔවුන් සතු මිල මුදල් රන් ආභරණ පැහැරගෙන පලා යන සංවිධානාත්මක කල්ලියක තොරතුරු හෙළිකර ගැනීමට පිළියන්දල පොලිසියට හැකි වූයේ පසුගියදාය.

මේ කතාවේ මුල මැද අග මෙසේය.

ඔහු රුපලාවණ්‍ය ශිල්පියෙකි. පදිංචිය මාතර, සුල්තානාගොඩ ප්‍රදේශයේය. හැඩට සිටින මේ තරුණයා නිතරම අන්තර්ජාලය පරිශීලනය කරන්නේ තමන්ගේ ව්‍යාපාරයට ද එය අත්‍යවශ්‍යම නිසාය.

මෙසේ අන්තර්ජාලය පරිශීලනය කරන මේ තරුණයා එහි යෙදවුමක් (ඇප්) ඔස්සේ පුද්ගලයකු දැනහැඳින ගන්නේ පසුගියදාය. එම යෙදවුම අන්තර්ජාලයෙන් හඳුනාගන්නා පුද්ගලයන්ට සාද සහ සමරිසි පුද්ගලයන් හඳුන්වා දෙන එකකි. මාතර රුපලාවණ්‍ය ශිල්පියා මෙලෙස අදාළ ඇප් එක ඔස්සේ හඳුනාගෙන තිබුණේ පිළියන්දල ‘විශ්වකලා’ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. මේ තැනැත්තා සමඟ ඉක්මනින් මිතුරු වන රූපලාවණ්‍ය ශිල්පියා ඔහු සමඟ නිරතුරු කතාබහේද නිරත වන්නේ අන්තර්ජාලයේ වට්ස්ඇප් ඔස්සේය.

දෙදෙනා අතර මේ මිතුරුකම දිගින් දිගටම පවතිද්දී පිළියන්දල විශ්වකලා පදිංචි පුද්ගලයා රුපලාවණ්‍ය ශිල්පියාට ආරාධනා කරන්නේ තමා බැලීමට පිළියන්දලට පැමිණෙන ලෙසය. රුපලාවණ්‍ය ශිල්පියා වෙනුවෙන් සාදයක් ද තමා සංවිධානය කර ඇතැයි ඔහු කියන්නේය.

පිළියන්දල මිතුරාගේ ආරාධනාව භාර ගත් රුපලාවණ්‍ය ශිල්පියා මාතර සිට කුලී රථයකින් පිළියන්දල මිතුරාගේ නිවෙසට යන්නේ පසුගිය දිනෙක රාත්‍රී කාලයේය. අදාළ නිවෙස පිහිටා තිබුණේ සුසාන භූමියක් ආසන්නයේය.

සාදය පැවැත්වෙන ස්ථානය සොයා ගිය රුපලාවණ්‍ය ශිල්පියාට සිද්ධ වෙන්නේ වඳින්නට ගිය දේවාලය හිසේ කඩා වැටුණාක් මෙන් වැඩකි. අදාළ ස්ථානයට එක්වරම කඩා වැදුණු පුද්ගලයන් පස්දෙනෙක් රුපලාවණ්‍ය ශිල්පියාට පහර දී ඔහු අඩපණ කර පසුව ඇඳුම් ගලවා ඔහුගේ නිරුවත් ඡායාරූප ලබාගෙන ඉන් නොනැවතී ඔහු සතු ක්‍රෙඩිට් කාඩ්පතද පැහැරගෙන ඉන් රුපියල් 84,000ක් ලබාගෙන පලා ගොස් ඇත්තේ ඔහුගේ ජංගම දුරකතන භාණ්ඩ සහ මිල මුදල් ද පැහැර ගනිමින්ය.

මේ සිද්ධියෙන් දැඩි කම්පනයට ලක් වූ රුපලාවණ්‍ය ශිල්පියා මේ බව සිය මිතුරන්ටද දන්වා පසුව ඒ පිළිබඳව පිළියන්දල පොලිසියට පැමිණිල්ලක් කළේය.

පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගමගේ උපදෙස් මත විමර්ශන ආරම්භ කළ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් රුපලාවණ්‍ය ශිල්පියාගෙන්ද ඒ පිළිබඳව තොරතුරු ලබාගෙන සිද්ධිය වූ ස්ථානයට ද ගොස් විමර්ශනයක් සිදු කරන ලදි.

පොලිසිය එහිදී හෙළිකර ගන්නා ලද තොරතුරුවලට අනුව පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගන්නේ අනතුරුවය. ඔවුන් සතුව තිබී රන් මාලයක් සොයා ගන්නා ලද අතර, එම රන් මාලය රුපලාවණ්‍ය ශිල්පියාගෙන් කොල්ලකෑ රන් මාලය බවට හෙළි විය.

මේ කොල්ලයට පැමිණි කල්ලියට අයත් ‘ගයියා’ සහ ‘ලේනා’ ලෙස හඳුන්වන පුද්ගලයන් දෙදෙනාද අත්අඩංගුවට ගැනීම සඳහා දීර්ඝ විමර්ශනයක් පැවැත්වේ.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරද්දී හෙළි වී ඇත්තේ ඔවුන් ගල්කිස්ස, මඩපාත සහ පිළියන්දල ප්‍රදේශවල පදිංචිකරුවන් බවය. ඔවුහු අවුරුදු 21 සහ 27 වයස්වල පසුවන අය වෙති.

අන්තර්ජාල යෙදවුම් ඔස්සේ ගණිකාවන් සහ සමරිසි පුද්ගලයන් හඳුන්වා දෙන බව පවසා පුද්ගලයන් යම් ස්ථානවලට ගෙන්වා පහර දී නිරුවත්කර ඡායාරූපද ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර එම පුද්ගලයන්ගෙන් කප්පම් ලෙස මුදල් ලබාගන්නා මෙවැනි සංවිධානාත්මක කල්ලි කණ්ඩායම් රැසක් ක්‍රියාත්මක වන බව පොලිසියේ අදහසයි. පොලිසිය සඳහන් කරන්නේ එම පුද්ගලයන්ගෙන් ප්‍රවේසම් වීම ජනතාවගේ වගකීමක් බවය.

පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගමගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division