Home » කඳුළින් නිම වූ ඇල්පිටිය ‘සංගීතේ’

කඳුළින් නිම වූ ඇල්පිටිය ‘සංගීතේ’

by Mahesh Lakehouse
November 2, 2024 12:30 am 0 comment

– සෙනඟ අතරින් පලායද්දී මහේෂ් ළිඳකට වැටුණු හැටි සොයයි
– සංගීතය බලන්න ආ පිටිගල මහේෂ් චතුරංගගේ සිරුර ළිඳක
– සංගිතය අතරතුරදී ගෑස් ටැංකියක් උස්සන්න ගිහින් අවට සිටි අයට අහුවෙලා

සංගීතය විශ්ව භාෂාවකි. මේ නිසාම දුප්පත් පොහොසත් උගත් නූගත් ආදී කිසිදු භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට සංගීතයේ රස විඳිය හැකිය. ඒ රස වින්දනය වර්තමාන සමාජයේ විවිධ අය විවිධ ආකාරයෙන් ලබා ගනිති. විශේෂයෙන් වත්මන් සමාජයේ සිටින බොහෝ තරුණ පිරිස් මෙම වින්දනය ලබාගන්නේ එළිමහන් සංගීත සංදර්ශනවලට පැමිණීමෙනි. එසේ පැමිණ සංගීත රසයෙන් කුල්මත්ව සිය මිතුරන් සමඟ එක්ව රංගනයේ යෙදෙමින් විනෝදවී සැහැල්ලුවෙන් පැය කිහිපයක් ගතකර ඔවුන් සිය සිත් සුවපත් කර ගනිති.

එහෙත් මේ වන විට බොහෝ දෙනා මේ සංගීත සංදර්ශන නැරඹීමට පැමිණෙන්නේම මත් වතුරෙන් හෝ මත්ද්‍රව්‍යකින් සප්පායම් වීමෙන් පසුවය. එසේ පැමිණ විනෝද වෙද්දී ඇතිවන කිසියම් සුළු සිද්ධියක් නිසා සිය ජීවිත අහිමිකර ගත් අය ගැනද නෑසූ කෙනෙක් නැති තරම්ය.

ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණය අසල ළිඳක තිබී තරුණයකුගේ මළ සිරුරක් ඇල්පිටිය පොලිසිය විසින් සොයා ගනු ලබන්නේ එම ළිඳ පිහිටි ඉඩමේ අයිතිකරු විසින් තමන් පානීය ජලය ලබාගන්නා ළිඳේ මළ සිරුරක් තිබෙන බවට කළ දැනුම් දීමක් මතය. පොලිසියේ දැනුම් දීම මත එම ස්ථානයට ඇල්පිටිය පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීන් සමඟ පැමිණ ඇල්පිටිය හදිසි මරණ පරීක්ෂක ආර්. ගාමිණි ඩයස්ගේ නිරීක්ෂණයෙන් පසුව ඔහුගේ නියෝගය පරිදි මළ සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇල්පිටිය මූලික රෝහල වෙත යවනු ලැබීය.

මේ අතර මළ සිරුර ඒ වන විට අතුරුදහන්ව සිටි පිටිගල, ගාලියද්ද, ඈපා මාවත, වැයිහේන, මත්තක ලිපිනයේ පදිංචි පිටිගල කංකානම්ගේ මහේෂ් චතුරංගගේ බව ඔහුගේ මව සහ මිතුරන් විසින් හඳුනා ගැනිණි. මොහු අවිවාහක තරුණයෙකි. ඔහු ඉකුත්දා සවස ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයක් නැරඹීම සඳහා පැමිණෙන්නේ තවත් මිතුරන් දෙදෙනෙකු සමඟ මෝටර් බයිසිකල් දෙකකිනි.

ඇල්පිටිය නගරයට පැමිණෙන මේ තිදෙනා මුලින්ම යන්නේ නගර මධ්‍යයේ පිහිටි රටබීම අලෙවි සැලටය. ඉන් මත් වතුර බෝතලයක් මිලට ගන්නා ඔවුන් පසුව ඊට අවශ්‍ය කළමනාද මිලදීගෙන යන්නේ ඒ ආසන්නයේම පිහිටි සුපිරි වෙළෙඳ සංකීර්ණයේ පාළු ස්ථානයකටය. එහිදී මත්පැන්වලින් සප්පායම් වන තිදෙනා මහජන ක්‍රීඩාංගණයට ගොස් යතුරුපැදි කුලියට රැක බලාගන්නා අයෙකුට ඒවා භාර දී සංගීත භූමියට අතුළු වූහ. සංගීතය ඇසෙද්දී ඔවුන් හිතේ හැටියට නටමින් ප්‍රීති වූහ. ටික වේලාවක් යද්දී ඔවුන් ඇඳ සිටි ඇඳුම් දහදියෙන් පෙඟුණ නිසා කමීස ගලවා ඒවා කරේ දමාගෙන රංගනයේ යෙදුණහ. මෙසේ නටමින් ප්‍රීති වෙමින් සිටියදී සංදර්ශන භූමියට වැස්සක් කඩා වැටෙන්නේ රාත්‍රි 11ට පමණය. නටමින් සිටි අය සංදර්ශන භූමියේ පිහිටි වෙළෙඳසැල් අසලට දිව යන්නේ වැස්සෙන් බේරීමටය. ඒ අතරේ මහේෂ්ගේ ඇස යොමු වන්නේ එහි එළිමහනේ තිබූ කහ පැහැති හිස් ගෑස් ටැංකියටය. තමන්ගේ රැකියාවට ඉතා අත්‍යවශ්‍ය දෙයක් වූ මෙය හොරෙන් ඔසවාගෙන යන්නට ඔහු සිය මිතුරන්ගෙන් උදවු ඉල්ලා සිටියේය. මුලදී මිතුරන් දෙදෙනා ඊට අකමැත්ත ප්‍රකාශ කළත් මහේෂ්ගේ බලවත් ඉල්ලීම නිසා මිතුරන් දෙදෙනාද ඊට කැමති වූහ. වෙළෙඳසැල් හිමියාගේ අවධානය යොමු නොවන මොහොතක් බලා ඔවුන් එම හිස් ගෑස් ටැංකිය සංදර්ශන භූමිය ආවරණය කර තිබූ තහඩුවලින් එළියට වීසි කළහ. ඉන්පසු ගැලවුණ තහඩුවක් අසලින් මේ තිදෙනා සංදර්ශන භූමියෙන් එළියට බසිද්දී එය දුටු කිහිපදෙනෙක් කෑමොර දුන්හ.

මහේෂ් සමඟ පැමිණි මිතුරෙකු වූ කුෂාන් එය පෑවසුවේ මෙසේය.

“මමත්, අමිල මධුරංගත් ගෑස් ටැංකිය ඔසවා පිට්ටනිය වටා තිබුණ තහඩු ආවරණ වැටෙන් පිටතට එය වීසි කළා. ඊට පසු අපි එය රැගෙන යාමට ඉවත්කර තිබූ තහඩු දෙකක් අතරින් පිට්ටනියෙන් පිටතට ආවා. ඒ වෙලාවේ වෙළෙඳසැලේ හිමිකරු සහ තව පිරිසක් ‘ඔන්න හොරු‘ කියා කෑගැහුවා.“

මහේෂ්ගේ හදිසි මරණය සම්බන්ධයෙන් ඇල්පිටිය හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු ආර්. ගාමිණි ඩයස් විසින් ඇල්පිටිය මූලික රෝහලේදී මරණ පරීක්ෂණය පවත්වනු ලැබීය.

එහිදී සාක්ෂි දුන් මියගිය අයගේ මිතුරා වන මාර්තුපිටිය මත්තක ලිපිනයේ පදිංචි 24 හැවිරිදි පෝද්දිවෙල හේවගේ කුෂාන් මෙසේ කීය.

“මියගොස් සිටින පිටිගල කංකානම්ගේ මහේෂ් චතුරංග මගේ මිතුරෙක්. තවත් මිතුරෙකු වන අමිල මධුරංග සමඟ අපි තුන්දෙනා යතුරුපැදි දෙකකින් ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනය නැරඹීමට ඇල්පිටිය නගරයට පැමිණියා. එහිදී මත්පැන් බෝතලයක් ගෙන එය අපි තුන්දෙනත් එක්ක බිව්වා. ඊට පසු අපි සංගීත සංදර්ශන භූමියට ගියා. ටික වේලාවක් අපි නටමින් සිටින විට තරමක වැස්සක් ආවා. අපි සංදර්ශන භූමියේ තිබූ වෙළෙඳසැලක් අසලට ආවා. මහේෂ් කිව්වා එහි තිබූ කහපාට ගෑස් ටැංකිය ඔහුට අවශ්‍ය බව. මමත්, අමිල මධුරංගත් ගෑස් ටැංකිය ඔසවා පිට්ටනිය වටා තිබුණ තහඩු ආවරණ වැටෙන් පිටතට එය වීසි කළා. ඊට පසු අපි එය රැගෙන යාමට ඉවත්කර තිබූ තහඩු දෙකක් අතරින් පිට්ටනියෙන් පිටතට ආවා. ඊට පසු කඩයේ හිමිකරු හා තව පිරිසක් ඔන්න හොරු කියා කෑගැසුවා. අපි තුන්දෙනා වේගයෙන් සෙනඟ අතරින් පිටතට දුවගෙන ගියා. අපි තුන්දෙනා දිව්වේ තුන් පැත්තකටයි. මේ වන විට රාත්‍රී 11.30ට පමණ ඇති. මහේෂ් සොයාගන්න අපට බැරිවුණා. අපි ඔහුව හැමතැනම සෙව්වා. ඔහු හමුවුණේ නැහැ. පසුව අපි ගෙවල්වලට ගියා. පසුදින අපි මහේෂ් චතුරංගගේ නිවසට ගියා. ඔහු නිවසට පැමිණ සිටියේ නැහැ. පස්සේ මහේෂ්ගේ අම්මා සමඟ පිටිගල පොලිසියට ගොස් පැමිණිල්ලක් දැම්මා. දින දෙකකට පසු ක්‍රීඩාංගණය අසල ළිඳක තරුණයෙකුගේ මළ සිරුරක් තිබෙන බව පොලිසිය දැන්වූවා. ඥාතීන් සමඟ ගොස් මහේෂ් චතුරංගගේ මෘතශරීරය හඳුනාගත්තා.“

මහේෂ්ගේ පවුලේ සහෝදර සහෝදරියන් පස් දෙනෙකි. ඔහුට සහෝදරියන් දෙදෙනෙක් සහ සහෝදරයන් දෙදෙනෙක් සිටිති. පවුලේ වැඩිමලා ඔහුය. මේ කිසිවෙක් විවාහ වී නැත. මහේෂ් කුඩා කල සිට හැදී වැඩුණේ ගමේම සිටි පුංචි අම්මාගේ නිවසේය. ස්ථිර රැකියාවක් නොකළ මහේෂ් නීති විරෝධි මත්ද්‍රව්‍ය නිෂ්පාදනයද කළේය.

මෙහිදී මියගිය මහේෂ්ගේ මව වන පතිනායක වසන්තී සහ පුංචි අම්මා වන පතිනායක ශිරෝමි යන අයද සාක්ෂි දෙන ලදි.

ඇල්පිටිය පොලිසියේ සැරයන් (28812) පී.එච්.ගුණසේන සාක්ෂි මෙහෙයවීය. පශ්චාත් මරණ පරීක්ෂණය පැවත්වූ ඇල්පිටිය මූලික රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී එල්.කේ.සී.ඩී.ආරියරත්න මියගිය අයගේ ශරීරයේ කොටස් වැඩිදුර පරීක්ෂණය සඳහා රසායනාගාර පරීක්ෂණයට යොමුකළ අතර මරණයට හේතුව පසුව ප්‍රකාශ කරන බව දැන්වීය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ඇල්පිටිය හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු ආර්.ගාමිණී ඩයස් මරණයට හේතුව ප්‍රකාශ කිරීම පසුවට කල්තබා විවෘත තීන්දුවක් දෙනු ලැබීය. ඇල්පිටිය සහ පිටිගල පොලිසි මඟින් වැඩිදුර පරීක්ෂණ පවත්වති

(හදිසි මරණ පරීක්ෂණය ඇසුරෙනි.)

චන්ද්‍රසිරි ගුණසේකර - ඇල්පිටිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division