Home » මම ලියන දේවල්වලට කියවන අය කැමති වෙන එකමට ලැබෙන බෝනස් එකක්

මම ලියන දේවල්වලට කියවන අය කැමති වෙන එකමට ලැබෙන බෝනස් එකක්

ලේඛිකා කාංචනා අමිලානි

by Mahesh Lakehouse
November 2, 2024 12:30 am 0 comment

කාංචනා අමිලානි නිර්මාණකරණයට පිවිසෙන්නේ විශේෂාංග ලේඛිකාවක වශයෙනි. දශක දෙකක පමණ කාලයක් තිස්සේ මාධ්‍යවේදිනියක වශයෙන් කටයුතු කළ ඇය, ඒ අතරතුරදී ප්‍රේමයේ කාර්තු හා බූමරංගය ඔබේ ඇස් දෙක නම් කාව්‍ය සංග්‍රහ ද්විත්වය පළ කරන්නීය. ඊට අමතරව ගම්මිරිස් කුරුල්ලා කෙටිකතා සංග්‍රහයත්, ගුහා සටන නම් නවකතාවත් ඇගේ නිර්මාණ දිවියේ පුළුල් බව විශද කළේය. කාල රේඛාව කාංචනාගේ අලුත්ම කාව්‍ය සංග්‍රහයයි.

ප්‍රේමයම තැවරුණ නමුත් ප්‍රේමයමත් නොවන අපූර්ව ගණයේ කවි 62ක් කාල රේඛාවේ අන්තර්ගතය. සියුම් ම දෑ පවා ඉසියුම් ව දකින කාංචනාගේ කවි අගේ පරිකල්පන ලෝකයේ මනරම් බවත්, යථාර්ථයේ ස්වභාවයත් යන ද්විත්ව ලක්ෂණ ම සමසේ කලතා ඇති බැව් කිව යුතුමය

ඔබ දීර්ඝ කාලයක් ගත්තා අලුත් කවි පොත ‘කාල රේඛාව’ වෙනුවෙන්. ඒත් ඔබ කවි නොලියා සිටියා කියලා මම හිතන්නේ නෑ.

මගේ දෙවැනි කවි පොත, ‘බූමරංගය ඔබේ ඇස් දෙක’ නිකුත් වුණේ 2017දී. තුන් වැනි කවි පොත පළ වෙන්නෙ 2024දි. ඒ කියන්නෙ අවුරුදු හතකට පස්සෙ. ඇත්තටම ඒ අවුරුදු හත පුරාම මම කවි ලිව්වා.

හැමදාම මගේ කවි පොත්වලට කවි තෝරන්නෙ හිමාලි එන්. ලියනගේ. හිමාලියි, මමයි ඔය අවුරුදු හතේම නොයෙක් ෆෝල්ඩර්වලට කවි එකතු කළා. එක ෆෝල්ඩර් එකක් තිබ්බා අලුත් කවි පොතක් වෙනුවෙන්ම. ඔන්ලයින් පබ්ලිෂ් කළාට කමක් නෑ කියලා හිතපු කවි තියෙන තව ෆෝල්ඩර් එකක් තිබ්බා. ඒ ෆෝල්ඩර් එකේ තිබ්බ සමහර කවි ෆේස්බුක්, මීඩියම්, ට්විටර් ෆ්ලැට්ෆෝම්වල පබ්ලිෂ් කළා. සමහර කවි එහෙම කොහේවත් පබ්ලිෂ් නොකර තියාගත්තා. මේ සියල්ලෙන්ම අවසානයේදී අපි කවි 62ක් තෝරා ගත්තා. එහෙම කලින් තේරීමක් කරලා තිබ්බ නිසා කවි තෝරන වැඩේ ටිකක් ලේසි වුණා මම හිතන්නෙ. මොකද අවුරුදු හත තිස්සේම අනාගතේට කවි තෝරලානෙ තිබිලා තියෙන්නෙ.

දිග කාලයක් කවි පොතක් නොකර හිටපු එකෙන් යහපතක් වුණා කියලයි මං විශ්වාස කරන්නෙ. මොකද මේ අවුරුදු හත ඇතුළෙ මට මගේ ලිවීම ගැන තක්සේරුවකටත් එන්න පුළුවන් වුණා. බොහොම දේවල් ඉගෙන ගන්නත් පුළුවන් වුණා. ආයෙත් හැරිලා බලද්දි ඒක හොඳ අභ්‍යාසයක් කියලා මටම හිතෙන්න ගත්තා.

දැන් නම් මම පොඩි බ්‍රේක් එකක් අරගෙන ඉන්නෙ. සමහර විට තවත් අවුරුදු හතක්වත් යාවි ආයෙත් කවි පොතක් කරන්න.

ඔබ ඉතා කුඩා දේ පවා තියුණු ලෙස නිරීක්ෂණය කරන්නෙක්. ඒක කවිකමට කරන බලපෑම ගැන කතා කළොත්?

මම හිතන්නෙ ඉතාම කුඩා දේවල්, බහුතරයකට ලේසියෙන් ම මඟ හැරෙනවා කියලයි. මොකද මේ විශාල ලෝකෙ ඇතුළෙ පොඩි දේවල්වලට එච්චර වටිනාකමක් හරි අවධානයක් හරි ලැබෙන්නෙ නෑ. පොඩි දේවල් එහෙමට අවධානයක් ඉල්ලා හිටින්නෙත් නෑ. මෙන්න මේ ස්වාභාවිකව බහුතරයකට මඟ හැරෙන දේවල් පස්සෙ තමයි මම පොඩි කාලෙ ඉදන්ම ලුහුබැන්දේ.

මට පොඩි කාලෙ ඉඳන්ම අදහසක් තිබ්බා අපි ගණන් නොගන්න සමහර දේවල් ඇත්තටම අපි ලොකුවට ගණන් ගන්න ඕනනෙ කියලා. ඒ අදහසම මගේ වැඩිහිටි අවදිය වෙනකොට වෙන විදිහකට මාත් එක්කම වැඩෙන්න ඇති. සමහර දේවල් පහුකරන් යද්දි නැවතිලා බලන් ඉන්න මගේ පුරුද්දත් මේකට බලපාන්න ඇති. මට හැමතිස්සෙම තව අදහසක් හිතේ වැඩ කළා. ඒ අපිට පේන දේම නෙවෙයි ලස්සන, අපි පේන දේ ඇතුළෙන් හදාගන්න දේ කියලා.

මේවා එක්ක මම කියවන දේවල්, නරඹන චිත්‍රපට වගේ ඒවා මෙන්න මේ කුඩා දේවල්වලටම මාව ආශක්ත කළා කියලා මං හිතනවා. එහෙම බැලුවම මගේ පුදුමය හැමදාම තිබ්බෙ කුඩා දේවල් එක්කයි.

මේවා කවියට බලපාපු විදිහ කිව්වොත්, ඒක සවිඥානිකයි වගේම අවිඥානිකයි. මම හිතාමතා ඒ නිරීක්ෂණ කවියට එකතු කරගන්නවා. ඒ වගේම සමහර වෙලාවට ඒක වෙන්නෙ අවිඥානිකව. ඒ වගේම සමහර දේවල් විස්තර කරන්න, මවලා පෙන්නන්නත් ඒක ලොකු උදව්වක් වෙලා තියෙනවා.

මට අනුව කොහොමත් කවි කියන්නෙම විශාල දෙයක් කුඩා කරලා පෙන්නීමක් වගේ එකක් තමයි. ඒකෙනුත් මම ආසා කරන්නෙ ඒ කුඩා දේවල් ඇතුළෙ මගේම රාජධානියක් වගේ එකක් හදාගන්නයි.

පරිකල්පන ලෝකය සමඟ ඔබේ ගනුදෙනුව අපූරුයි. ඒ පරිකල්පන මායාමය යෙදවීම් ‘කාල රේඛාවේ’ පමණක් නොවෙයි, බොහෝ ඔබේ නිර්මාණවලට ආලෝකය සපයනවා.

* මම කැමති ප්‍රබන්ධ ලියන්න. ඒක කවියට වගේම නවකතා, කෙටිකතාවලටත් පොදුයි. මම වැඩි විනෝදයක් ලබන්නෙ ප්‍රබන්ධත් එක්ක ගනුදෙනු කරද්දියි. ඒක මං තෝරා ගත්ත ක්‍රමය. ඉතින් මේ ක්‍රමය ඇතුළෙ කරන්න පුළුවන් වැඩ මොනවද කියලා මට නිතරම හිතන්න සිද්ධ වෙනවා. කවිය ඇතුළෙ වුණත් වැඩ කරද්දි, කවියට ප්‍රබන්ධමය දේ කාන්දු කරන එක මට එක්තරා විදිහක විනෝදයක්. පැහැදිලිව කිව්වොත් මේ ලියන දේවල් නැවත කියවලා මම විනෝද වෙනවා. මම ලියන්නෙම මෙන්න මේ විනෝදය අත්විඳින්නයි.

මම ලියන දේවල්වලට කියවන අය කැමති වෙන එක මට ලැබෙන බෝනස් එකක් විදිහටයි හැමදාම සැලකුවේ. ඒකෙන් අදහස් වෙන්නෑ ලියනකොට පාඨකයෝ මේවා භාරගන්නෙ කොහොමද කියලා මම හිතන්නෙ නෑ කියලා. ඒ ගැන පැහැදිලි අදහසක් තියෙනවා. ඒත් මගේ විනෝදය මඟ ඇරගන්නත් කිසි වෙලාවක ලෑස්ති නෑ. ඒක ද්වන්ද සටනක් වෙලාවකට. මටම දිනන්නත් ඉඩ ලැබෙන්නෙ නෑ. පාඨකයෝ දිනන වෙලාවලුත් එනවා. එහෙම තමයි ලේඛකයකුගේ ජීවිතය.

භාෂාත්මක අත්හදාබැලීම් ගැන නිරන්තර ඔබේ අවධානය යොමු වෙනවා. පරිසරයේ සද්ද පවා ඔබේ කවිවල වචන?

භාෂාත්මක අත්දැකීම් කියන්නෙ කවියට එන වෙනත් මාන විදිහටයි ම‍ං සලකන්නෙ. කවියත් කාලානුරූපීව වැඩෙමින්, නව භාෂා අත්දැකීම් ඉල්ලා සිටිනවා. ඒක අපිට වටහා ගන්න පුළුවන් වෙනවා කාලයත් එක්ක ලාංකේය කවියේ හැඩතල වෙනස් වුණේ කොහොමද කියලා පිරික්සුවොත්. මම කැමතියි කවිය අනාගතවාදී වෙනවා නම්. හරියට විද්‍යා ප්‍රබන්ධවලින් කරන බලපෑම කවියෙනුත් වෙනවා දකින්න.

පරිසරයේ ශබ්ද පාවිච්චි කරන එකත් එහෙම කුඩාම වෙනසක්. ඒ වගේම කවි කොටස්වලට අංක යොදලා ඒවා වෙන් කරන්නත්, එකම මොහොතේ එකතු කරන්නත් උත්සාහ කරන එකත් පොඩි ආකෘතිමය සෙල්ලමක්. කොහොමත් මේ සියලු සෙල්ලම් අපි අලුතින් හොයා ගත්ත ඒවාම කියන්නත් බෑ. ඒවා අඩු-වැඩි වශයෙන්, වෙන ආකාරවලින් අතීතයේදිත් පාවිච්චි කරපුවා. ඒවා වර්තමානයට එද්දි හැඩය තරමක් වෙනස් වෙන විදිහක් තමයි පේන්න තියෙන්නෙ.

මම කියන්න උත්සාහ කරන්නෙ කවි ලියන නිශ්චිත, නිවැරැදි ක්‍රමයක් හොයනවට වඩා මේ මොහොතෙ කවිය වැඩ කරන නියමිත ක්‍රමයක් හොයාගන්න කියලයි. මෙතනදි කියවන්නා පිනවනවට වඩා ලියන්නා පිනවීමයි මම කැමති විදිහ. මොකද කවියා, තමන් ලියපු කවියට කැමති වෙන්නෙ නැත්නම් කිසිම කවියකට දීර්ඝ කාලයක් ජීවත් වෙන්න බෑ.

බොහෝ කවිවල ඔබ උපහාසය සඟවනවා. වක්‍රෝත්ති, ව්‍යංග්‍යාර්ථවත් බස කවිය විඳින්නා එක එක තලවලට ගෙන යනවා. කොහොමද ඒ පුහුණුව ඔබට එන්නෙ?

මගේ කවිවලට ලොකු බලපෑමක් කළ කවියො තුන් දෙනෙක් ඉන්නවා. ඒ, අජිත් තිලකසේන, සමර විජේසිංහ සහ ආරියව‍ංශ රණවීර. මේ කවියො තුන් දෙනා තුන් දිහාවකට ගමනක් ගිය අය කියලයි මං විශ්වාස කරන්නෙ. මේ අයගෙ සාරය උරාගන්න මට බැරි වුණත් යමක් වටහාගන්න පුළුවන් වුණා කියලා මං හිතනවා. ඒ ලිවීමේ මැජික් එක එන්නෙ තමන්ගේ ඇතුළේ තියෙන සංතෝෂය හරි දැඩි වේදනාව හරි හරහා කියන එකයි. හැබැයි ඒ සංවේදනා කියන්න යම් කෙනෙක් හොයාගන්න භාෂා උපක්‍රමය වෙන කෙනෙකුගෙන් ගන්න බෑ. ඒක තමන්ට අනන්‍ය දෙයක් වෙන්න ඕන. මුලින් ඒක තමන් විසින් හොයාගන්න ඕන.

ප්‍රකට නවකතාකරුවෙක් වගේම ස්වභාව විද්‍යාඥයෙක් වුණ ජෙරල්ඩ් ඩරල්ගෙ My family and other animals කියන්නෙත් එහෙම මට බලපෑමක් වුණ ලිවීමක්. මොහුගෙ ලිවීම්වල උත්ප්‍රාසය උපරිමයි. ඒ වගේමයි කාල් මුලර්ගෙ ‘The jam fruit tree’ ඇතුළු අනෙකුත් නවකතා. තව කිව්වොත් ජපන් ලේඛක හරුකි මුරකමිගෙ භා‍ෂා භාවිතය, ඔහු සතු කුඩා දේවල් විස්තර කිරීමේ ශක්‍යතාවත් මාව නිතර පුදුමයට පත් කළා.

එහෙම බැලුවම මේ හැමදෙයක්ම මගේ ලිවීමට බලපෑවා. කියවීමෙන්, නැරඹීමෙන් ගොඩාක් දේවල් මම එකතු කරගත්තා. මේ අතරේ ආකර්ෂණීයව දෙයක් ලියන්නෙ කොහොමද කියන එක ක්‍රමක්‍රමයෙන් මං ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගැනීමෙන් මං මගේම ක්‍රමයක් හොයා ගත්තා.

මේ උත්ප්‍රාස, ව්‍යංග්‍යාර්ථ සහිතව ලියන එක වැඩිපුරම මම පාවිච්චි කළේ ලේක්හවුස් එකේ ජනමාධ්‍යවේදිනියක් විදිහට වැඩ කරන එකෙන්. එතන තමයි මගේ ලිවීමේ වැඩ බිම වුණේ. දෛනිකව ලියන එක රාජකාරිය වුණ එකෙන් ලියන දේ ගැන ලොකු අවධානයක් දෙන්න සිද්ධ වුණා. නොයෙක් අත්හදා බැලීම් කරන්න මට ඕන වුණා. මම ලියන ආටිකල් එකකින් කියවන කෙනාගෙ ඇස් අයින් කරනොගෙන්න තාලෙන් ලියන්නයි මට ඕන වුණේ. ඒකට නිතිපතා මහන්සි වෙන එකෙනුයි මගේ ලිවීමේ භාෂාව මූලිකව හැඩ වුණේ. ඒ රැකියාමය ලිවීමට සමගාමීවයි මගේ පෞද්ගලික ලිවීම් වැඩුණේ. ලේක්හවුසියේ වැඩ බිම ඉක්මවලා යන්න ඕන වුණ හැම වෙලාවකම මං කවියක්, කෙටිකතාවක් ලිව්වා. ඒ වගේම මගේ පළවෙනි නවකතාවත් ලියලා බැලුවා.

ඔබේ කවි හරියට අළු යට තියෙන ගිනි පුපුරු වගේ. ඒ වුණාට ඒ හැම එකකම ආදරෙත් තියෙනවා. මේ දෙක එකට එකතු කරන්න ඔබ භාවිත කරන උපක්‍රම මොනවාද?

අළු යට ගිනි පුපුරු තිබ්බම කවියට එන්නෙ පොඩි භයානකකමක්. හැබැයි ඒ කවියෙම ආදරේ තියෙනවා කිව්වම අර කලින් කියපු භයානකකම අඩු වෙලා ලස්සනක් එනවා. දැන් එතකොට එතන තියෙන්නෙ භයානක ලස්සනක්. ඒ භයානක ලස්සන එන්නෙ භාෂාවෙනුයි. ඒ වගේම කවියට ලේයර් කීපයක් එකතු කරන එකෙනුත් එහෙම එකතුවක් හැදෙනවා. නමුත් ඒක කවියා කියන්න ඕන දෙයක් නෙවෙයි. එතකොට වෙන්නෙ කවි ශරීරෙට හානියක්. කවියේ සාරයට වසක් එකතු කරනවා වගේ එකක්.

කොහොමත් කවියක එකම මොහොතක හැඟීම් කිහිපයක් එකතු වෙලා තියෙනවා කියලා පාඨකයෙක් හරි විචාරකයෙක් හරි කියනවා නම් ඒක කවියාට සතුටක් දැනෙන වෙලාවක්. ඔන්න දැන් ඒ සතුට මට ලැබුණා.

සුමුදු චතුරාණී ජයවර්ධන

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division