සිංහල සිනමාවේ ප්‍රථම නිළිය රුක්මණී දේවී ජාතියෙන් සමුගත්තේ 1978 ඔක්තෝබර් 28 වැනිදාය. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංස්කෘතියේ අසහාය කාන්තා ප්‍රතිරූපය රුක්මණී දේවීය. ඇය සිංහල රිදී තිරයේ ප්‍රථම කාන්තාවයි. නව මානයකින් බලන විට ඇය ගායන මාධුර්යයේ රැජිනයි.
1960 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දේශපාලන ක්ෂේත්රයට අවතීර්ණ වී ලෝකයේ ප්‍රථම අගමැතිනිය බවට පත්වන තුරුම රුක්මණී දේවී මෙරට අසහාය කාන්තා ප්‍රතිරූපය ලෙස අනභිභවනීයව සිටියාය. රුක්මණී දේවී උපන්නේ 1923 ජනවාරි 15 වැනිදා නුවරඑළියේදීය. ජාතික හැඳුනුම්පතට අනුව ඇය ඩේසි රාසම්මා ඩැනියෙල්ඩ්ය. සම්භවයෙන් ඇය සිංහල කාන්තාවක් නොවේ. ආගමෙන් බෞද්ධ කාන්තාවක් ද නොවේ. එහෙත් ඇය මෙරට සිංහල බෞද්ධ ජනතාවගේ නොමඳ ප්රසාදයටත්, ප්රණාමයටත් පාත්‍ර වූවාය.
මහා සිනමා කර්මාන්තයක් හිමි ඉන්දියාවේ මීට සමාන චරිතයක් වන්නේ සුපතළ නිළි නාර්ගීස් දත්ය. ඇය උප්පැන්න සහතිකයේ නමින් ෆාතිමා ඒ. රෂීඩ් ය. එහෙත් ඉන්දියාවේ බහුතර හින්දු භක්තික හින්දූන්ගේ නොමඳ ආදර ගෞරවයට පාත්‍ර වූවා පමණක් නොවේ, මෙහෙබුබ්ගේ “භාරත මාතා” චිත්‍රපටයේ පූජනීය භාරත මාතාව ද වූවාය.
සිංහල සිනමාවේ ‘මහා තාරකාව’
හින්දු කාන්තාවක නොවන ෆාතිමා ඒ. රෂීඩ්, නාර්ගීස් දත් බවට පත්වී භාරතයේ ‘මහා තාරකාව’ බවට ද ‘භාරත මාතාව’ බවට ද පත් වූයේ යම් සේද, සිංහල කාන්තාවක නොවන ඩේසි රාසම්මා ඩැනියෙලඩ්, රුක්මණී දේවී බවට පත්ව, සිංහල සිනමාවේ ‘මහා තාරකාව’ බවට ද සිංහල ගීත ක්ෂේත්රයේ ‘කෝකිල ධේනුව’ බවට පත් වූයේ ද එසේය.
1908 දී මීගමුවේ පෙරියමුල්ලේ දී උපත ලැබූ බර්නාඩ් ඇලෝසියස් වන්නිආරච්චි ජයමාන්න උපතින්ම කතෝලික බැතිමතෙකි.
මරදානේ ටෙක්නිකල් කොලීජියේ උගෙනිමින් සිටි ඔහු නාට්‍ය උන්මාදය නිසාම ඉන් අස්වී මිනර්වා ආධුනික නාට්‍ය සංගමය පිහිටුවා ප්‍රථම වරට ‘භයානක පොරොන්දුව හෙවත් හත්වැනි පැය’ ලියා නිෂ්පාදනය කළත් සාර්ථක වූයේ නැත. දෙවැන්න ‘නඩු තීන්දුව’ ද හරි ගියේ නැත. දිරිය මිනිසකු වූ ජයමාන්න අතහැරියේ නැත. ඔහුගේ තෙවැනි නිෂ්පාදනය වූයේ අවතාරයයි. මිනර්වා නාට්‍ය ශෛලිය අනුව ජවනිකා මාරුවේදී සෑහෙන කාලයක් ගත විය. මේ කාලය තුළ ප්‍රේක්ෂකයෝ වැසූ තිරය දෙස බලා සිටීම නිසා නොසන්සුන් වූහ. ඒ සඳහා ජයමාන්න උපායක් සොයමින් සිටියේය. එවක එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර් සමඟ ‘සිරි බුද්ධගයා විහාරේ’ ගීතය ඇතුළු ග්රැමෆෝන් ගී ගණනාවක් ගයා ජනප්‍රියව සිටි රුක්මණී දේවී බී.ඒ.ඩබ්ලිව් ට හඳුන්වා දුන්නේ ඇය සමඟ ‘රාජද්‍රෝහියා’ රඟපෑ ස්ටැන්ලි මල්ලවාරච්චිය. ‘අවතාරය’ විවේක කාලයේදී ගී ගායනයට රුක්මණී දේවී මිනර්වා නාට්‍ය කණ්ඩායමට බඳවා ගැනීමට ජයමාන්න තීරණය කළේය. එවක අවතාරය නාට්‍යයේ ස්ත්‍රී භූමිකා නිරූපණය කළේ පිරිමින් වන බැවිනි. (එහි ස්ත්‍රී භූමිකාව රඟපෑවේ එඩී. ජයමාන්නය.)
ඒ වන විට රුක්මණී දේවී, නාට්‍ය අටක (8) චරිත නිරූපණය කර තිබිණි. රාමායනය – (වෝල්ටර් අබේසිංහ), මායාවතී – (පී.සී. නාඹුගල / ඒ.එම්. ද සිල්වා) , (3) ජානකී හරණය (ඩික් ඩයස්) , රෝහිණී – (පී.පී. ආටිගල) , රාජ ද්‍රෝහියෝ ( ලුවන් රාජපක්ෂ), කීකරු බිරිඳ ( සී.ඒ. ෆොන්සේකා) , සිරිසඟබෝ සහ රංගල අප්පු වේ . බී.ඒ.ඩබ්ලිව් ජයමාන්න සිය ‘අවතාර ගායිකා’ රුක්මණී දේවීට ප්‍රධාන ස්ත්‍රී භූමිකාව පිරිනැමීමට තීරණය කර, කඩවුණු පොරොන්දුව පිටපත ලියා නිෂ්පාදනය කළේය. බී.ඒ.ඩබ්ලිව්ගේ ‘බඹරය වැල්ලේත් කරකැවෙන්නට පටන් ගත්තේ’ එතැන් සිටය.
‘ටීටර්’ නාට්‍යයේ පුරෝගාමියා වූ සිරිසේන විමලවීර නව නාටකයක් චිත්‍රපටගත කිරීමේ දිගු සිහිනයක් දකිමින් හිටියත්, ඒ ඓතිහාසික සංසිද්ධියේ හිමිකරුවා වූයේ බී.ඒ.ඩබ්ලිව් ය. එවක ජනප්‍රියත්වයේ හිණි පෙත්තට නැඟ සිටි කඩවුණු පොරොන්දුව රට පුරා දර්ශන 800ක් රඟදක්වා ඇත. කොටින්ම මිනර්වා නාට්‍ය නැරඹීමට ප්‍රේක්ෂකයන් රඟහලේ දොර ජනෙල් කඩාගෙන ඇතුළු වූ බව වාර්තා වී ඇත. එවක මිනර්වා නාට්‍ය ශිල්පීහු වෘත්තීය නාට්‍යකරුවන් බවට පත්ව සිටියහ.
‘සංගීත ලෝකයේ ඕෂධී තරුව (රුක්මණී දේවි) සහ පහන් තරුව (එඩී ජයමාන්න) එකවර දර්ශනය වීමක්’ එක් ප්රචාරක පාඨයකි. කඩවුණු පොරොන්දුවේ ජනප්‍රියත්වය දුටු එස්.එම්. නායගම් මහතා එය චිත්‍රපටගත කිරීමට ඉල්ලා සිටියද ලැබෙන ඉහළ ආදායම සලකා බී.ඒ.ඩබ්ලිව්. මුලදී සිය අකැමැත්ත පළකළත්, මිනර්වා ශිල්පීන්ගේ බලවත් ඉල්ලීම මත ඔහු එකඟ විය. මේ ඓතිහාසික එකඟවීම නිසා මිනර්වා නාට්‍ය ශිල්පීන්ට ‘ගෙඩිය පිටින්ම’ චිත්‍රපට නළු නිළියන් වීමට භාග්‍යය උදා වූ සේය.
මිනර්වා නාට්‍ය කණ්ඩායම ‘සල්ලි කඩන කෙක්කක් වූ’ මේ නාට්‍ය සියල්ල එස්.එම්. නායගම්ට සල්ලි ගරන ‘ආකරයක්’ විය. එහෙත් මෙරට ප්රබුද්ධ ප්‍රේක්ෂකාගාරයේ අභාග්‍යය වූයේ, මිනර්වා නාට්‍ය කණ්ඩායමට නාට්‍ය කලාව පිළිබඳව තිබුණේ අල්ප මාත්‍ර දැනුමකි. ඔවුන් නාට්‍ය නිෂ්පාදනය කළේ නූගත් නාගරික මැද පන්තිය පිනවීමේ අරමුණෙනි. ඒවායේ ගැබ් වූයේ නාට්‍යමය ගුණය හෝ නාට්‍යමය ලක්ෂණ නොවේ. බොරු සෝබනය. අභව්‍ය සිද්ධීන්ගෙන් ගහන ඕලාරික කතාය.
1995 දී ලෝක නාට්‍ය දිනය නිමිත්තෙන් ටවර් හෝල් රඟහල පදනම සිංහල නාට්‍ය අනුමණ්ඩලයේ අනුග්‍රහයෙන් මීගමුවේ රුක්මණී දේවී රංග ශිල්ප කේන්ද්‍රයේ පැවැති සම්මන්ත්‍රණයේදී මහාචාර්ය සුනිල් ආරියරත්න මිනර්වා නාට්‍ය – නාට්‍යය හා සිනමාව අතර ඉදිවුණු සේතුව’ යන මැයෙන් කළ දේශනයේදී පැවසුවේ ‘රෝම දේව කතාවල’ මිනර්වා යනු ප්‍රඥාවට අධිපති දෙවඟන වුවද, මිනර්වා නාට්‍ය කණ්ඩායමට නම්, එම ප්‍රාඥා දෙවඟනගේ ‘නෙතග’ බැල්මක්වත් වැටී නොතිබුණු බවයි.
රුක්මණීගේ රූපශ්‍රීය හා නාද මාධුර්යය
ඉන් පෙනෙන්නේ මිනර්වා නාට්‍ය රස නාඳුනන ‘අවරසිකත්වය’ වෙනුවෙන් නිෂ්පාදනය වුණු බවයි. රුක්මණී දේවීට රඟපාන්නට තිබුණේ යථාර්ථවාදී නොවන ඒවා කවර හෝ සමාජ ස්ථරයකට අයත් නොවීය. අක්මුල් නැති අව්‍යක්ත චරිතය. චතුර් අභිනය ගැන අසා නැති භාව ප්රකාශනය නාඳුනන නළු නිළියන් සමඟය, රුක්මණී දේවීට ‘රඟපාන්නට’ සිදු වූයේ. මිනර්වා වේදිකාවේදීවත් ඇය රඟ දක්වන්නට – නිරූපණය කරන්න ‘චරිතයක්’ නොවීය. නරඹන්නන් තෘප්තිමත් වූයේ ඇගේ රූපශ්‍රීයෙන් හා නාද මාධුර්යයෙන් පමණි.
සංවාදවල පවා තිබුණේ කෘත්‍රීම ව්‍යාජ ලක්ෂණයි. ඒවා උසුරවමින් රඟපෑමට පවා නුපුළුවන.
සැම්සන් :- රංජනී නුඹගේ සිතට කරදරයක් ඇති වුණාද? කතා කරන්න, රංජනී කතා කරන්න.
රංජනී :- සැම්සන්. ආලය නමැති රසවත් මුද්‍රික පානය ප්‍රථම වරට පානය කළේ නුඹගේ හෘදය නමැති පාත්‍රයෙන් පමණයි. ඉතින් එම පාත්‍රයට පයින් ගසා මගේ පියාගේ සොහොන් ගේ සිපාචාර කර වූ පොරොන්දුව ඉෂ්ට නොකළොත් ඇත්තෙන්ම මේ අලෝකවත් මේ පෘථිවිය ශෝකය නමැති අන්ධකාරයෙහි ගිලී යයි. පක්ෂීන් නාද නොකරයි. මල් ප්‍රබෝධ නොවේ. චන්ද්‍රයා හා තාරකාවෝ ශෝකය නමැති වලාකුළුවලින් වැසී යයි.
ගායනයට ලැබුණු ගීත තනු දකුණු ඉන්දියානු ගී තනුය. ඒ අනුකාරණාත්ම තනු තුළ වුව, ඇය අනුකරයට ඇදී ගොස් ස්වායත්ත භාවයකින් ගායනා කිරීමට සමත්වීම නිසා ඒවා හැමගේ ආස්වාදයට හේතු විය. ඇගේ කටහඬ කුඩා කළ සිටම දේවස්ථානයේ ගීතිකා ගායනාවෙන් ඔප් නැංවී තිබිණි. ඕගනයට අනුව ස්වර ස්ථාන මත පිහිටා ගායනා කිරීමේ හැකියාව ඇයට තිබිණි. සිංහල ගීත පදමාලා ඉංග්‍රීසි අකුරින් ලියාගෙන නිසි සිංහල උච්චාරණයෙන් ඇය ගායනා කළාය. වයස අවුරුදු 13 දීම කීර්තිමත් සංගීතඥ එච්.ඩබ්. රූපසිංහ මාස්ටර් සමඟ ‘සිරි බුද්ධගයා විහාරේ’ ගීතය ගායනයෙන් ලත් ශික්ෂණය ද ඊට බලපාන්නට ඇත. එම ගීතය තැටිගත කිරීමට පෙර රාත්‍රියේ හටගත් ආතතිය නිසා ඇය උණ රෝගයට ගොදුරු වීම නිසා දෙවියන් වහන්සේට යාඥා කර ඉල්ලා සිටියේ ගීතය හොඳින් ගැයීමට ශක්තිය ලබාදෙන ලෙසයි. කෙසේ වෙතත් පියා විසින් සාදවා දුන් නැකැතින් පිටත්ව ගොස් ඇය ගීතය ගායනා කළාය.
මෙහි අරුමය වන්නේ දෙවියන් වහන්සේගේ ආශීර්වාදය ඉල්ලා සිටියේ බෞද්ධ ගීතයක් ගයන්නට වීමයි. ගීතය හිතුවාටත් වඩා සාර්ථක විය. එනිසාම ශ්‍රී සර ශ්‍රී මුනි ශ්‍රීපාදේ – තේපැන් දින දින – සැප නෑ අහෝ මේ ලෝකයේ – පූර්වේ කළාවූ පාපය ලෙසේ – පුන් සඳ පායා – මේ භවයේ අනිත්‍ය – සාරා සිරිනි රම්‍යා – ශ්‍රී මහ බෝධි මුලේදී ආදී ගීත 10ක් HMV ලේබලය යටතේ තැටිගත කරන්නට ද ඇයට අවස්ථාව ලැබිණි.
බටහිර උපත ලැබුවා නම් රුක්මණී දේවී ලෝ පසිඳු ඔපෙරා ගායිකාවක බවට පත්වන්නේ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඊ.එෆ්.සී. ලුඩොවයික් ඇගේ ගායන කෞශල්‍යය ගැන සඳහන් කළේය. බී.ඒ.ඩබ්ලිව්. ඇගේ ශක්තියෙන් නිසි ප්‍රයෝජන ගැනීමට නොසිතීයැයි මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ 1972 දී “සරසවිය’ පත්‍රය සමඟ කළ සාකච්ඡාවකදී කියා සිටියේය.
සිංහල චිත්‍රපට ගීතයේ විශිෂ්ට සලකුණු
“ගායිකාවක වශයෙන් ඇය නියෝජනය කළේ ආනන්ද සමරකෝන් යුගයට හා අමරදේව යුගයට අතරමැද තිබුණු එක්තරා අතරමැදි සහ පරිහානි යුගයකි. වේදිකා නාට්‍යයට පිවිසුණේ, සිංහල වේදිකා නාට්‍යය කිසිදු කලාත්ම ගුණයකින් හෝ ස්වාධීන විභවතාවකින් හෝ තොර වූ “සම්ප්රදායකට’ යටත්ව තිබුණු අවදියකදීය. චිත්‍රපට නිළියක වශයෙන් ඇය සිටියේ, චිත්‍රපට කර්මාන්තයේ පුරෝගාමීන් ලෙස සැලකිය හැකි නමුදු, චිත්‍රපට කලාව ගැන දැන නොසිටි පුද්ගලයන් පිරිසක් අතරය. රුක්මණී දේවී කලා ලොවට ප්‍රවිෂ්ට වූ ශුෂ්ක නිශ්රික අවදිය පිළිබඳ එම විග්‍රහය කළේ සමාජ විද්‍යාඥ ආචාර්ය ජයදේව උයන්ගොඩ, මර්වින් ද සිල්වා සංස්කරණය කළ ‘කලාව හා සමාජය’ (1978) සඟරාවට ‘රුක්මණී දේවී මිත්‍යාව හා යථාර්ථය’ මැයෙන් කළ විමර්ශනාත්මක ලිපියකිනි.
රුක්මණී දේවීට ගායනය පිළිබඳ උපදෙස් දේවස්ථානයේ ගීතිකා කණ්ඩායමේදී ද එච්.ඩබ්ලිව්. රූපසිංහ සංගීතවේදියා වෙතින් ද ලැබුණත්, නාට්‍ය රංගනය හෝ චිත්‍රපට රංගනය පිළිබඳ උපදේශකයකු නොමැතිවීම ඇගේ අභාග්‍යයක් විය.
1956 දී මගේ ජීවිත විත්ති කෘතියේ රුක්මණී දේවී සඳහන් කරන්නේ “නාට්‍යවල රඟපෑමට තෝරාගනු ලැබුවේ මගේ කටහඬ නිසාය යනුවෙනි.
උපතින් ඩේසි රාසම්මා ඩැනියෙල් “රුක්මණී දේවී” නම ලැබුවේ ද, චින්තාමණී නමැති දකුණු ඉන්දියානු දෙමළ චිත්‍රපටයේ ගීතයක ආභාසයෙනි. එහෙත් සිංහල චිත්‍රපට ගීතයෙහි දෙමළ ඌරුව මැකීමේ ප්රයත්නය දැරුවද, චිත්‍රපට කලාවේ දෙමළ මුහුණුවර මැකීමට ඇය සමත් වූයේ නැත. සිංහල චිත්‍රපට ගීතයේ ඇයට විශිෂ්ට සලකුණු තැබිය හැකි වූයේ වැරදුණු කුරාමානම (බී.ඇස්. පෙරේරා), සැඟවුණු පිළිතුරු (මොහොමඩ් ගවුස්), දෛවයෝගය (සජාද් හුසේන්), දස්කොන් (ෂෙල්ටන් ප්‍රේමරත්න), ළාදළු (අමරදේව) සහ අහසින් පොළොවට (නිමල් මෙන්ඩිස්) සංගීත අධ්‍යක්ෂවරුන්ගේ සහාය ලත් බැවිනි.
ගීතය පිළිබඳ ශාස්ත්රාලයීය දැනුමක් තබා, ස්වර ඥානයවත් ලබා ගැනීමට කිසි දිනෙක නොසිතූ රුක්මණී දේවීට, කලාකාරියක වශයෙන් ඇය පහළ කරනු ලැබූ අවදියේ පැවැති සියලු අසද් ලක්ෂණ අතික්‍රමණය කරමින් නැඟී සිටිය හැකි වූයේ ඇගේ නිසග ගායන කුසලතාවේ මහිමය නිසාය.
ලෙස්ටර් ජේමිස් පීරිස්ගේ ‘අහසින් පොළොවට’ චිත්‍රපටය ඇයට ලැබෙන්නේ ඇගේ ජීවිතයේ පසු භාගයේදීය. දකුණු ඉන්දියානු රංග රීතියට ඇබ්බැහිවූ ඇයට ඉන් මිදෙන්නට ලැබුණු කාලය මඳ විය. ධම්ම ජාගොඩගේ ‘වෙස් මුහුණු’ නාට්‍යයෙත්, ධර්මසිරි වික්‍රමරත්නගේ ‘ඔන්න බබෝ ඇතින්නියා’ නාට්‍යයේත් චරිත නිරූපණය කළද, එවන් ගැඹුරු සමාජ විශ්ලේෂණාත්මක නාට්‍යයක ආත්මික හරය වටහා ගැනීමට ප්‍රඥාවක් ඇය සන්තකව තිබුණේ නැත.
මාධ්‍යයට ‘දේව දූතියක්’
රුක්මණී දේවී මාධ්‍යයට ‘දේව දූතියක්’ වූවාය. ඇගේ සුන්දර ඡායාරූප එදා පත්තර විකුණන වශීකරණයක් විය. අපේ පත්තරවල මෙන්ම, ඇගේ පින්තූරය, ඉන්දියාවේ සුප්‍රකට ‘Film Fare’ සඟරාවේ පිටකවරය සැරසීමට තෝරාගනු ලැබීය. ඉන්දියාවෙන් බැහැර රටක නිළියකගේ රුවින් සැරසුණු එකම Film Fare පිට කවරය එය විය. ‘My likes and dilikes’ නම් ‘ෆිල්ම්ෆෙයාර්’ විශේෂාංගය ආරම්භ කළේ රුක්මණී දේවීගෙනි.
සිනමාවේ අසහාය රැජින ලෙස ඇයට එදා ඕනෑතරම් සල්ලි තිබිණ. ඇයට එදා චරිතයකට රුපියල් පනස්දාහක් වැනි ලොකු මුදලක් ලැබුණා සේම, මීගමුවේ නගරය මැද ඇය මිලට ගත් ‘ජයරුක්’ නිවස ද තිබිණි. තමන්ටම කියා මෝටර් රථයක් ද තිබුණේය. එපමණක් ද නොවේ, 1940 දශකයේ එඩී රුක්මණී දෙපළට ඉන්දියාවේ ‘අඩයාර්’ හි සුවිසල් සුඛෝපභෝගී නිවසක් හිමිව තිබිණි. එදා ඉන්දියාවේ ප්රභූවරයකුටත් නැති තරමේ බංගලාවකි. ඔවුහු ඉන්දියානු රජයේ ද අවධානයට පාත්‍ර වූහ. ඔවුන්ගේ නිවසට ‘ගුර්කා’ ආරක්ෂක භටයන් දෙදෙනකු ආරක්ෂාව සඳහා යොදවා තිබුණු බව 1998 ඔක්තෝබර් 29 වැනිදා ‘සරසවිය’ පත්‍රයට ශේෂා පලිහක්කාර ප්‍රකාශ කර තිබිණි.
එඩීවත් රුක්මණී දේවීවත් එම දේපළ රැක ගැනීමේ වෑයමක යෙදුණේ නැත. ‘අඩයාර්’හී නිවාස යාන වාහන අහිමි වෙද්දී මීගමුවේ ‘ජයරුක්’ නිවස කේ. ගුණරත්නම්ට උගසට සින්න වෙද්දී ඔවුහු කම්පා නොවූහ.
ඇය ශ්‍රී ලාංකේය ජාතියට උරුම කර දුන් ‘ධනය’ වූයේ ඇයට ජන්මයෙන් උරුම වූ ජාතිය ඉක්මවා පොදු දේශීය ජාතිකත්වයත් නිර්මාණය කර සමස්ත ශ්‍රී ලාංකිකයන් එකම මානව ජාතියක් බව ප්රත්යක්ෂ කර දීමය. එහෙත් ඒ මාහැඟි දැක්ම උරුම කර ගැනීමට තරම් අපේ රට එදා මෙන්ම අදත් හරිහැටි සවිඥානික නැති බව පැහැදිලිය. ඇය පවා තම ජීවිත අත්දැකීමෙන් ප්‍රකට කළ මේ ධර්මතාව වටහා ගැනීමට තරම් ප්‍රඥාවන්ත නොවූවාය.
කෙසේ වෙතත් රුක්මණී දේවීගේ ජීවිතයෙන් වර්තමාන කලා ලෝකයට ලද හැක්කේ ‘නිෂේපදනාත්මක ආදර්ශය’කි. ඒ ඇයට කරන අවමානයක් නොවේ. ඇය ගොරතර අත්දැකීම් විඳිමින් විඳවමින් අපට ශේෂ කළ පූර්වාදර්ශයයි.
කලාකරුවකු තමන් වෙනුවෙන් ද – තමන් ජීවත් වන සමාජය වෙනුවෙන් ද සංවේදී විය යුතුය. සමාජයෙන් වෙන් වී හුදෙකලා ජීවිතයක් ගෙවන විට, තමන් ජීවත් වන සමාජයේ සිදුවන සාධනීය හෝ නිෂේධනීය ක්‍රියාදාමයන් දකින්නේ නැත. දැනෙන්නේ නැත. සාධාරණකම් හෝ අසාධාරණකම් දැනෙන්නේ නැත. සමාජ සංසිද්ධීන්ට ‘නිර්වින්දනය’ වී සිටීම නිසා රුක්මණී දේවී නම් ‘අමරඟන’ ජීවත්වූයේ ද මියයෑම සේම ඛේදනීය ලෙස බව රටම දැනගත්තේ 1978 ඔක්තෝබර් 28 වැනිදා ජාඇල තුඩැල්ලේදී සිදුවූ මාරක රිය අනතුරින් මියගිය පසුවය.
තිලකරත්න කුරුවිට බණ්ඩාර