Home » ජාත්‍යන්තර ඡායාරූප ශිල්පීන් පැරද වූ අපේ ඉසුර

ජාත්‍යන්තර ඡායාරූප ශිල්පීන් පැරද වූ අපේ ඉසුර

by Mahesh Lakehouse
November 2, 2024 12:30 am 0 comment
ඉසුර ජාත්‍ය­න්තර සම්මා­න­යට පාත්‍ර වූ අර­ග­ලයේ ඡායා­රූ­පය

සුගියදා චීනයේ ජිනෑන් (Jinan) නුවරදී යළිත් වරක් ලංකාව ජාත්‍යන්තරයට ඔසවා තබන්නට ශ්‍රී ලාංකික තරුණයකු සමත් විය. ඔහු නමින් ඉසුර නිමන්තය. පසුගිය කාලයේ ලංකාවේ පැවැති අරගල අවස්ථාවන්හි සුවිශේෂි සිදුවීම් සිය කැමරා කාචයට නැඟුවා පමණක් නොව අරගලයේ මානුෂික මුහුණුවරද ඔහුගේ ඡායාරූපයන්ට ඇතුළත් විය. පාරිසරික ඡායාරූප මෙන්ම එකකට සීමා නොවී එකිනෙකට පරස්පර වූ විවිධ ඡායාරූප ඔහුගේ කැමරා කාචයේ සනිටුහන් වූයේ නිමන්තගේ හැකියා වඩාත් ඔප් නංවමිනි. පාසල් ගමනේ සිටම ඡායාරූපකරණයට හිත ගියද නිමන්තට ඒ හැකියා වර්ධනය කර ගන්නට කැමරාවක් නොවීය. ඔහුගේ සමීප පාසල් මිතුරෙකු වූ ලයාන් නිමන්ත ඔහු වෙනුවෙන් පෙරට ආවේ ඉසුරගේ අඩු වැඩිය සම්පූර්ණ කරන්නට කැමරාවක් පරිත්‍යාග කරමිනි.

ඉසුර නිමන්ත

ඉසුර නිමන්ත

ලයාන්ගේ මිතුදම හරහා ගොඩ නැගුණු ඉසුරගේ අපේක්ෂාව දිනෙන් දින වැඩිවෙමින් අවසානයේ ඔහු ජාත්‍යන්තර සම්මානලාභියෙකු වන්නේ ඡායාරූපකරණයේ ඉහළම සම්මානයෙන් පිදුම් ලබමිනි. ඉසුරගේ ගමන් මඟට මහත් අත්වැලක් වූයේ NAPSL ආයතනය හෙවත් ජාතික ඡායාරූප ශිල්පින්ගේ සංගමයේ ඡායාරූප ශිල්ප ඇකඩමියයි. ඉසුර ඡායාරූපකරණය පිළිබඳ වැඩිදුර හදාරන්නේද, අන්තර් ජාතික තරගාවලිය සඳහා ඉදිරිපත් වන්නේද මෙම NAPSL ආයතනයයි.

“ අන්තර්ජාතික ඡායාරූප තරග සහ ඡායාරූප සංගම් නියාමන‍ය කරනු ලබන්නේ ලෝකයේ ප්‍රධාන සංවිධානය වූ ජාත්‍යන්තර ඡායාරූප කලා සම්මේලනය (FIAP) මඟින්. එම ආයතනය ප්‍රථම වරට පැවැත් වූ තරගාවලිය මෙයයි. ඡායාරූපශිල්පය උගන්වන ආයතනවල තරුණ සිසුන්ගේ ඡායාරූප මෙම ලෝක කුසලාන තරගයට (1st Universities and Academies Photographic World Cup) ඉදිරිපත් කරනවා. අපේ NAPSL නම් ජාතික ඡායාරූප ශිල්පීන්ගේ සංගමයේ ඇකඩමියෙන් ඉසුර නිමන්ත ඇතුළු කිහිප දෙනෙක්ගේ ඡායාරූප මෙම තරගාවලියට ඉදිරිපත් කරන්නට අපිට හැකි වුණා. ලොව ඡායාරූප ශිල්පය උගන්වන විශ්වවිද්‍යාල සහ ඇකඩමි 88ක සිසුන් මෙම තරගය සඳහා ඉදිරිපත් වී තිබුණා. මේ නිසා තරගාවලිය දැඩි තරගකාරි මුහුණුවරක් ගත්තා. අවසානයේ අපේ ආයතනය විසින් ඉදිරිපත් කළ ඡායාරූප අපේ තරුණ ඡායාරූප ශිල්පී කණ්ඩායමේ ඉසුර නිමන්ත තරුණ සිසුවා ප්‍රථම ස්ථානය ලබා ගත්තා වගේම NAPSL ඇකඩමියත් එම තරගයේ ප්‍රථම කණ්ඩායම් 10 අතරට එනම් 7 වන ස්ථානය ලබා ගත්තා….“ ඒ ඡාතික ඡායාරූප ශිල්පීන්ගේ සංගමයේ විධායක අධ්‍යක්ෂ හා ඇකඩමියේ අධ්‍යයන අංශ ප්‍රධානී විමල් අමරතුංග ය.

ඡාතික ඡායාරූප ශිල්පීන්ගේ සංගමයේ විධායක අධ්‍යක්ෂ හා ඇකඩමියේ අධ්‍යයන අංශ ප්‍රධානී විමල් අමරතුංග විසින් ඉදිරිපත් කළ සිය සිසුන්ගේ ඡායාරූප විනිශ්චයට ලක් වූයේ අන්තර් ජාතික ප්‍රවීණ විනිසුරු මඬුල්ලක් මඟිනි. බොහෝ අගනා ඡායාරූප තරඟයට ඉදිරිපත් වුවද විනිසුරුවරුන්ට ඉසුර නිමන්තගේ ඡායාරූපය විශේෂිත විය. ඒ ඔහු විසින් පසුගිය අරගල සමයේ ගන්නා ලද ප්‍රවෘත්ති ඡායාරූපයක් වීමය.

ඉසුර පදිංචිව ඇත්තේ කන්දඋඩවත්ත, මැලෑගම, වාද්දුවේය. ඔහුගේ පියා හිරාජ් ප්‍රියන්තය. මව

කේමා ඉන්ද්‍රමාලි ජයසිංහය. එකම සහෝදරයා තරුශ ඉඳුවරය.

“ මම පාසල් ගියේ වාද්දුව මධ්‍ය විදුහලට . පාසල් කාලයේ සිටම ඡායාරූපගතකරණයට මගේ ඇල්මක් තිබුණත් මට කැමරාවක් තිබුණේ නැහැ. මගේ දැඩි කැමැත්ත දැනගත් මගේ මිතුරෙකු වූ ලයාන් නිමන්ත මට කැමරාවක් පරිත්‍යාග කරන්නේ මගේ ගමනට ශක්තියක් වෙන්න. පාසලේ ඡායාරූප සංගමයක් නොතිබුණත් පාසලේ විවිධ උත්සව අවස්ථා ඡායාරූපගතකරණය කරන්නට පසුව මට හැකිවුණා. 2018 උසස් පෙළින් පසු පාසලින් ඉවත් වෙලා 2019 මම NAPSL ඇකඩමියට සම්බන්ධ වෙනවා, ඡායාරූපකරණය පිළිබඳ මූලික පාඨමාලාව හදාරන්න. මගේ ඉදිරි ගමනට මේ ආයතනයේ සහතිකය මට ගොඩාක් වැදගත් වෙන බව මම දැනගත්තා.

ඉසුර සමඟ ඔහුගේ ගුරු­ව­රයා වූඇක­ඩ­මියේ අධ්‍ය­යන අංශ ප්‍රධානී විමල් අම­ර­තුංග. ඔහුද සම්මා­න­යට පාත්‍ර විය.

ඉසුර සමඟ ඔහුගේ ගුරු­ව­රයා වූ ඇක­ඩ­මියේ අධ්‍ය­යන අංශ ප්‍රධානී විමල් අම­ර­තුංග. ඔහුද සම්මා­න­යට පාත්‍ර විය.

පාසලින් ඉවත් වූ පසු මගේ කාලය ගත වුණේ විවිධ දේ ෆොටෝ ගැනීමට. මම දකින දකින විවිධ දේ ෆොටෝ ගත්තා. පස්සේ මම විවිධ ස්ථානවල ඇවිදින විට ඇසට ලස්සන දේ ෆොටෝ ගත්තා. ප්‍රවෘත්ති ඡායාරූපකරණයට මගේ අවධානය යොමු වන්නේ අරගලයත් සමඟ. 2022 වසරේ අරගලය ඇති වුණා. ඒ අවස්ථා ඡායාරූපගතකරණයට යන්න මට සිදු වුණා. අරගලයේ විවිධ ඡායාරූප ගන්න විට ඡායාරූප මාධ්‍යවේදය හැදෑරීමේ ආසාව තවත් වැඩි වුණා. අරගලයේ හැම විරෝධතා ව්‍යාපාරයක්ම ආවරණය කරන්න මට හැකි වුණා. මේ අවස්ථාවේ මම දකින් කවුරුත් නොදකින විවිධ මානුෂික අවස්ථාවල ඡායාරූප ගන්න මට ඕන වුණා. ඒ හරහා ජනතාවගේ ප්‍රශ්න මට ලෝකයට පෙන්වන්න ඕනෑ වුණා. මේ නිසා සුමා ප්‍රෙස් නම් ෆොටෝ ඒජන්සියට මම ගත් ඡායාරූප යැව්වා. පසුව නූර් නම් ඒජන්සියටත් මගේ ෆොටෝ යැව්වා. ලංකාවේ තත්ත්වය ලෝකයාට පෙන්වීම අරමුණු වුණා වගේම මගේ ඡායාරූප අන්තර් ජාතික සඟරාවල පළ වෙනවා දකින්නත් මට ඕන වුණා. ඒ අවස්ථාව ඉටු වුණා.

මේ ජාත්‍යන්තර තරගයට ඉදිරිපත් විමත් අහම්බෙන් සිදු වුණේ. මට මේ අවස්ථාව ලබා දුන්නේ NAPSL ඇකඩමියේ ප්‍රධානි විමල් සර්. තරගයක් තියෙනවා ෆොටෝ එවන්න කිව්වා. පසුව මම අරගලයේ ඡායාරූප යැව්වා. ඡායාරූප 7 ක් යැව්වත් එයින් හොඳම ඡයාරූප ඔහු තරගයට යැව්වා….” ඉසුර පවසන්නේය.

ඉසුර ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වන්නේද අරගලයේ විවිධ පැතිකඩ පිළිබඳ ඔහු ලබාගත් ඡායාරූපයකිනි. ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ තම ඡායාරූපය පිළිබඳ ඔහු පවසන්නේ මෙවන් අදහසකි.

“ එදා චැතම් පාරේ ජනාධිපති මන්දිරයට යන පාර අසල අරගල විරෝධතාවක් දියත් වුණා. ඒ ජනාධිපති මන්දිරය අත්පත් කර ගන්න කලින් විපක්ෂයෙන් සිදු කළේ. එදා ඔවුන් විරෝධතාව කරද්දි පොලිසිය බැරියර් දාලා පාර වහනවා. පසුව පොලිසිය පාර ක්ලියර් කර මිනිස් බැරියර් එකකුත් දානවා. එක පුද්ගලයෙක් ඇවිත් ඔවුන් ඉදිරියේ බිම වාඩි වෙනවා. වාඩි වෙලා අත් දෙක ඉහළට ඔසවා ගෙන විරෝධයක් පානවා. මම එය ක්ෂණිකව දැකලා ෆොටෝ එක ගන්නවා. එයයි සම්මානයට පාත්‍ර වුණේ…”

චීනයේ ජිනෑන් (Jinan) නුවරදී පැවැති සම්මාන ප්‍රදානයේදි එහි බොහෝ දෙනා මේ ඡායාරූපය අගය කළා. මිනිසුන්ගේ ප්‍රශ්න ගැන කියන හොඳ ඡායාරූපයක් බව කිව්වා. පළමු ස්ථානය මට ලැබුණා. මට සමරු සටහනක් වගේම කැමරාවක් ත්‍යාගය වශයෙන් ලැබුණා. ඔක්තෝබර් 9 සිට 21 දක්වා මේ උත්සවය පැවැතුණත් චීනයේ තවත් උත්සව ගණනාවකටම අපිට සහභාගි වීමට හැකි වුණා. ජාත්‍යන්තර ඡායාරූපශිල්පීන් වගේම මගේ ඡායාරූපය සම්මානයට තේරූ ඉරාන ඡායාරූප ශිල්පියා මුණ ගැසෙන්නත් අවස්ථාව ලැබුණා. ඒ සියලු සිදුවීම් මගේ ජීවිතයේ සිහිනයක් වගේ…” ඉසුර පවසන්නේය.

ඉසුර පළමු ස්ථානය ලබා ගනි­මින්

ඉසුර පළමු ස්ථානය ලබා ගනි­මින්

පසුගිය දා චීනයේ ජිනෑන් නුවර පවත්වනු ලැබූ එම සම්මාන ප්‍රධාන උත්සවයට ඉසුර නිමන්තට සහ ඔහුගේ ප්‍රධාන ගුරුවරයා වූ විමල් අමරතුංගට ආරාධනා කර තිබූ අතර ඉසුරගේ ගුවන් ටිකට් පත් ඇතුළු සියලු වියදම් එහි සංවිධායකයන් වූ ජිනෑන්හි FIAP කාර්යාලය මඟින් දරනු ලැබීය. ඉසුරට ත්‍යාග වශයෙන් වටිනා කැමරාවක්ද ලැබුණේ මේ ගමන තවත් ඉදිරියට යන්නටය. එසේම NAPSL ඇකඩමියේ ප්‍රධාන විමල් අමරතුංග ඇතුළු ලොව ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් දස දෙනෙකු විශේෂ ඡායාරූප ශිල්පීන් (Outstanding Photographers) ලෙසද සම්මානයට පාත්‍ර විය.

ජාතික ඡායාරූප ශිල්පීන්ගේ සංගමය 1980 දී ආරම්භ කරනු ලැබූ FIAP සාමාජික ආයතනයක් මෙන්ම එම ඇකඩමිය 1992 වසරේ රජයේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ලැබූ දිවයිනේ මුල්ම ඡායාරූප ශිල්ප වෘත්තී‍ය පුහුණු ආයතනයයි. ඉසුර නිමන්ත එහි ඩිප්ලෝමාලාභියෙකුවන අතර 2022 වසරේ හොඳම ශිෂ්‍යයා ලෙසද තේරී පත් විය.

මෙම සංචාරයේදී ඔවුන්ට ලොව විශාලතම ඡායාරූප උලෙළක් වූ Photo Beijin 2024 ද සහභාගි වීම සඳහා සංවිධායකයින් විසින් පහසුකම් සලසා තිබුණි. ඉසුරට එහිදී සේද මාවත තරුණ ඡායාරූප ශිල්පීන්ගේ හමුවකටද සහභාගි වීමටත් ලොව ප්‍රධාන පෙළේ ඡායාරූප ශිල්පීන් දෙදෙනෙකුගේ වැඩමුළුවලටත් සහභාගි වීමට අවස්ථාව ලැබිණි. .

ඉසුර නිමන්තගේ අනාගත බලාපොරොත්තුවත් කැමරාව හරහා ඉදිරියට යන්නටය. විදේශීය පුවත් ඒජන්සියකට බැඳී ඡායාරූප මාධ්‍යකරණයේ නියැළෙන්නට ඔහුට ඇවැසිය.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division