Home » රජරට වාරි ශිෂ්ටාචාරයේ හදවත එල්ලංගා පද්ධතිය

රජරට වාරි ශිෂ්ටාචාරයේ හදවත එල්ලංගා පද්ධතිය

by Mahesh Lakehouse
November 2, 2024 12:30 am 0 comment

කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කරගත් අතීත ලාංකිකයන් ජලය සමඟ ඉතා සමීප සබඳතාවක් පැවැත්වූ අතර, එනිසාම මනා කළමනාකරණයකින් යුතු වාරි මාර්ග පද්ධතියකට ද හිමිකම් කීවේය. මෙහිදී හඳුනාගත හැකි විශිෂ්ටම මානව නිර්මාණය වන්නේ ‘වැව’ ය. වර්ෂා ජලය ගබඩා කරගැනීම සඳහා නිර්මාණය වූ වැව් විශාල ප්‍රමාණයක් වියළි කලාපය පුරා ව්‍යාප්තව ඇත. මහ වැව් මෙන්ම කුඩා වැව් හෙවත් ග්‍රාමීය වැව් ගණනාවකින් සැදුම්ලත් මෙම ජල කළමනාකරණ පද්ධතිය හුදෙකලා වූවක් නොවන අතර, එකිනෙකට සම්බන්ධව පොකුරු වශයෙන් පවතියි.

එල්ලංගාවක් යනු කුමක්ද?

වියළි කලාපයේ කෘෂිකර්මාන්තය පදනම් කරගනිමින් නිර්මාණය වන්නා වූ ග්‍රාමීය වැව් පද්ධතිය හැඳින්වීම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් Cascade යන වචනය භාවිත වේ. මෙම නාමය ප්‍රථම වරට ආචාර්ය සී. ආර්. පානබොක්කේ Small Village TankSystems of Sri Lanka: Their Evolution, Setting, Distribution, and Essential Functions යන කෘතියෙහි භාවිත කර ඇත. මෙම වචනය උතුරු ඇ‍ෙමරිකාවේ රොකී කඳුබෑවුම්වල නිර්මාණය වී ඇති දියදහරාවල් හැඳින්වීම සඳහා යොදා ගන්නා නාමයකි. සිංහල භාෂාවෙන් මෙම ජලාපවහන රටාව හැඳින්වීමට යොදා ගන්නා නාමය එල්ලංගා පද්ධතිය යි. එල්ලංගා යන වචනය නූතන පාරිභාෂිතයට එක් කළේ ආචාර්ය යු. බී. තෙන්නකෝන් ය. ඔහු ප්‍රකාශ කරන පරිදි එල්ලංගාවක් යනු කුඩා නිම්නයක මුදුනේ සිට පහළට ගලා යන දියපහරක් හරහා බඳින ලද වැව් සමූහයක් තිබෙන කුඩා ප්‍රදේශයකි. එල්ලංගාවේ ප්‍රධාන ඇළ හා සම්බන්ධ ඇළවල් මෙන්ම නිම්න හරහා බඳින ලද කුඩා වැව් ද තිබේ. ශාකීය හෙවත් ගහක අත්තක ආකාරයට, වලයාකාර, රේඛීය හා අවානාකර වශයෙන් එල්ලංගා වර්ග 4ක් හඳුනාගත හැකි බව ආචාර්ය යූ. බී. තෙන්නකෝන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

එල්ලංගා යන වචනය ගැමි භාෂාවෙන් “ගාවින්ගාවට යාන්තමින් එල්ලා වැටෙන තැන් (වාන්) සහිත දිය පහර” යන අර්ථය සහිතය. පසු කලෙක මහාචාර්ය චන්දන රෝහණවිතානාච්චි මෙම ජලාපවහන පද්ධතිය සඳහා සුදුසුම නාමය ලෙස ‘තිරස් ජාලගත ග්‍රාමීය වැව් පද්ධතිය’ යන නාමය ඉදිරිපත් කර ඇත.

රජරට වාරි ශිෂ්ටාචාරයේ හදවත

එල්ලංගා පද්ධතියක් යනු ජලය සපයන වැව් පොකුරක් පමණක්ම නොවේ. වියළි කලාපයේ සාම්ප්‍රදායික ගමක සමාජයීය, සංස්කෘතිකමය සහ පාරිසරික අංගයකි. වසරේ කෙටි කාලයකදී රට මෝසම් සුළං අවස්ථා දෙකකදී ලැබෙන වර්ෂාව හේතුවෙන් පොළොව මතින් ගලා ගිය වර්ෂා ජලය රඳවා තබාගෙන වසර පුරා ජලය රැඳී ඵලදායී බිමක් බවට පත් කිරීම සඳහා එල්ලංගා පද්ධති උපකාරී වේ. කුඩා ග්‍රාමීය වැව් 14,000ක් පමණ දැනට ක්‍රියාත්මක තත්ත්වයේ පවතින අතර, මෙයින් සියයට 80ක් පවතින්නේ එල්ලංගා පද්ධති ලෙසය. මෙවැනි එල්ලංගා පද්ධති 1200 ක් පමණ මේ වන විට හඳුනාගෙන ඇත.

එල්ලංගා පද්ධතියේ වැදගත්කම

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමට අනුව ප්‍රධාන වැව් එල්ලංගා පද්ධති කලාප තුනක් හඳුනාගත හැකිය. එනම්, උතුරු උතුරුමැද කලාපය, වයඹ කලාපය සහ රුහුණු කලාපයයි. එල්ලංගා පද්ධතිවලින් සියයට 90ක්ම මෙම කලාප ත්‍රිත්වයට අයත් වනු ඇත. වියළි කලාපයේ හඳුනාගත හැකි මෙම ජලාපවහන පද්ධතිය කිසිසේත්ම හුදෙකලා වූ පද්ධතියක් නොව, මෙය කුළු වැව්, ග්‍රාමීය වැව්, විශාල වැව් සහ ඇළ මාර්ග ආදියෙන් සමන්විතව ඇත. එල්ලංගා වැව් පද්ධතියක ඉහළින්ම පවතින වැවට ජලය ලැබෙන ඇළ මාර්ගය මූලික ජල ප්‍රභවය ලෙස හඳුන්වනු ඇත. එමෙන්ම එක් වැවක් පෝෂණය වන ප්‍රදේශය ක්ෂුදු ජල පෝෂක ප්‍රදේශය ලෙස හැඳින්වේ. එක් වැවක සිට ඇළ මාර්ග ඔස්සේ තවත් වැවකට ජලය සැපයෙන අතර එම ඇළ මාර්ග අතර, වැවෙන් පහළ ජලය ලබාගත හැකි කොටසේ කුඹරු අස්වැද්දීම සිදු වේ. සරලව ගත් කල මේ තුළින් සිදු වන්නේ එක් වැවකින් ඉවත් වන අතිරික්ත ජලය සහ කෘෂිකර්මාන්තය සඳහා භාවිත කරන ලද ජලය නැවත පරිභෝජනය කිරීමකි.

එල්ලංගාවක රැඳෙන ජලය හේතුවෙන් භූගත ජල මට්ටම ඉහළ යන අතර, උල්පත්වල ජලය ද වැඩි කාලයක් පුරා ආරක්ෂා වීම සිදු වේ. ඒ නිසා පසේ ක්ෂුද්‍ර ජීවීන්ට හොඳින් වැඩීමට සුදුසු තත්ත්වයක් ඇති වේ. මේ නිසා පසේ ක්ෂුද්‍ර ජීවීන්ගේ ප්‍රමාණය ඉහළ යයි. මේ ක්ෂුද්‍ර ජීවීන් පසට එක්වන සත්ත්ව හා ශාක කොටස් ජීර්ණය කරමින් පසට පොහොර ලබාදීමක් සිදු කරයි. මේ ක්‍රියාකාරීත්වය නිසා ස්වාභාවික පොහොර නිපදවමින් පස සරුසාර වේ. වැව් ආශ්‍රිත ප්‍රජාවට ආහාර සැපයීම ගෘහ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම, සතුන් හා ශාකවලට උචිත වාසභූමි සැලසීම එල්ලංගා පද්ධතිවලින් සැලසෙන සේවාවන් වේ. එමෙන්ම එල්ලංගා පද්ධති යනු ජල ගැලීම් සහ නියං තත්ත්වයන් දෙකටම ඔරොත්තු දීමට උපකාරී වන සුවිශේෂී පාරිසරික ක්‍රමෝපායකි. එමඟින් භූමිය මතුපිට ජලය ගලා යෑම පාලනය කිරීම, භූගත ජලය ප්‍රතිස්ථාපනය කිරීම මෙන්ම වියළි කලාපීය පරිසරයට අලංකාරයක් එක් කරයි. මෙම ජලාපවහන පද්ධතිය ස්වාභාවික ජල පෙරණයක් ආකාරයෙන් ද ක්‍රියාත්මකවනු ඇත. එමෙන්ම එල්ලංගා වාරි පද්ධතිය මිනිස් සිරුරේ වකුගඩු මෙන් ජල පෙරණයක් ලෙස ක්‍රියාත්මක වන අයුරින් අදාළ පද්ධතිය ඉදිකර ඇති බව නූතන පර්යේෂණවලින් අනාවරණ වී තිබේ.

එල්ලංගා පද්ධතිය නිර්මාණයේදී වියළි කලාපයේදී මහ වැවේ ජලය අවම කාලයේදී එහි ජලය ආරක්ෂා කරගනිමින් ඒ වටා ඇති පරිසරය නිසි පරිදි පවත්වාගෙන යන්නේ කෙසේද යන්න කෙරෙහි ද අවධානය යොමු කර ඇත. මීට සියවස් ගණනාවකට පෙර නිර්මාණය වූ එල්ලංගා වාරි තාක්ෂණය අදටත් රජරට ගොවීන් තම කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගනී. වර්තමානයේදීත් මෙරට වියළි කලාපයේ කෘෂිකාර්මික කටයුතු සිදු වන්නේ වැවෙන් ලබාගන්නා ජලයෙනි.

එල්ලංගා පරිසර පද්ධතියේ පැවැත්මට එල්ල වන බාධා

ලෝක කෘෂිකාර්මික උරුමයක් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ලංකාවේ වියළි කලාපයේ ක්‍රියාත්මක වන ‘එල්ලංගා’ ක්‍රමවේදය ගෝලීය වශයෙන් වැදගත් වන ලෝක කෘෂිකාර්මික උරුමයක් ලෙස නම් කර තිබේ. ගෝලීය වශයෙන් වැදගත් වන නව ලෝක කෘෂිකාර්මික උරුමයන් හඳුනා ගන්නා ජාත්‍යන්තර සංසදය පවත්වනු ලැබූ සම්මාන උලෙළේදී ශ්‍රී ලංකාවේ ‘එල්ලංගා’ ක්‍රමවේදය සම්මානයට පාත්‍ර විය.

අතීතයේදී මෙන්ම වර්තමානයේදී ද සමාජ, දේශපාලන සහ ආර්ථිකමය වශයෙන් විවිධ බලපෑම් එල්ලංගා පද්ධතිය වෙත එල්ල වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ එල්ලංගා පද්ධති පිළිබඳව පර්යේෂණ සිදු කළ, පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් එල්ලංගා පරිසර පද්ධතිය සහ එල්ලංගා පරිසර පද්ධතිය විනාශ වීමට බලපාන හේතු සාධක පිළිබඳව ‘සිළුමිණ’ට මෙසේ පැවසීය.

“වාරි එල්ලංගා පද්ධතිය කියන්නේ පරිසර විද්‍යාත්මකව සහ සංස්කෘතිමය ආකාරයෙන් වැදගත් අංගයක්. එල්ලංගා වාරි පද්ධතිය අතීතයේ සිදු කළ සංවර්ධන ක්‍රියාවලියක්. නමුත් ඒ සංවර්ධන ක්‍රියාවලිය සොබාදහම භාර ගෙන තිබෙනවා. ඒ වගේම වර්තමානයේ සිදු කරන සංවර්ධන ක්‍රියා සොබාදහම භාර ගෙන නැහැ. ඒ වගේම මේ වන විට එල්ලංගා පද්ධතිවල ජලය ගලාගෙන යන ඇළ මාර්ග සංවර්ධන කටයුතු හේතුවෙන් අවහිර වෙලා තිබෙනවා. මේ නිසා පොඩි වර්ෂාවක් පැවතියත් වියළි කලාපයට ගංවතුර අවදානමක් ඇති වෙනවා. ඒ වගේම පොඩි වියළි කාලගුණයක් පැවතියත් එයින් විශාල හානියක් සිදු වෙනවා. අද වන විට මේ එල්ලංගා පරිසර පද්ධතිය නිසියාකාරව සක්‍රිය තත්ත්වයේ පවතින්නේ නෑ. වගකිව යුතු බලධාරින් නිසි අධ්‍යයනයක් සිදු කර අවහිර වෙලා තිබෙන ඇළ මාර්ග එල්ලංගා පරිසර පද්ධතියට හානි නොවන ආකාරයට පිළිසකර කළ යුතුයි. ඒ වගේම ආගන්තුක ආක්‍රමණශීලි මත්ස්‍යයන් සහ ශාක එල්ලංගා පරිසර පද්ධතියට ඇතුළු වෙලා තිබෙනවා. ඒවා මෙම පරිසර පද්ධතියෙන් ඉවත් කරන්නේ කෙසේද කියා සොයා බැලීමක් අදාළ බලධාරින් සිදු කළ යුතුයි. උදාහරණයක් ලෙස එල්ලංගා පරිසර පද්ධතියට විශාල බලපෑමක් එල්ල කරන ජපන් ජබර වැනි ආක්‍රමණශීලි ශාක තිරසර ආකාරයට ඉවත් කරන්නේ කෙසේද කියලා සොයා බැලිය යුතුයි.”

දිමුතු සඳරුවන් ධර්මසිරි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division