අංසබාගය යනු ලෝකයේ සමස්ත මානව සංහතියම බෙලහීන කරන අංක එකේ රෝගයකි. ජීවිතය අහිමි කරන රෝගාබාධ අතරින් අංක තුනට ගැනෙන්නේ අංසබාග රෝගයයි.
උදාහරණයක් ලෙස ලංකාවේ ජනගහනය මිලියන විසි එකක් නම් එයින් මිලියන පහකටත් වඩා වැඩි පිරිසකට තමන්ගේ ජීවිත කාලය ඇතුළත අංසබාග රෝගය හැදෙන්නට පුළුවන.
භයානක රෝගයක්ද?
නිකමට සිතන්න. ඔබට හිටිහැටියේ කතා කරන්න බැරි වුණොත්?…. ඔබට හිටිහැටියේ ඇවිදගන්න බැරි වුනොත්?….අනිත් අය කියන දේ තේරුම් ගන්න බැරි වුණොත්?…… ඔබට කාගෙවත් උදව්වක් නැතුව කන්න බොන්න බැරි වුණොත් අැතිවන තත්ත්වය.
අද වන විට අංසබාගය හැදී ලෝකය පුරා සිටින මිලියන සීයකට වඩා වැඩි ප්‍රමාණයකින් මිලියන අනූවකටම එය වළක්වා ගත හැකිව තිබුණි. සෑම විනාඩියකටම වරක් ලෝකය පුරා කිහිපදෙනෙක්ම අංසබාගය වැලඳීම නිසා මියයති. එසේත් නැතිනම් අංසබාගය නිසා බෙලහීන තත්ත්වයට පත්වෙති.
රෝගය කියන ඇප් එක
ඔබේ අතේ ඇති ජංගම දුරකතනය ගෙන Stroke Riskometer කියන වචනය ටයිප් කළොත් ඔබට මේ ඇප් එක බාගත කරගන්න පුළුවන. මේ ඇප් එක නවසීලන්තයේ සිටින මගේ හිතවත් මහාචාර්යවරයකු වන ආචාර්ය Valery Feigin සහ ඔහුගේ කණ්ඩායම නිර්මාණය කරන ලද්දකි. මේ ඇප් එකට ඔබේ ජීවදත්ත, ඔබේ වයස, පිරිමි, ගැහැනු බව, ඔබේ බර, රුධිර පීඩනය, රුධිරයේ තියෙන ග්ලූකෝස් ප්‍රමාණය වැඩිද එහෙමත් නැත්නම් වෙනත් රෝගාබාධ තත්ත්වයක් තියෙනවද ආදී දත්ත එක්කළ පසු ඉතුරු අවුරුදු පහ ඇතුළත ඔබට අංසබාගය හැදෙන්නට තියෙන අවදානම ගැන ඉතා නිවැරදි අනාවැකි කීමේ හැකියාව මෙම ඇප් එක සතුවෙයි.
සෞඛ්‍යසම්පන්න ආහාර වේලක් ලබා ගැනීම කළ යුතුයි. උදාහරණයක් ලෙස එළවළු සහ පලතුරු සහිත, අධික තෙල් නැති, කුඩා ප්‍රමාණයකින් යුතු ආහාර වේලක් දවසට කිහිප වතාවක් පරිභෝජනය කිරීම සෞඛ්‍ය සම්පන්නයි. බත්පතේ ඇති කාබෝහයිඩ්‍රේට අවම වශයෙන් පවත්වා ගැනීම වැදගත් .
ඊළඟ කාරණය දුම්පානයෙන් සපුරා වැළකී සිටීමයි. තුන්වෙනි කාරණය වන්නේ සුවබර නින්දකි. එය දිනකට පැය හතක් පමණ වූ හොඳ සුවබර නින්දක් ලබා ගැනීම අංසබාග රෝගය ඇතිවීමේ අවදානම අඩු කර ගැනීමට වැදගත් වෙයි. යහපත් මානසික මට්ටමක් පවත්වා ගැනීමත්, යහපත් සමාජ සම්බන්ධතා පවත්වා ගැනීමත්, ශාරීරික සුවතා ව්‍යායාමවල නිරතවීමත් ඉතාමත්ම වැදගත් වෙයි. අධිරුධිර පීඩනය එසේත් නැත්නම් high blood pressure, hypertension යනුවෙන් හඳුන්වන අධික රුධිර පීඩනය මනා ලෙස මෙල්ල කර ගැනීමත්, රුධිරයේ සීනි ප්‍රමාණය මනා ලෙස කළමනාකරණය කර ගැනීමත්, නරක කොලෙස්ටරෝල් මට්ටම මනා ලෙස පාලනය කර ගැනීමත්, ඔබේ සිරුර තරබාරුවීමට ඉඩ නොදී පවත්වා ගැනීමත්, උදරයේ පරිමාව සෞඛ්‍ය සම්පන්න මට්ටමකට පවත්වා ගැනීමත් ඔබට මතක තබා ගත යුතුය.
අපි මේ කාරණා දහයට ජීවායු දහය යැයි කියමු.
අධිරුධිර පීඩනය නිශ්ශබ්ද මාරයෙකි. මන්ද අධික රුධිර පීඩනය ඔබට තියෙනවාද නැද්ද කියා දැනගැනීමට කිසිම රෝග ලක්ෂණයක් නොමැතිවීමයි. ඔබේ රුධිර පීඩනය මාරාන්තික ලෙස ඉහළ ගොස් තිබුණත් ඔබට කිසිදු රෝග ලක්ෂණයක් නොතිබිය හැකියි. ඔබට අධි රුධිරයේ පීඩනය තිබෙනවාද නැද්ද කියා දැන ගැනීමට ඇති එකම ක්‍රමය රුධිර පීඩනය මැන බලන උපකරණයකින් මැන බැලීමයි. ශ්‍රී ලංකාවේ පිටිසරබද ගම්වල පවා ජනගහනයෙන් සියයට පනහකටත් වඩා වැඩි ප්‍රමාණයකට හඳුනා නොගත් අධික රුධිර පීඩනය පවතියි. අපි හැමෝටම කිසියම් රුධිර පීඩනයක් ඇත. නැත්නම් අපිට ජීවත් වෙන්න බැරිය. රුධිර පීඩනය ගැන කතා කරනවිට අංක දෙකක් ගැන කතා කරන්නට වෙයි. එකක් වන්නේ හෘද වස්තුව සංකෝචනය වන විට පීඩනයයි. අනෙක හෘදය ලිහිල් වන විට පීඩනය යි. හෘදය ලිහිල් වන විට ඇතිවන පීඩනය පහළ මට්ටමේ අගයයි. හෘදය සංකෝචනය වන විට ඇතිවන පීඩනය ඉහළ මට්ටමේ අගයයි.
රුධිර පීඩනය ඉහළ යාමට බොහෝ දුරට හේතුවන්නේ ජානමය කාරණාය. එයට ලුණු භාවිත කරන ප්‍රමාණය, තේ කෝපි පානය කරන ප්‍රමාණය, ඇඟේ තරබාරු බව හේතු වෙයි. තමන්ගේ රුධිර පීඩනය මාසයකට කිහිප සැරයක්වත් මැන බැලිය යුතුයි.
අපි ජීවත් වෙන ආකාරය, අපේ ආහාරපාන රටාව, පලතුරු සහ එළවළු පරිභෝජනය කරන ප්‍රමාණය, වාර ගණනක් පෝෂ්‍යදායි ආහාරපාන, ඒ සමඟ රතු මස් අඩුවෙන් භාවිත කිරීම, පිෂ්ටය සහිත ආහාර අඩුවෙන් භාවිත කිරීම කළ යුතුයි.
ග්ලෝබල් බර්න් ඩිසීස් ගෘප් (global burden disease-GBD) කණ්ඩායමේ පර්යේෂණයට අනුව ආශ්වාසය සඳහා පිරිසිදු වාතය අවශ්‍යයි. දුම්පානය කිරීම, කට්ට කුමංජල් දුම් ඇල්ලීම, දර පිසීම නිසා ඇතිවන දුම ඔබට අංසබාගය ඇති කිරීමට මඟ පාදන්නට පුළුවන. ශරීර සුවතා ව්‍යායාමවල දවසට පැය භාගයක් විනාඩි 45 ක් නිරත විය යුතුයි.
ප්‍රතිකාර මොනවාද?
මෙම රෝගය නිටටාවටම සුව කරන්නට පුළුවන් හැකියාවන් බටහිර වෙදකම සතුව පවතියි. නමුත් හැම අංසබාග රෝගියෙක්ම මේ ප්‍රතිකාරවලට සුදුසුකම් දක්වන්නේ නැත. මේ සඳහා සුවිශේෂී වූ මොළයේ ස්කෑන් පරීක්ෂණ මෙන්ම වෙනත් රුධිර පරීක්ෂණද සොයාගෙන තිබෙන අතර මෙම පරීක්‍ෂණවලින් පසුව මොළයට සිදුවන හානිය අවම කර ගැනීමේ හැකියාව රෝහල සතුව පවතියි. අංසබාග රෝගියෙකු රෝහලකට ඇතුළත් වුණොත් රෝගයට හරි හැටි ප්‍රතිකාර කළේ නැත්නම් ඒ රෝගියා ජීවත් වුණත් ඔහුට රෝහලෙන් පිටවන්නට සිදු වන්නේ අවුරුදු අනූවක් වයස පුද්ගලයෙක් හැටියටය. මීට හේතුව ඉතා වේගයෙන් අංසබාග රෝගය නිසා ස්නායු විනාශ වී යාමය.
අංසබාග රෝගය සෑදුණු පසු රෝග ලක්ෂණ ඉක්මනින්ම හඳුනා ගැනීමට විවිධ රටවල් විවිධ ක්‍රමෝපායන් භාවිතා කරයි. බොහෝ රටවල් භාවිතා කරන ෆාස්ට් කියන වචනය මතක තබාගන්නට ලේසියි. මෙහිදී එෆ් අකුරෙන් අදහස් වෙන්නේ ෆේස් ඒ අකුරෙන් ආම් එස් අකුරෙන් ස්පීච් ටී අකුරෙන් ටයිම්ය
එෆ් අකුරෙන් මුහුණ එක පැත්තක් ඇද වීම, අහම් යනු අතක් පණ නැති වීම, ස්පීච් යනු කතා කරගන්න බැරි වෙන එක එක්කෝ අනිත් එක්කෙනා කතා කරන එක තේරුම් ගන්න බැරි වීමයි. එසේම ඉක්මනින් රෝහල්ගත කිරීමයි . රෝගීන් පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂ පුනරුත්ථාපන ඒකක අවශ්‍යයි. මෙම රෝගය සීයයට සීයක්ම නිවාරණය කරගත හැකියි. ඊට පරිස්සම වැදගත්.