අඝාතය ගැන දැනුම්වත් නම් එය වැලඳීමේ හැකියාව අඩුයි. එම නිසා ඒ පිළිබඳ දැනුම්වත්වීම ඉතා වැදගත්.
ආඝාතය කියන්නේ මොළය ආශ්‍රිතව සිදුවන ආබාධ තත්ත්වයක්. සිරුරේ සිදුවන සියලුම කාර්යයන් මොළය විසින් පාලනය කරනවා. ඒ නිසා මොළයේ යම් දුර්වලතාවක් ඇති වුණොත් ඒ කාර්යයන් කළ නොහැකියි. මොළයේ රුධිරය ගමන් කිරීමේ යම් අපහසුතාවක් සිදු වුණොත් ඒ ප්‍රදේශ සහ සෛල මිය යා හැකියි. එම නිසා මොළයේ යම් කිසි කොටසක් ක්‍රියාත්මක නොවන අවස්ථාවක් ඇතිවිය හැකියි.
ආඝාතය කියන්නේ රුධිර සැපයුම් සම්බන්ධයෙන් ඇතිවන ප්‍රශ්නයක් නිසා මොළයේ කොටසක් ක්‍රියාවිරහිත විය හැකිය.
රුධිර සැපයුම අවහිරවීම හෝ රුධිරය වහනයක් වීමක් ලෙස එය දෙයාකාරයකට සිදු විය හැකියි. ආඝාතයට ලක්වන රෝගීන්ගෙන් රුධිර සැපයුම අවහිරවීම් සියයට 80ක් පමණ සහ මොළය තුළට රුධිරය වැගිරීම සියයට 20ක් පමණ සිදු වනවා. රුධිරය වහනයවීමේදී ඇතිවන පීඩනය නිසා වටේ තිබෙන ස්නායු සෛල තෙරපීමෙන් අක්‍රියවීම සිදු වනවා. රුධිරය සැපයුම අවහිරවීමකදී ඒ රුධිරය ලබන ප්‍රදේශ ක්‍රියාවිරහිත වීමෙන් එහි කොටසක් මියයනවා. තවත් කොටසක් මියයෑමේ තර්ජනයට ලක්වනවා.
මෙසේ ක්‍රියාවිරහිත වීමෙන් සිරුරේ එක් පැත්තක් පණ නැතිවිය හැකියි. මොළයේ වම් පැත්ත මඟින් සිරුරේ දකුණු පැත්තත් මොළයේ දකුණු පැත්ත මඟින් සිරුරේ වම් පැත්තත් පාලනය වනවා.
මොළයේ වම් පැත්තේ රුධිර සැපයුම නැවතුණොත් සිරුරේ දකුණු පැත්ත චලනය කිරීමට නොහැකි වෙනවා. මෙය මුහුණ, අත, පය යන තුනටම බලපෑ හැකියි. නැත්නම් මුහුණ, අත පමණක් හෝ මුහුණ පමණක් හෝ අත, පය පමණක් අක්‍රිය විය හැකියි. ආඝාත තත්ත්වයකට ලක්වූ ඇතැම් අයකුට භාෂාව හසුරුවන්න නොහැකි විය හැකියි. ඇතැම් විට ඔහුට තිබෙන එකම රෝග ලක්ෂණ එය විය හැකියි. භාෂාව කතා කිරීමට නොහැකිවීම වගේම භාෂාව අවබෝධ කරගැනීමට නොහැකි විය හැකියි.
මෙයත් ආඝාතයේ රෝග ලක්ෂණ විය හැකියි. ඒ වගේම තවත් අයෙකුට රුධිර කැටියක් සිරවීමෙන් මොළයට රුධිර සැපයුම නැතිවුණොත් එහිදී එක ඇසක පෙනීම නැති විය හැකියි.
එය සිදු වන්නේ දෘෂ්ටික ස්නායුවට රුධිර සැපයුම නැතිවීමෙන්. ඒ වගේම ඇස් දෙකේම එක පැත්තක් නොපෙනී යා හැකියි. ඒ වගේම ඇවිදීමේදී සමතුලිතභාවය නැතිවිය හැකියි.
ඊට අමතරව සිරුරේ එක පැත්තක සංවේදනය සම්පූර්ණයෙන්ම නැතිවී යාම වගේම ආහාර ගිලීමේ අපහසුතා ද ආඝාතයේ රෝග ලක්ෂණ ලෙස සැලකිය හැකියි.
යම් කෙනෙකුට එක්වර හදිසියේම ඉහත කී රෝග ලක්ෂණයක් ඇතිවුවහොත් ඒ ආඝාතය විය හැකියි.
එසේ සිදුවී මොහොතකින් යළි යථා තත්ත්වයට පත් වුණොත් එය සුළු ආඝාත තත්ත්වයක් ලෙස හඳුන්වනවා. වැඩි වේලාවක් පැවතුණොත් එය අනිවාර්යයෙන්ම නොසලකා නොහැරිය යුතු තත්ත්වයක්. ආඝාත රෝගී තත්ත්වයන් නිවෙසේදීම හඳුනා ගැනීම ඉතා වැදගත්. තමා හෝ සමීපතමයකු තුළ හදිසියේ ඉහත කී රෝග ලක්ෂණ ඇති වුවහොත් හැකි ඉක්මනින් රෝහලකට ගොස් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතා වැදගත්.”
සුරේකා නිල්මිණි ඉලංකෝන්