කාල් මාක්ස් (1818 – 1883)යනු Das Kapital නම් තුන් වෙළුමකින් යුත් ග්‍රන්ථයක් රචනා කළ ජර්මානු ජාතික මහා ප්‍රාඥයා සහ ආර්ථිකඥයා ය. ඒ කෘතියේ මුල් වෙළුම ඔහුගේ ජීවිත කාලය තුළ නිකුත් වූ අතර දෙවන සහ තුන්වන වෙළුම් ඔහුගේ අභාවයෙන් පසු ඔහුගේ පර්යෙෂණ සහකාර සන් මිත්‍ර ෆ්‍රෙඩ්රික් එංගල්ස් විසින් සම්පූර්ණ කරන ලදුව පිළිවෙළින් 1885 සහ 1894 යන වසරවල ප්‍රකාශයට පත් කරන ලදී. ඒ කෘතිවල ඔහු විසින් ඉදිරිපත් කරන ලද න්‍යාය මාක්ස්වාදයයි. (Marxism)
මාක්ස්වාදී දර්ශනය කෙටියෙන් හඳුන්වා දීම මේ කෘතියේ මුඛ්‍ය අරමුණයි. ඒ සමඟම පොතේ නමේ අනෙක් කොටස වන ‘ඓතිහාසීය භෞතිකවාදය’ (Historical materialism) යන්න කෙරේ ද අවධානය යොමු කිරීම වැදගත්ය.
මාක්ස් සහ එංගල්ස් එක්ව කමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය නමින් සිංහලට පරිවර්තනය වී ඇති (German: Das Kommunistische Manifest) නම් ලියැවිල්ල 1848 දී එළි දැක්වූහ. එහි ඇරැඹුමේ මේ වැකිය හමුවේ: ‘මෙතෙක් පැවති සියලු සමාජයන්හි ඉතිහාසය පන්ති අරගලවල ඉතිහාසයයි.’
අෆනාසියෙව්ගේ මේ කෘතියේ මාක්ස්ගේ දර්ශනයට එහි පවතින සබඳතාව සිහිපත් කරදෙයි.
‘ඓතිහාසීය භෞතිකවාදය නිර්මාණය කළ මාක්ස් හා එංගල්ස් ඉතිහාසයේ සැබෑ නිර්මාපකයන් වනුයේ වැඩ කරන ජනතාව බව පෙන්වා දුන්හ. මිනිස්සු සිය ශ්‍රමය වැය කරමින් සියලු ද්‍රව්‍යමය වස්තු නිර්මාණය කරති. මිනිස් සංහතියේ පැවැත්මට සහ ප්‍රගතියට නැතිවම බැරි පදනම සකස් වනුයේ කෝටි සංඛ්‍යාත සාමාන්‍ය මිනිසුන් විසින් වැය කරනු ලබන ශ්‍රමයෙනි.’
මේ කෘතියේ මුල් පරිච්ඡේදයෙන් ගත් උධෘතයකි ඒ.
මාක්ස්ගේ පූර්වගාමී දාර්ශනිකයකු වූ අයිරිශ් ජාතික තෝමස් කාලයිල්ට (1795 – 1881) අනුව ලෝක ඉතිහාසය යනු ‘උදාර මිනිසුන්ගේ අපදාන හැර අන්යමක් නොවේ.’ එහෙත් මාක්ස් සදය උපහාසයෙන් ඒ මතය බැහැර කරයි. ඔහු කියන්නේ එසේ විණි නම් ඉතිහාසය ‘කුමාරයන් සහ රාජ්‍යයන් උත්කර්ෂයට නංවන නාටකවල එකතුවක් මිස අන් යමක් නොවනු ඇති බවයි’.
ඉහත අර්ථ දක්වන ලද ඓතිහාසීය භෞතිකවාදය ලෙස සිංහලට පරිවර්තනය කෙරෙන Historischer Materialismus යන ජර්මන් පදය එංගල්ස්ගේ නිර්මාණයක් බව පැවසේ. එංගල්ස් එය විස්තර කරන්නේ “නිෂ්පාදනයේ සහ හුවමාරුවේ මාතවල (modes)වෙනස්කම් තුළ සහ ඉතිහාසයේ ආර පිළිබඳ දැක්ම තුළ, සමාජයේ ආර්ථික සංවර්ධන වෙනස්කම් තුළ දී, එහි ප්‍රතිඵලයක් ලෙස සමාජය විවිධ පන්තිවලට බෙදීම, සහ ඒ පන්ති එකිනෙකට එරෙහිව අරගල කිරීම සඳහා අත්‍යන්ත නිමිත්ත (ultimate cause) ලෙස”ය.
නිව්යෝක් නුවර ෆෝඩ්හැම් විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය මයිකල් බවර්ගේ Marx on Historical Materialism නම් කෘතියෙන් ගත් උධෘතයකි මේ.
‘මාක්ස්ගේ ඓතිහාසීය භෞතිකවාදයේ න්‍යාය මානව ඉතිහාසය සහ සංවර්ධනය පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ සියලු මානව පැවැත්මට භෞතික තත්ත්ව පාදක වන්නේ ය යන මතයේ පිහිටාය. මාක්ස්ට, සියලු මිනිස් ක්‍රියාකාරකම් අතරින් වැදගත්ම දෙය වන්නේ ශ්‍රමය යොදවන නිෂ්පාදන ක්‍රියාකාරකම්ය.
ශ්‍රමය මඟින් නිෂ්පාදනය කෙරෙහි ඔහුගේ නාභිගතවීම අනුව මාක්ස් තර්ක කරන්නේ මිනිසා ලෝකය පරිණාමනය (transform) කරනවා පමණක් නොව (‘නිෂ්පාදන බලවේග’ ඊට යෙදැවීමෙන්) ලෝකය පරිණාමනය කිරීමේදී (අනෙකුන් සමඟ ‘නිෂ්පාදන සබඳතාවලට ඇතුළු වීමෙන්’) තමන්ද පරිණාමනය වීම විය හැක්කක් බවයි.
මාක්ස් පෙන්වා දෙන්නේ ‘මානව නිෂ්පාදන ශ්‍රමය යනු නිෂ්පාදන ක්‍රියාකාරීත්වයේ බලවේග හා සම්බන්ධතා අතර ඇතිවන අන්තර් ක්‍රියාකාරිත්වය වන අතර එය සියලු ඓතිහාසික වෙනස්කම් හා සංවර්ධනය මෙහෙයවන එන්ජිම වේ.’ යන්නයි.
මිනිසාගේ නිෂ්පාදන ක්‍රියාකාරකම් ශ්‍රම විභජනය සහ පන්ති ගැටුම ඇති කරන ආකාරය අවබෝධ කර ගැනීමෙන්, මාක්ස්ට අනුව, විවිධ ඓතිහාසික යුග එකිනෙක සාර්ථක වන්නේ කෙසේද සහ, මානව ඉතිහාසයේ ගමන්මඟ කොමියුනිස්ට් සමාජයක් දෙසට යොමු වන්නේ කෙසේද යන්න තේරුම් ගන්නට හැකි වේ. එය තුළ කම්කරු බෙදීම සහ පන්ති ගැටුම අහෝසි වනු ඇත.’
මාක්ස්වාදී දර්ශනයේ අනෙක් වැදගත් මූලධර්මය නම් විඤ්ඤාණවාදයට එරෙහි වීමයි.
සමාජමය පරිසරය මිනිසා කෙරෙහි බලපාන බව කියා සිටි ප්‍රංශ භෞතිකවාදියෝ එම පරිසරය මිනිස් විචාර ශක්තියේ ප්‍රතිඵලයක් බව සාවද්‍ය ලෙස පිළිගත්හ. “අදහස් විසින් ලෝකය පාලනය කෙරෙයි” යන්න සමාජය පිළිබඳ ඔවුන්ගේ මතවල සංක්ෂේපය විය.
මාක්ස්ට පෙර විසූ වෙනත් භෞතිකවාදීහු ද සමාජය ගැන විඤ්ඤාණවාදී මතයක් දැරූහ සමාජ සංවර්ධනය පිළිබඳ වූ විඤ්ඤාණවාදී මතවල අවිද්‍යාත්මක ස්වභාවය පැහැදිලිය. ඓතිහාසික අවශ්‍යතාව ගැන වූ චින්තනය මඟින් දර්ශන වාදයට අගනා සේවයක් කළ, මිනිස් ඉතිහාසය දයලෙක්තික ලෙස විග්‍රහ කිරීමට තැත් කළ හේගල් අවසානයේදී එළැඹුණේ දේව කැමැත්ත අනුව ලෝකය පාලනය වන්නේය යන සාවද්‍ය නිගමනයටය. “දෙවියෝ ලෝ පාලනය කරති. උන්වහන්සේගේ සැලසුම් සපුරාලීමෙන් ලෝක ඉතිහාසය සකස් වෙයි.”
විඤ්ඤාණවාදී ලෙස සමාජය වටහා ගැනීමට යාමෙන් ප්‍රාග් මාක්ස්වාදීය සමාජ විද්‍යාවේ තවත් දුර්වලතා දක්නා ලැබිණි. අදහස් විසින් ලෝකය පාලනය කෙරේ යන මතය පිළිගත් ප්‍රාග් මාක්ස්වාදී සමාජ විද්‍යාඥයෝ රජුන්, යුද සෙන්පතියන්, විද්‍යාඥයන් ආදී වූ සම්භාවනීය පුද්ගලයන් එම අදහස් ක්‍රියාවට නඟමින් එලෙස කටයුතු කළහ’යි ද එබැවින් ඒ ශ්‍රේෂ්ඨ නායකයින් පමණක් ඉතිහාසය නිර්මාණය කළහ’යි ද යන සාවද්‍ය නිගමනයට එළැඹුණාහ. ඓතිහාසික සංවර්ධනයේදී වැඩ කරන ජනතාව ඉටු කරන තීරණාත්මක කාර්ය කොටස ඔහු නුදුටුවෝය.’
එනයින්, මාක්ස්ට පෙර පැවැති සමාජ විද්‍යාව හෙවත් සමාජය පිළිබඳ හැදෑරීම විද්‍යාත්මක නොවූ බව මේ කෘතියේ විස්තර කෙරෙයි. ඊට හේතුව යට දැක්වූ පරිදි සමාජ විද්‍යාව සම්පූර්ණයන් ම විඥානවාදයට නතු ව තිබීමයි.
මාක්ස්ගේ පූර්වගාමී ආර්ථිකඥයන් සහ දාර්ශනිකයන් විසින් අත්හැර දැමූ තවත් කාරණයක් මාක්ස්ගේ දර්ශනයට ඇතුළත් ය. ඒ කරුණ වනුයේ මිනිස් ශ්‍රමයේ වැදගත්කමයි.
‘නිෂ්පාදනීය බලවේග යනු සමාජය විසින් නිපදවන ලද නිෂ්පාදන මාධ්‍යය ද, ශ්‍රමයෙන් දායක වන මිනිසා ද වේ.
නිෂ්පාදනීය බලවේග, ප්‍රකෘතිය කෙරේ මිනිසා දක්වන සබඳකම් සහ ප්‍රකෘතිය කෙරේ ඔහු පාන බලයේ ප්‍රමාණය ද සම්බන්ධයෙන් තීරණය කරයි. නිෂ්පාදනීය බලවේගවල ප්‍රධාන අංගය වැඩ කරන ජනතාවයි. ජනතාවගේ නිර්මාණාත්මක ශ්‍රමය නිශ්පාදන උපකරණ නිපදවයි. ක්‍රියාත්මක කරයි. එසේ කිරීමෙන් මිනිසා තමාට කළ නොහැකි අසීමිත වැඩ ප්‍රමාණයක් යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් කරන බව සත්‍යයක් නමුත් මිනිසා නොමැතිව ඒවාට ක්‍රියාත්මක වීම නොහැකි බව පිළිගත යුතු වේ. ශ්‍රමය සැමදා සමාජමය ස්වරූපය දැරුවේත් දරන්නේත් මෙනිසා ය. නිෂ්පාදනය සඳහා මිනිස්සු එකිනෙකා සමඟ බැඳෙති. නිෂ්පාදන කර්තව්‍යය සිදු වනුයේ මේ සමාජ බැඳීම් හා සම්බන්ධතා තුළ පමණි.’
‘මාක්ස්වාදී දර්ශනයේ මූලධර්ම – ඓතිහාසීය භෞතිකවාදය’ දැදිගම වී. රුද්‍රිගු මහතාගේ පරිවර්තනයකි.