ඊශ්‍රායල – පලස්තීන ගැටුම යනු එම රාජ්‍යයන් අතර දිගු කලෙක පටන් අඛණ්ඩව පැවත එන ආරවුලකි. එය පැතුරුණු අරාබි- ඊශ්‍රායල අර්බුදයේ කොටසක්ද වේ. ප්‍රධාන වශයෙන්ම මෙම අර්බුදයට හේතු වී ඇත්තේ එකම ප්‍රදේශයක අයිතිය පිළිබඳ දෙරට අතර පවතින මතභේදකාරී තත්ත්වයයි. මේ සඳහා “ද්විපාර්ශ්වීය රාජ්‍යය අතර විසඳීමක්” ඇති කර ගැනීමට නොයෙක් උත්සාහගෙන ඇතත් එය මේ දක්වා නොවිසිඳුණු ගැටලුවක්ව පවතී.
පලස්තීන සටන්කාමී කණ්ඩායමක් වන ‘හමාස්‘ සංවිධානය 2023 වසරේ ඔක්තෝබර් හත්වැනිදා ඊශ්‍රායලය වෙත එල්ල කළ මහාපාරිමාණ ප්‍රහාරයත් සමඟ නැවතත් යුද ගැටුම් ඇවිළී ගියේය. එයින් ඊශ්‍රායල වැසියන් 1,200ක් මිය ගිය අතර 1800ක් පමණ තුවාල ලැබීය. 220කට අදික පිරිසක් හමාස්හි ප්‍රාණ ඇපකරුවන් බවට පත් විය. මේ අය අතර ඊශ්‍රායල සෙබළුන්, කාන්තාවන්, දරුවන් ඇතුළු සිවිල් වැසියන් ද වෙයි. හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ දේපළ රැසක් ද විනාශ වී ගියේය.
මේ බිහිසුණු ප්‍රහාරයත් සමඟ නැවත යුද ගැටුම් ඇවිළී ගිය අතර ඊශ්‍රායලය ඊට ප්‍රතිචාර ලෙස එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ හමාස් නායකයින්, හමාස් සාමාජිකයන්, සිවිල් වැසියන්, දරුවන් හා කාන්තාවන් ඇතුළු විශාල පිරිසක් මිය ගොස් දේපළ රැසක්ද අහිමිව ගියේය. එසේම මෙම ප්‍රහාරවලට එරෙහිව ලෙබනනයේ සිට ක්‍රියාත්මකවන ‘හිස්බුල්ලා‘ සංවිධානයත් යේමනයේ ‘හූති‘ කැරලිකරුවන් හා ඉරානය ද මැදිහත් වීම සමඟ මැද පෙරදිග කලාපයම යුධ බියෙන් ත්‍රස්ත වී තිබේ.
මතුවී තිබෙන තත්ත්වය සමඟ ඊශ්‍රායලයේ සේවය කරන 15,000ට අධික ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳ මෙරට ජනතාව තුළ විශාල අවධානයක් යොමු වී තිබේ. ඊට ප්‍රධාන හේතුව වූයේ 2023 ඔක්තෝබර් හත්වැනිදා ඊශ්‍රායලය වෙත එල්ල කළ ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකියින් දෙදෙනකු මිය යාමත් එක් අයකු තුවාල ලැබීම නිසාය. එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් ගැන මෙරට ජනතාව තුළ මතුව ඇති තැති ගැන්ම නිසාම ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාරගෙන් සිළුමිණ කරුණු විමසා සිටියෙමු.
“ වසර 2023 ඔක්තෝබර් හත්වැනිදා එල්ලවූ හමාස් ප්‍රහාරයත් සමඟ ගාසා තීරය ආසන්නයේ සිටි ජනතාව සමඟ එහි සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් තිදෙනකු රට මැද ආරක්ෂිත කලාපයකට රැගෙන විත් තිබෙනවා. ඔවුන්ගේ ආරක්ෂාව මේ වන විටත් සහතික කර තිබෙනවා. පසුව උතුරු ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් හිස්බුල්ලා සංවිධානය විසින්ද, යේමනයේ සිටින ‘හූති‘ කැරලිකරුවන්ද අවස්ථා ගණනාවකදී ඊශ්‍රායල වෙත ප්‍රහාර එල්ල කිරීමත් එයට ප්‍රතිචාර ලෙස ඊශ්රායෙල හමුදාව විසින් ප්‍රහාර එල්ල කරමින් තවමත් ඇවිළෙමින් තිබෙන මේ බිහිසුණු යුද ගැටුම් මැද වුවත් ශ්‍රී ලාංකිකයකුට ජීවිත හානියක් වූයේ නැහැ.
ඉකුත් මස පළමු වැනිදා නැවත ඉරානයෙන් ඊශ්‍රායලය වෙත මහා පරිමාණ ප්‍රහාරයක් එල්ල වුණා. එයත් ඉතා සාර්ථකව මැඬපැවැත්වීමට ඊශ්‍රායලය සමත් වුණා. එයට ප්‍රතිප්‍රහාර ලෙස අදියර තුනකින් දැවැන්ත ප්‍රහාර කිහිපයක් ඉරානය වෙත එල්ල කිරීමට ඊශ්‍රායලය කටයුතු කළා. එම ප්‍රහාරවලින් සිදු වූ හානි පිළිබඳ ඉරානය පවසා නොමැතිවුවත් ඔවුන්ගේ ගුවන් ආරක්ෂක පද්ධති විශාල ප්‍රමාණයක් මෙම ප්‍රහාරයෙන් විනාශ වූ බව ජාත්‍යන්තර යුධ විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. ඔක්තෝබර් මාසය පුරාම ‘හිස්බුල්ලා‘ සටන්කාමීන් විසින් එල්ල කළ මිසයිල ප්‍රහාර වලටද ඊශ්‍රායල හමුදාව දැවැන්ත ප්‍රතිප්‍රහාර එල්ල කර තිබුණා.
මෑතකදී පෙනී ගිය විශේෂ කාරණාවක් වුණේ; ඊශ්‍රායල තුළ ජීවත්වන සමහර ජන කොටස් ත්‍රස්ත කණ්ඩායම්වලට සහාය දැක්වීමයි. මීට දින කිහිපයකට උඩදී එවැනි ත්‍රස්තවාදියකු පදවාගෙන ආ ට්‍රක් රථයක් විශ්‍රාමකයින් පිරිසක් බස් රථයකට නැඟීමට පැමිණි අවස්ථාවක යටකරගෙන ගියා. ඉන් එක් අයකු මිය ගොස් 35 දෙනකු තුවාල ලැබුවා. ටෙල් අවිව්වල සිට ජෙරුසෙලම දක්වා පැමිණි දුම්රියකට ප්‍රහාරයක් එල්ල වුණා. පිහි ඇනුම් සිදු වාර්තා වුණා. මාර්ගයේ ගමන් කරමින් සිටි ඊශ්‍රායල් වැසියන්ට විවිධ ආයුධවලින් පහරදී තුවාල සිදු කළා. මේවින විට ඒ පුද්ගලයින් හඳුනා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ නිවෙසට ඩ්‍රෝණ ප්‍රහාරයක් එල්ල වීමත් සමඟ ඊශ්‍රායලය තුළ ජීවත් වෙමින් ඔත්තු සැපයූ කිහිප දෙනකුම බුද්ධි අංශ විසින් අල්ලා ගත්තා. ඔවුන් මඟින් සිදු කිරීමට නියමිතව තිබූ බොහෝ සැලසුම් එහිදි අනාවරණය වීමෙන් සිදුවීමට තිබූ ලොකු විනාශයක් ව්‍යර්ථ වී ගියා.
ඊශ්‍රායලයට පැමිණ සේවය කරන ශ්‍රී ලාංකිකයන් 15,400ක් පමණ සිටිනවා. මින් සියයට 70ක් පමණ සාත්තු සේවකයන්. මීට අමතරව කෘෂිකාර්මික ක්ෂේත්රයේ සියයට 15ක් පමණ කටයුතු කරනවා. ඉතිරි සියයට 15ව ඉදිකිරීම් ක්ෂේත්රයේ නියුතු උදවියයි. සාත්තු සේවයේ නියැළෙන පිරිස වැඩිහිටියන්, ආබාධිත සහ විශේෂ අවශ්‍යතා ඇති උදවිය හා දරුවන් බලාගැනීමේ කටයුතුවල නිරත වෙනවා. මේ සීයට 60 ගැන කිසිම ගැටලුවක් නැහැ. ඔවුන් ජීවත්වන ස්ථානවලම ආරක්ෂිත ස්ථාන ඉදිකර තිබෙනවා. මිසයිල එල්ලවන බව දැනගත් විගස අප ඔවුන් දැනුම්වත් කරනවා. සයිරන් නාද වෙනවා. එවිට ඔවුන්ට තිබෙන්නේ ආරක්ෂිත නිවෙස් වෙත ගමන් කිරීම පමණයි.
කෘෂිකර්ම ක්ෂේත්රයේ නියැළෙන උදවිය සයිරන් නාදය ඇසුණු ගමන් ආරක්ෂිත නිවාසවලට යනවා. සයිරනය නාද නොවන අවස්ථාවල ඔවුන් යම් යම් ගැටලුවලට මුහුණ නොදෙනවාම නොවේ. නමුත් අප මැදිහත්වීම සෑම අවස්ථාවකම ඒ පිළිබඳ ඔවුන් දැනුම්වත් කරනවා.
මිසයිල ප්‍රහාර එල්ල වන අවස්ථාවල වාහනයක ගමන් කරමින් සිටියත් එය නවතා ළඟම තියෙන ආරක්ෂිත නිවෙසකට, පාලමක් යටට, බෝක්කුවක් යටට හෝ කොන්ක්‍රීට් ආවරණයක් යටට ගොස් සැඟවෙන ලෙසට දැනුම්වත් කර තිබෙනවා. ඊට හේතුව මිසයිල නිකුත්වන අධික තාපයට වාහන පව ගිනි ගන්න පුළුවන් නිසා. වරක් මා පවා එවැනි අත්දැකීමකට මුහුණ දුන්නා. මේ මිසයිලවලින් ආරක්ෂා වීමට ආරක්ෂිත ස්ථාන ඉදිකර තිබෙනවා.
උතුරු කලාපයේ ලෙබනන බෝඩරයේ ‘හයිෆා‘, ‘ගෝලාන්‘, ‘ගැලීලි‘ සහ ‘නසරෙත්‘ යන ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයන් 3000ක් පමණ කෘෂිකාර්මික කටයුතුවල නියැළෙනවා. ප්‍රහාරයක් එල්ලවන බව දැන ගන්නා සෑම අවස්ථාවකම භාෂා කිහිපයකින්ම ඔවුන්ව දැනුම්වත් කරනවා. ඒ අතරට සිංහල භාෂාවත් ඇතුළත්. පසුගියදාක ඉරානය මිසයිල එල්ල කරන බව අපට සවස 7ට පමණ දැනගන්න ලැබුණා. අප වහා ඔවුන් දැනුම්වත් කළා. 7.30 වෙද්දි මිසයිල 204ක් පමණ එල්ල වුණා. නමුත් ඔවුන් බලාපොරොත්තු වූ තරම් හානියක් සිදු වුණේ නැහැ. ඉදිරියේදී ඇති විය හැකි ප්රහාරයන්ට මුහුණදීමට ද මේ වන විටත් ලේසර් කිරණ මඟින් ගුවනේදී මිසයිල විනාශ කළ හැකි අයන් බීම් පද්ධති ස්ථාපිත කරමින් තිබෙනවා. සෞඛ්‍ය සේවා ගිලන්රථ පැය 24 පුරාම ක්‍රියාත්මකයි. ප්‍රහාරයකින් තුවාලවන ඕනෑම අයකුට ප්‍රතිකාර නොමිලයේම ලබා දෙනවා.
අප සිටින්නේ යුදමය වාතාවරණයක් මධ්‍යයේ බව සියලු දෙනාම අවබෝධ කරගත යුතුයි. එනිසා ඇති විය හැකි අනතුරු පිළිබඳ අවධියෙන් පසුවීම අනිවාර්ය තත්ත්වයක්. මෙරටට පැමිණීමට සිටින ශ්‍රී ලාංකිකයන්ටත් මෙරටින් පිටව යන ශ්‍රී ලාංකිකයන්ටත් ඉතාම ආරක්ෂාකාරීව ඩුබායි හා අබුඩාබි ගුවන් මාර්ග හරහා ගමන් කිරීමේ අවස්ථාව සලසා තිබෙනවා.“
ඊශ්‍රායල රජය විසින් සිය රාජ්‍ය ආරක්ෂා කර ගැනීමට ගෙන ඇති ආරක්ෂිත ක්‍රියාමාර්ග ඉතාම ඉහළ මට්ටමක පවතිනවා. දේශ සීමා ප්‍රදේශ හැරැණු විට මෙහි සියයට අනූවක් ප්‍රදේශ තුළ සාමාන්‍ය පරිදි එදිනෙදා කටයුතු සිදු වෙනවා. ඒ නිසා මෙහි සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳ ඔවුන්ගේ පවුල්වල කිසිවකුත් බිය විය යුතු නැති බව තානාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
රසික කොටුදුරගේ