හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් වූ පසු මූලික අයිතිවාසිකම් නඩු දෙකකට ඔහු වගඋත්තරකරුවකු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා අවසර ලබා දුන්නේය. එසේ සිදුකරනු ලැබුවේ ධුරය අහිමි වීමෙන් පසු ජනාධිපතිවරයකුට හිමිව තිබූ ජනාධිපති මුක්තියද අවසන් වන බැවිනි. එසේම හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ටද ජනාධිපති ධුර අවසන් වීමෙන් පසු අධිකරණ නියෝගවලට යටත් වීමට සිදු වූ අවස්ථා විය. එහි නීතිමය තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සිළුමිණට මෙසේ අදහස් දැක්වීය.
ජනාධිපති මුක්තිය පිළිබඳ මතුවන ගැටලුසහගත අවස්ථාවලදී මේ පිළිබඳ නොයෙන් සමාජ කතිකාවන් සමාජය තුළින් මතුවෙයි. සැබැවින්ම ජනාධිපති මුක්තිය යනු කුමක්ද? 1978 ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට විරුද්ධ සීමිත කාරණා හැර නඩු පැවරිය නොහැකි යන කාරණාව සඳහන් වෙයි. එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයාට විරුද්ධව සිවිල් නඩුවක් හෝ අපරාධ නඩුවක් පැවරිය නොහැකි විය.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සීමිත අවස්ථාවලදී පමණක් ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරිය හැකි විය. ඒ අනුව ජනාධිපතිවරයා ඇමැතිවරයෙක් ලෙස කටයුතු කරන අවස්ථාවලදී ජනාධිපතිගේ ක්‍රියාවන් සහ තීරණ ප්‍රශ්න කරමින් නඩු පැවරිය හැකියි. එහෙත් එය සිදුකළ හැක්කේ ජනාධිපතිවරයා වෙනුවට නීතිපතිවරයා වගඋත්තරකරුවකු කරමිනි. එසේ ම අනෙක් කරුණ නම් ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝග විමසීමකදී ශ්‍රේෂ්ඨාධිකරණය කරන විභාගය මුක්තියට යටත් නොවෙයි. ඉන් අනතුරුව ඡන්ද පෙත්සම් සම්බන්ධයෙන් ගත් විට ජනාධිපතිවරණ පෙත්සමක් හෝ පාර්ලිමේන්තු මැතිවරණ පෙත්සමකදී හෝ ජනමත විචාරණය ප්‍රතිඵල අභියෝග කරන පෙත්සමකදී ජනාධිපතිවරයා වගඋත්තරකරුවකු කළ හැකියි. එ් 1978 ව්‍යවස්ථාවේ පැවැති තත්ත්වය වෙයි.
නීතිපතිවරයා වගඋත්තරකරුවකු
ඉන් පසුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් එය සම්පූර්ණයෙන් අහෝසි නොකෙරුණද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව ජනාධිපතිවරයා ජනාධිපති ධුරයේ දී කරනු ලබන ක්‍රියාවන් මූලික අයිතිවාසිකම් නඩුකරයක ප්‍රශ්න කළ හැකි විය. මූලික අයිතිවාසිකම් නඩුකරයකදී ජනාධිපතිවරයා කරන ක්‍රියාවන් ප්‍රශ්න කළ හැක්කේද නීතිපතිවරයාගේ නමිනි. එහිදී නීතිපතිවරයා වගඋත්තරකරුවෙක් කරන අතර ජනාධිපතිවරයාගේ නමින් වගඋත්තරකරුවකු නොකරයි. නමුත් නීතිපතිවරයා වගඋත්තරකරුවකු කර ජනාධිපතිවරයා ජනාධිපති ලෙස කරන ක්‍රියාවන් ප්‍රශ්න කළ හැකියි. එහිදී ප්‍රශ්න කළ නොහැකි එකම කරුණ නම් යුද්ධය සහ සාමය ප්‍රකාශයට පත් කිරීමයි. අනෙක් සියලු කාර්යයන් ප්‍රශ්න කළ හැකියි.
ස්වාධීන කොමිෂම් සභාවලට අධ්‍යක්ෂවරුන්, සභාපතිවරුන් පත් කිරීම් ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් පත් කිරීම් සියල්ල ප්‍රශ්න කළ හැකියි. ජනාධිපතිවරයෙක් එම ධුරය දරන තෙක් මුක්තිය තිබුණත් විශ්‍රාම යාමෙන් පසුව හිටපු ජනාධිපතිවරයාගේ නමින්ම නඩුකරයක් ගොනු කළ හැකියි.
උදාහරණ ලෙස පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ජනාධිපතිධුරය දරන කාලයේ නීතිපතිවරයා මඟින් වගඋත්තරකරුවකු කර ඇති අතර, ඉන්පසුව ධුර කාලය අවසන් වූ පසුව පෞද්ගලිකව වගඋත්තරකරුවකු ලෙස එකතු කරන ලදි. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේ අදාළ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන අය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවය.
මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රුපියල් මිලියන 100ක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් රුපියල් මිලියන 75ක් බැගින්ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50ක් ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් රුපියල් මිලියන 10ක්ද වන්දි වශයෙන් ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළේය.
එසේම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාලයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය මණ්ඩලයක් විසින් අහෝසි කරන ලදි. 2018 නොවැම්බර් 09 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීන්දු කළේය.
එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කරයි. ඒකමතික තීන්දුව අනුමත කරමින් විනිසුරු සිසිර ද ආබෲ වෙනම නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.
අධිකරණ තීන්දු
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවක් පළමුවරට රැස්වී වසර හතරහමාරක් ගත වන තුරු එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව පැවසූ සිසිර ද ආබෲ විනිසුරුවරයා, වසර හතරහමාරකට පෙර විසුරුවා හැරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් විසින් යෝජනාවක් සම්මත කිරීමෙන් පසුව පමණක් එය සිදුකළ හැකි බව ද සිය තීන්දුවේ සඳහන් කළේය. අගවිනිසුරු නලීන් පෙරේරා සිය තීන්දුවේ සඳහන් කර සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව වසර හතරහමාරක් ගතවීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවය.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමේ මූලික අයිතිය උල්ලංඝනය වී ඇති බවද අගවිනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර තිබේ.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට එරෙහිව තරිඳු ජයවර්ධන ඇතුළු පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමට සහ අරගලය සමයේ ලිප්ටන් වටරවුමේදී පිරිසකට පොලීසිය පහර දීම සම්බන්ධයෙන් සමාජවාදී තරුණ සංගමය ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමකට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා වගඋත්තරකරුවකු කරනු ලැබුවේ ඔහුගේ ජනාධිපති මුක්තිය අවසන් වීමත් සමඟය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නීතිපතිගේ නමින් නඩුවක් පවරණ ලදි. එහිදී මුදල් ඇමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මූලික අයිතිවාසිකම් කඩකරන ලද බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දෙන ලදි.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන නොසලකා හැර සිය බලය අත්තනෝමතික ලෙස ක්‍රියාවේ යොදවමින් අනීතික ආකාරයෙන් කටයුතු කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
ඒ අනුව දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රදානය කළ සමාව බලශුන්‍ය යැයි තීන්දු කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් ඔහුට පනවා තිබෙන දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කරනු ලැබීය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සමාව ප්‍රදානය කරමින් දුමින්ද සිල්වා නිදහස් කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිය වන සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමේ හිටපු කොමසාරිස්වරයෙකු වන නීතිඥ ගසාලි හුසේන් යන අය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව ප්‍රකාශ කළේය.
රෝයල් පාර්ක් නඩුවේ විත්ති පාර්ශ්වයට සමාව දීම සහ දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයාට ලබා දුන් ජනාධිපති සමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළේය. ආර්ථිකය සම්බන්ධයෙන් 2022 පවරන ලද නඩුවේදීද ගෝඨාභය රාජපක්ෂ මූලික අයිතිවාසිකම් කඩකළ බවට උසාවියේ ප්‍රකාශයක් ලබා දෙන ලදි.
සිවිල් නඩු
ජනාධිපතිවරයා ලෙස නොවන ක්‍රියාවන් එනම්, ඊට පරිබාහිර කාරණා දේ පිළිබඳව මුක්තියක් නොවෙයි. එසේම ජනාධිපතිවරයා ධුරය දරන කාලයේදී ඔහුට විරුද්ධව සිවිල් නඩු පැවරිය නොහැකියි. උදාහරණයක් ලෙස ජනාධිපතිවරයාට ගෙවල් කුලී නඩුවක් හෝ පැවරිය නොහැකියි. අපරාධ නඩුවක් හෝ පැවරිය නොහැකියි. ජනාධිපති ලෙස බලය ක්‍රියාත්මක කරන විට මූලික අයිතිවාසිකම් නඩුවකින් ප්‍රශ්න කළ හැකියි. නමුත් සිවිල් නඩුවක් හෝ අපරාධ නඩුවක් ජනාධිපති ධුරය දරන කාලයේදී ගොනු කළ නොහැකියි.
ජනාධිපතිවරයාට සිවිල් හෝ අපරාධ නඩුවක් පැවැරීමට නොහැකි වීම සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතී. එය අප දකින්නේ නීතියේ ආධිපත්‍යයට වැරදි ලෙස බලපාන්නක් ලෙසයි.
උදාහරණයක් ලෙස ජනාධිපතිවරයා අතින් යම් අපරාධයක් ඔහුගේ නිවසේදී සිදුවුවහොත් මුලින් ඔහු ධුරයෙන් ඉවත් කර දෝෂාභියෝගයක් සිදු කළ යුතුයි. එපමණ බලතල තිබීම ප්‍රශ්නසහගත යැයි කිව හැකියි. ශ්‍රි ලංකාවේ ජනාධිපතිවරයා නාමික ජනාධිපතිවරයකු නොවන අතර, ඔහු විධායක බලතල ඇති ජනාධිපතිවරයෙකි. ඒ අනුව ඔහුට සිවිල් හෝ අපරාධ නඩුවක් පැවැරිය නොහැකියි යන කරුණ නීතියේ ආධිපත්‍යයත් සමඟ ගැටෙයි. එය සාධාරණීකරණ කිරීමට ඇති තර්කය වන්නේ ජනාධිපතිවරයකුට විරුද්ධව සිවිල් හෝ අපරාධ නඩු පැවැරීම නිරන්තරයෙන් ම සිදු වුවහොත් එනම් ජනාධිපතිවරයාට වරින්වර සිවිල් නඩු පැවරීමට හැකි වුවහොත් එම ක්‍රමවේදය නිසා තමන්ගේ කාර්යය කිරීමට නොහැකි වීමයි.
ජනාධිපති මුක්තිය නීතියේ ආධිපත්‍යයත් සමඟ ගැළපෙතැයි යන කරුණ සාධාරණීකරණය කිරීමට ඇති තර්කය නම් ජනාධිපතිවරයෙක්ට තම ධුරයේ කටයුතු කිරීමට යම් නිදහසක් තිබිය යුතුයි යන්නයි. අනවශ්‍ය නඩු පැවරීම්වලින් ඔහු ආරක්ෂා කළ යුතුය යන්නයි. එහෙත් එය පෞද්ගලිකව දකින්නේ එය නීතියේ ආධිපත්‍යයට පටහැණි බවයි. ජනාධිපතිවරයාට විරුද්ධව සිවිල් අපරාධ නඩු අවශ්‍ය වෙලාවට පැවරීමට හැකියාවක් තිබිය යුතුයි.
අනුර බණ්ඩාරනායක එක් අවස්ථාවකදී ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා ඔහුට අපහාස කළ බවට නඩු පවරන ලද අතර, එය නිෂ්ප්‍රභා කරනු ලැබුවේද ජනාධිපති මුක්තිය යන කරුණ පදනම්වය. මේ තත්ත්වය මත ජනාධිපතිවරයා එවැනි වරදක් සිදු කළද ඔහුට සිවිල් හෝ අපරාධ නඩුවක් පැවැරීමට හැකියාව නැති වීම නීතියේ ආධිපත්‍යයට තරම් සුදුසු නැත. එසේම 19 වැනි සංශෝධනයෙන් පසුව එය සිදුකළ හැකි වන්නේ ජනාධිපති මුක්තිය පවතින්නේ ධුරය දරන කාලයේ පමණක් වන බවට එහි දී සංශෝධනය වූ නිසායි. එයට හොඳම උදාහරණය ලෙස වෝටස් ඒජ් නඩුව පැහැදිලි කළ හැකියි. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති ධුරයෙන් ඉවත් වූ පසු ඒ සම්බන්ධයෙන් ඇයට විරුද්ධව නඩු පැවරිණි. ජනාධිපතිවරයා ධුරය දරන තාක් මුක්තිය පැවතීම සම්බන්ධයෙන් එයද ආසන්නතම උදාහරණයකි. එසේම රෝයල් පාක් නඩුව ද එයට උදාහරණයකි.
19වැනි සංශෝධනයෙන් සිදුවූයේ ජනාධිපති ධුරය දරන කාලයේ කරන කාර්යයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගනු ලබන තීන්දු ඇතැම් විට ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රශ්න කිරීමට හැකියාවක් ලැබීමයි. එය යම් යහපත් ප්‍රවණතාවයකි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වූ පසු 20වැනි සංශෝධනයේ දී ජනාධිපති මුක්තිය සම්බන්ධයෙන් 19වැනි ව්‍යවස්ථාවෙන් ගනු ලැබූ සංශෝධන ඉවත් කර නැවත 1978 තත්ත්වයට යෑමට සුදානම් විය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය පාර්ලිමේන්තුවේ තුනෙක් දෙකක් පමණක් ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් තීන්දු කරන ලදි.
එසේම ජනාධිපති මුක්තිය ලෝකයේ දියුණු රටවල ද වන අතර අමෙරිකාවේ ජනාධිපති බලතල සම්බන්ධයෙන් පුළුල් මුක්තියක් ඇති බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. ජනාධිපති ලෙස කරන ක්‍රියාවන් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නඩු පැවරිය නොහැකි බව සඳහන් වෙයි. ජනාධිපති හැටියට කරන ක්‍රියාවන් සම්බන්ධයෙන් මුක්තියක් පවතී.
සුභද්‍රා දේශප්‍රිය