ඩොනල්ඩ් ලූ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳව අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයාය. ආසියානු රටවල භූ දේශපාලනය පිළිබඳව පෘථුල කියවීමක් සහිත ඔහු පශ්චාත් අරගල සමයේ ශ්‍රී ලංකාව පිළිබඳව අවදියෙන් සිටි රාජ්යතාන්ත්රිකයෙකි. දරුණු ආර්ථික අර්බුදයක් හමුවේ බංකොලොත් බව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සිදුවූ අරගල සහ ප්රචණ්ඩ ක්‍රියා හමුවේ නීතියේ ආධිපත්‍ය බිඳ වැටී අරාජික වූ ශ්‍රී ලංකාව යළි ස්ථාවර රටක් බවට පත්ව ඇති බවත්, අර්බුද කළමනාකරණය ගැන ලංකාවෙන් ඉගෙන ගන්නා ලෙසත් ලෝකයටම කීවේ ඔහුය. ඇත්තෙන්ම එදා ලංකාවේ සිදු වූයේ නිහඬ විප්ලවයකි. එහි ප්‍රධාන දායකයෝ විදසේගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ මිස අන් කවුරුවත් නොවේ.
ශ්‍රී ලංකවේ විනිමය ප්‍රවාහය සාරවත් කළ ප්‍රධාන ධාරාව විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ විය. ”ලංකාවට සල්ලි යවන්න එපා යැයි” විදෙස්ගත ශ්‍රමිකයන්ට කළ බලපෑම් හමුවේ 2022 මැයි මාසයේ විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන දෙසීය දක්වා පහත බැස තිබුණි. අප පටන් ගත්තේ එතැනිණි.
එදා මුලින්ම කළ යුතුව තිබුනේ ඒ වන විටත් උණ්ඩියල් සහ හවාලා වැනි අනීතික ක්‍රම ඔස්සේ ශ්‍රී ලංකාවට මුදල් එවමින් සිටි විදෙස්ගත ශ්‍රමිකයන් නැවත සම්මත බැංකු ක්‍රමයට යොමු කිරීමය. ඒ සඳහා ක්‍රම ගණනාවක් අනුගමනය කිරීමට එදා විෂය භාර අමාත්‍යවරයා ලෙස ලියුම්කරුට සිදුවිය. මුලින්ම කළ යුතුව තිබුණේ විදෙස්ගත ශ්‍රමික ප්‍රජාව වෙත මව්බිමේ ප්රශ්නය සන්නිවේදනය කිරීමය. ඒ සඳහා සංවේදී ලෙස නිර්මාණය කළ ප්රචාරක දැන්වීම් යොදාගන්නට සිදුවිය. ”ඩොලර් මිලියන පන්සියයකට පංගුකාරයෙක් වන්න” යනුවෙන් නිර්මාණය කළ ආයාචනාත්මක ඉල්ලීම් ඒ සඳහා භාවිත කළ අතර, එය සැබැවින්ම සාර්ථක උත්සාහයක් විය. අද දක්වාම විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියන පන්සියයේ සීමාවේ පැවතීම ඊට උදාහරණයකි.
ඒ වන විටත් ප්‍රමාණවත් ඇගයීමකට ලක් කර නොතිබූ විදෙස්ගත ශ්‍රමික ප්‍රජාවට සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන්ගේ ගෞරවය සහ අභිමානය ඉහළ නංවන ආකාරයේ වැඩපිළිවෙළක් හඳුන්වා දීම ඊළඟ අංගය විය. ශ්‍රමිකයෙක් ලෙස විදෙස්ගත වීමේදීත් නැවත පැමිණීමේදීත් ඔවුනගේ අභිමානය ඉහළ නංවනු පිණිස ගුවන් තොටුපළේ ”හෝප් ගේට්” නමින් වෙනම ද්වාරයක් විවෘත කිරීම ඒ යටතේ සිදුවිය. රට රැකියා නිම කර පැමිණෙන ශ්‍රමිකයෝ මුලින්ම කරන්නේ නිවසක් ඉදි කිරීමය . අනතුරුව දූ දරුවන්ගේ උවමනා එපාකම් නිමකළ පසු ඔවුනට සිය විශ්‍රාම ජීවිතය ගෙවන්නට කියා මුදලක් ඉතිරි වෙන්නේ නැත. එබැවින් විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් ඉතිහාසයේ මුල්වරට දායකත්ව විශ්‍රාම වැටුපක් ආරම්භ කිරීමට අපට හැකි විය.
ශ්‍රමිකයෙක් ලෙස විදෙස්ගත වන බොහෝ දෙනෙකුගේ මූලික අරමුණ නිවසක් ඉදි කර ගැනීමය. එහෙත් දෙතුන් වසරක වෙර වීරියෙන් උපයාගත් මුදලෙන් නිවසක් ඉදිකිරීම පහසු නොවීය. නීත්‍යානුකූලව රටට මුදල් එවූ ශ්‍රමිකයන් හට නිවාස ණය ක්‍රමයක් හඳුන්වා දී එම ගැටලුව විසඳීමට හැකිවිය. ඔවුනගේ දෙවෙනි සිහිනය වූයේ මෝටර් රථයක් මිලට ගැනීමය. ඒ සිහිනය සැබෑ කරගැනීම සඳහා බැංකු ක්‍රමය ඔස්සේ මුදල් එවූ ශ්‍රමිකයන්ට විදුලි වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍රයක් ලබාදුන් අතර ඊට අද දක්වාම ඉහළ ප්‍රතිචාර හිමි වෙමින් පවතී.
විදෙස්ගත ශ්‍රමිකයන් පෙරළා මව්බිමට පැමිණීමේදී රැගෙන එන්නේ මුදල් පමණක් බව බොහෝ දෙනා තුළ තිබූ වැරදි අවබෝධයකි. එහෙත් ඔවුන් රටට එන්නේ විදේශයන්හී දී ලද මනා පුහුණුවක්, තාක්ෂණ සහ වෙළෙඳපොළ කරුණු ගැන අවබෝධයක් සහිතවය. එබැවින් පෙරළා මව්බිමට එන ශ්‍රමිකයා බැංකු පොලියෙන් ජීවත් වන්නෙක් යන තැනින් මුදවා ව්‍යවසායකයෙක් කිරීම සඳහා බහු කාර්ය ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන විස්ස දක්වා වන ණය මුදලක් 4% ක සහනදායී පොලියකට ලබාදීමට කටයුතු කළෙමු.
විදෙස් රැකියා ක්ෂේත්රයේ සිදුකළ යුතුව තිබූ ඊළඟ පරිවර්තනය වූයේ නුපුහුණු ශ්‍රමිකයන් විදෙස්ගත වීම නතර කර පුහුණු ශ්‍රමිකයන් ලෙස ඔවුන් විදෙස්ගත කිරීමය. ඒ කටයුත්ත අරඹමින් නුපුහුණු ගෘහ සේවිකවන් වෙනුවට පුහුණු ගෘහ පාලිකාවන් විදෙස්ගත කිරීම ආරම්භ කරන ලදි. ඉහළ වැටුප් තල සහිත ක්ෂේත්රයන් සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කිරීම ඉකුත් වසර දෙක තුළ ආරම්භ කිරීමට අපට හැකි විය. ඒ අනුව එතෙක් විවර නොවී තිබූ ඊශ්‍රායල් දොරටුව විවර කර ගැනීමට හැකි විය.
2022 වන විට ශ්‍රී ලාංකිකයන් කොරියානු රැකියා සඳහා යැවීම මුළුමනින්ම ඇනහිට තිබුණි. කොරියානු රජය සමඟ සාකච්ඡා කර එම රැකියා අවස්ථා නැවත ලබාගැනීමට අප සමත් විය. එහෙත් ඊ 9 කාණ්ඩයේ සාම්ප්‍රදායික කොරියානු රැකියා විභාගයකට මුහුණ දී, ඉතා සංකීර්ණ ක්‍රමවේදයක් තුළින් ලබාගත යුතු විය. නමුත් කොරියානු රජය ක්‍රියාත්මක කරනා ඊ 8 කාණ්ඩයේ තවත් විශාල රැකියා ප්‍රමාණයක් විය. එහෙත් එම අවස්ථා ලාංකිකයන්ට හිමිව තිබුණේ නැත. විෂයභාර අමාත්‍යවරයා ලෙස කොරියානු රජය සහ එහි නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඊ 8 කාණ්ඩයේ සෘතුමය රැකියා අවස්ථා ශ්‍රී ලාංකික තරුණයන් හට ලබාගැනීමට හැකි විය. කොරියානු රැකියා සම්බන්ධව අප ලැබූ අනෙක් ජය ඉහළ වැටුප් සහිත නෞකා ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා අවස්ථා ලාංකිකයන්ට විවර කර ගැනීමය
එදා ඒ ආකාරයෙන් ගොඩනැඟූ විදෙස් රැකියා ක්ෂේත්රය ඉකුත් වසර දෙකහමාර තුළ ජාතික ආර්ථිකයට ඩොලර් මිලියන 13,500 ක් එක්කර ඇත. රටේ දහස් ගණනක් දෙනාගේ ජීවිත සතුටින් පුරවන්නටත් සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත උසස් තත්වයකට ගෙන ඒමටත් එමගින් හැකිව ඇත.