සහල් මිල ඉහළ ගියේය. එයට පාලන මිලක් ද වැටුණි. එහෙත් පාලන මිලට ගන්නටද සහල් නැත. පාලන මිලට වැඩියෙන් අලෙවි කරන වෙළෙඳසල් වැටලීම ඇරඹූ විට වෙළෙඳපොළේ සහල් නැත. මේ අපේ රටේ සහල් මිල ඉහළ යාම ‘පාලන මිල‘ හා සබැඳුණු සාමාන්‍ය ක්‍රමවේදයයි. එය සහල් පමණක් නොව බිත්තර ඇතුළු අත්‍යවශ්‍ය අනෙක් භාණ්ඩවලට පවා ඇතිවන්නා වූ ක්‍රමවේදයයි.
සහල් මිල ඉහළ යන්නේ කෙසේද? පාලන මිලට ඇත්තටම සහල් ලබා දිය නොහැකි ද? ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා කෘෂිකර්ම, වෙළෙඳ අමාත්‍යාංශයේ හා වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදි.
සහල් මිල සහ ඒ සම්බන්ධයෙන් පවතින වර්තමාන තත්ත්වයන් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඒ සම්බන්ධව ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. නයිමුදීන්, වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ. එම්. යූ. පින්නලන්ද, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
ගැටලුව ඇත්තේ කොතැනද?
සහල් ව්‍යාපාරිකයන් හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ ද ජනාධිපති ලේකම් කාර්යාලයේදී වර්තමානයෙහි පවතින පාරිභෝගික භාණ්ඩ මිල සම්බන්ධව සාකච්ඡා පවත්වන ලදි. එහිදී සහල් මිල පාලනයකට යටත්ව පවත්වා ගැනීමේ අවශ්‍යතාව සාකච්ඡාවට ලක් කෙරිණි.
ගොවි ජනතාවගෙන් සාධාරණ මිලට වී ලබා ගැනීමටත්, පාරිභෝගික ජනතාවට සාධාරණ මිලට සහල් ලබා දීමටත් විධිමත් යන්ත්‍රණයක් අවශ්‍ය බව ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවන්හිදී ද පෙන්වා දුන්නේය.
ඇත්තෙන්ම රාජ්‍ය මට්ටමින් මෙවන් සාකච්ඡා පවත්වා සහල් සම්බන්ධව අවධානය යොමු කළ යුතුව ඇත්තේ ඇයි?
සහල් මිල කෘත්‍රිම ලෙස ඉහළ දැමීම එක් කරුණකි. එසේ සහල් මිල ඉහළ දැමීමට හැකිව ඇත්තේ කෙසේද? සහල් ආනයනයෙන් පවා මේ තත්ත්වයට විසඳුමක් සොයා ගත නොහැකිව ඇත්තේ ඇයි?
ගොවියන් මෙන්ම මහජනතාව ද සහල් මිලෙන් පීඩා විඳිති. සාමාන්‍ය වෙළෙන්දන් ද මෙහිදී අතරමං ව ඇත.
එසේ නම් මේ හරහා අතිවිශාල ලාභයක් ලබන්නේ කවුරුන් ද? එය ඇත්තෙන්ම ප්‍රසිද්ධ රහසකි. මෙරට සහල් මිල පාලනය කරන්නේ මෙරට මහා පරිමාණයේ වී මෝල් හිමියන්ය. ඇත්තෙන්ම ඔවුන් දශක ගණනාවකට පෙර වී මෝල් හිමියන් ලෙස සැලකුව ද දැන් ඔවුන් වී මෝල් හිමියන් ලෙස හඳුන්වනවාට වඩා සුපිරි බලවතුන් ලෙස හැඳින්වීම නිවැරැදිය. සහල් මිලට පාලන මිලක් දැමූවත්, වී සඳහා අවම මිලදී ගැනීම් මිලක් දැමූවත් මේ මහා පරිමාණ වී මෝල් හිමියන් මේ සියලු දේ පාලනය කරන්නන් බවට පත්ව ඇත.
මේ තත්ත්වය නිසාම ජනාධිපති කාර්යාලයේදී මෙරට මහා පරිමාණ වී මෝල් හිමියන් ලෙස සැලකෙන ඩඩ්ලි සිරිසේන, නිපුන ගම්ලත්, මිත්‍රපාල ලංකේෂ්වර, ජයසිරි ගුණතිලක, මේනක ගම්ලත් යන මහත්වරුන් ඇතුළු ව්‍යාපාරිකයන් සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් රැස්වී සාකච්ඡා කළහ.
සහල් මෝල් හිමියන්ගේ සංගම් නියෝජනය කරමින් එම සහල් මෝල් හිමියෝ සාකච්ඡාවට සහභාගි වූහ.
එහිදී පාලන මිලට අනිවාර්යයෙන්ම සහල් සැපයිය යුතු බව දන්වා තිබුණි. පසුගිය සතිය ආරම්භයේදී ද නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 220ක පාලන මිලක් නියම කර තිබුණ ද නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 230ක් දක්වා වැඩිවී ඇතැයි වෙළෙන්දෝ පවසති.
සහල් බවට පත් කිරීමට අවශ්‍ය වන නාඩු වී කිලෝවක් රුපියල් 132ත් 135ත් අතර මිලකට ද, සම්බා වී කිලෝවක් රුපියල් 139ක් වන බව ද මෙහිදී දැනගන්නට ඇත. එම නිසා වී සහල් ලෙස වෙළෙඳපොළට පැමිණීමේදී පාලන මිලට සැපයිය නොහැකි බව කුඩා හා මධ්‍ය පරිමාණ සහල් වෙළෙන්දන් හා වී මෝල් හිමියෝ පවසති.
පසුගිය කාලයේදී කීරි සම්බා සහල් කිලෝවක මිල රුපියල් 400 ක් ද ඉක්මවා ඉහළ යාම හේතුවෙන් ඉකුත් යල කන්නයේදී ගොවීන් වැඩි වශයෙන් කීරි සම්බා වී වගා කළ බවත්, නාඩු වී අඩුවෙන් වගා කිරීම නිසා රට තුළ නාඩු සහල් හිඟයක් පවතින බවත් සහල් තොග ව්‍යාපාරිකයෝ සඳහන් කරති.
මේ වනවිට සම්බා සහල් කිලෝවක් රුපියල් 234ක තොග මිලකට ද, කීරි සම්බා සහල් කිලෝවක් ඊට මඳක් වැඩි මිලකට ද අලෙවි කෙරේ.
හාල් හැංගීම
මෙවර මහ කන්නයේ (2024/25) වී අස්වනු ලැබෙන්නේ ලබන ජනවාරි මාසයේදී බැවින්, සහල් මිල අඩු වන්නේ එම වී අස්වනු ලැබීමෙන් පසුව බව එම වී මෝල් හිමියෝ සහ සහල් ව්‍යාපාරිකයෝ පවසති.
එහෙත් මේ කිසිදු ගැටලුවක් මහා පරිමාණ හාල් මෝල් හිමියන්ට නැත. ඔවුන්ගේ ගබඩාවල අවශ්‍ය තරම් තොග ඇත. ඒවා පරීක්ෂා කිරීම් ද නොමැත. අපේ ව්‍යවහාරික භාෂාවෙන් කියනවා නම් ‘හාල් හැංගීම‘ සිදු කෙරේ. එසේ සහල් මාස කිහිපයක් සඟවා ගෙන සිටිය ද මේ මහා පරිමාණ වී මෝල් හිමියන්ට ගැටලුවක් නැත. ඇතැම් අය ගමන් කරන්නේ හෙළිකොප්ටර්වලිනි. රජරට වැසියන් කියන්නේ ඔවුන්ට ‘සල්ලි තියන්නට තැනක් නැතැයි‘ යනුවෙනි.
ගැටලුව ඇත්තේ ඔවුන්ගේ කිසිදු ක්‍රියාවක් නීති විරෝධී නොවීමය. ඔවුන් සතුව සහල් ඇත. ඒවා නියමිත පරිදි මුදල් ගෙවා මහජනතාවගේ පරිභෝජනයට ඉතා සුදුසු ලෙසින් සකසන ලද ඒවාය. එමෙන්ම සහල් ගබඩා කිරීමේදීද සෞඛ්‍යාරක්ෂිතව ගබඩා කර ඇත. ඉදින් තවත් කවර කතාද?
ගැටලුව තිබුණේ කෘෂිකර්ම අමාත්‍යාංශයටය. නැත්නම් වී අලෙවි මණ්ඩලයටය. වී අලෙවි ගබඩා නිසි පරිදි තබා නොගැනීම මෙන්ම වී නියමිත වේලාවන්හිදී ගොවියාගෙන් මිලදී නොගැනීමය.
වී සඳහා තමන්ට නිසි පරිදි මිලක් නොලැබීමෙන් ගොවියෝ අධික ලෙස ණය වූහ. ඒ ණය ගෙවා ගැනීමට නොහැකිව ඔවුහු වස බී දිවි නසාගත්හ.
රජරට මෙන්ම මෙරට වැඩියෙන් වී වගා කරනු ලබන පළාත්වල තත්ත්වය එසේ විය. ඒ තත්ත්වයට නිසි විසඳුමක් එවකට කිසිදු රජයක් විසින් ලබා නොදුන්නේය.
මේ නිසා ගොවියාගේ කුඹුරටම, කමතටම නිවෙසටම ගොස් වී මිලදී ගැන්මට මෝල් හිමියෝ කටයුතු කළහ.
ඒ වෙනුවෙන් එම අවස්ථාවේදීම මුදල් ලැබුණි. මේ ගොවියා වෙනුවෙන් ලැබුණු පෞද්ගලික අංශයේ එක් අවධානයකි.
එමෙන්ම ගොවියාට බිත්තර වී ලබා ගැනීමේ සිට පොහොර යෙදීමට පවා ණය දෙන්නට ඇතැම් මෝල් හිමියෝ කටයුතු කළහ. මේ නිසා එම ණය වෙනුවට ගොවියෝ තම වී තොග එම වෙළෙන්දන්ටම අලෙවි කළහ. වී අලෙවි මණ්ඩලය මුදල් වෙන් කරගෙන සාකච්ඡා පවත්වා පළාත්වලට මුදල් වෙන් කර ගොවියාගෙන් වී ලබා ගන්නට එන විට පෙරහර ගොසිනි.
මේ නිසා වී හෝ සහල් අතිරික්ත මහා පරිමාණ වී මෝල් හිමියන් සතුව මිස වී අලෙවි මණ්ඩලය සතු නොවීය. මේ කතන්දරය එදා සිට අද දක්වාම පිළිතුරක් නොමැතිව තවමත් ඇදී යන්නකි. සහල් ආනයනය තාවකාලික පියවරක් පමණි.
අඩුවීම්, වැඩිවීම් හා හිඟවීම් එකටම
වෙළෙන්දන් සහල් මිලට ගන්නේ මේ මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ නියෝජිතයන් හරහාය. තවත් අයට මේ ව්‍යාපාරයට ඇඟිලි ගහන්නට නොහැකිය. මහා පරිමාණ සහල් මෝල් හිමියන් අතර ඇත්තේ එකම ස්ථාවර මිලකි. එක් සහල් මෝල් හිමියෙක් ළඟ ඇති සහල් වර්ගවල මිල අනෙක් සහල් මෝල් හිමියා ළඟ ද එසේමය. මිල ඉහළ පහළ යාමක් හෝ කේවල් කිරීම් නැත. සහල් මිල වැඩි වන්නේද, අඩු වන්නේද, හිඟ වන්නේද එකටමය. ආර්ථික විද්‍යාවේ දක්වා ඇති “කතිපයාධිකාරි” වෙළෙඳාම සහල් ආක්‍රමණය කර ඇත්තේ එලෙසිනි. මහා පරිමාණ සහල් මෝල් හිමියන් කිහිපදෙනා එකට එකතු වී එකම මිලක් පවත්වා ගෙන යාම මෙහිදී සිදු වේ.
සහල් පාලන මිලට ලබාගෙන පාලන මිලට විකිණීමෙන් සිල්ලර වෙළෙඳුන්ට සිදුවන ලාභයක් නැත. සේවක වියදම්, ප්‍රවාහන වියදම්, ගොඩනැඟිලි වියදම් ආදිය ද මෙයට එකතු වූ විට ඔවුන්ට අතින් පාඩුය. එම නිසා පාලන මිල දැමූ විට සිල්ලර වෙළෙන්දෝ සහල් ව්‍යාපාර අත්හැර දමති. මෙය මෙරට සාමාන්‍ය වශයෙන් සිදුවන ක්‍රමවේදයයි. වැඩිමිලට විකුණා දඩ කනවාද? අතින් පාඩු විඳ සහල් විකුණනවාද? එසේත් නැත්නම් සහල් විකිණීමෙන් වැළකී සිටිනවාද යන සිද්ධාන්තයන් තුනෙන් ඔවුන් පහසුවෙන්ම තෝරා ගන්නේ සහල් වෙළෙඳාමෙන් වැළකී සිටීමය. වෙළෙඳසල්වල පාලන මිලට විකිණීමට සහල් නැති නිසා සහල් හිඟයක් ඇතිවීම සාමාන්‍ය කරුණකි.
හොඳම උදාහරණයක් ලෙස පෙන්වා දිය හැක්කේ නාඩුවල පාලන මිලයි. එම මිල රුපියල් 220 කි. මෝල්හිමියන් හරහා සිල්ලර වෙළෙන්දාට ලැබෙන්නේ ද ඒ මිලටමය. සුපිරි වෙළෙඳසල්වල සහල් අලෙවි කිරීම අඩුව ඇති නමුත් ව්‍යාපාරයක් ලෙස පවත්වා ගත යුතු නිසා ඔවුහු පාලන මිලට ලබා දෙති. එම ලාභය ඔවුහු වෙනත් නිෂ්පාදනවලින් ලබා ගනිති. එහෙත් කුඩා වෙළෙඳසල්වල වැඩි මිලට සහල් අලෙවි කරති. වැටලීම් නිලධාරීන් වටලන්නේ සුපිරි වෙළෙඳසල් හා ඉහළ මට්ටමේ වෙළෙඳසල් නිසා කුඩා අලෙවිසල් එසේ වැඩිමිලට සහල් විකිණීම සිදු කරනු ලැබේ.
සහල් මාෆියාවට විවිධ පියවර
මේ සහල් ‘මාෆියාව‘ වෙනුවෙන් එක් එක් රජයන් විසින් විවිධ පියවර සහල් මිල පාලනයට ගෙන ඇත. පසුගිය වසරේ යෝජනා වූ කීරි සම්බා ව්‍යාපෘතිය ඉන් එකකි. එම ව්‍යාපෘතිය මේ වසරේ හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන ආරම්භ කරන ලදි. එම කීරි සම්බා වගා ව්‍යාපෘතිය වී අලෙවි මණ්ඩලයේ මූලිකත්වයෙන් සිදු කෙරිණි. එහි අස්වනු පසුගිය ජූලි මාසයේදී නෙළීම ආරම්භ කෙරිණි. ඒ අඟුණකොළපැලැස්ස අලුත්වැව කුඹුරුයායේ දීය.
වෙළෙඳපළේ අනෙකුත් සහල් මිල ගණන් පහළ මට්ටමක පැවතුණ ද කීරි සම්බා සහල් මිල ඉහළ යාම නිසා කීරි සම්බා බිත්තර වී නිෂ්පාදනය ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය.
වී අලෙවි මණ්ඩලය විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ අතර ගොවි භාරකාර අරමුදලේ මූල්‍ය ප්‍රතිපාදන යොදා ගනිමින් ගොවීන් 300කට අක්කර 500ක වගා කිරීම සඳහා කිරි සම්බා බීජ වී හා සෙසු පහසුකම් සපයා දී තිබුණි.
රුපියල් 360ට පැවැති කිරි සම්බා සහල් කිලෝවක මිල පසුව රුපියල් 260ක් දක්වා මිල පහළ ගියේය.
ශක්ති සහල් වැඩසටහන
එසේම පසුගිය යහපාලන රජය සමයේ ‘ශක්ති‘ සහල් නමින් විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදි. ඒ මෙරට මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් පවත්වාගෙන යන සහල් වෙළඳපොළේ ඒකාධිකාරයට එරෙහිවය. එය ඇත්තෙන්ම යම් පමණකට හෝ මහා පරිමාණ වී මෝල් හිමියන්ට හිසරදයක් විය.
එහිදී වැසීයාමේ තර්ජනයට මුහුණ දී තිබූ කුඩා පරිමාණ මෝල් 200ක් යළි පණ ගසා ආවේය.
‘ශක්ති‘ සහල් වැඩසටහන ආරම්භ කරන ලද්දේ 2019 වසරේ මාර්තු මාසයේදීය. මෙම වැඩසටහන පොලොන්නරුව, අනුරාධපුරය, පුත්තලම, කුරුණෑගල, හම්බන්තොට, මහනුවර, මඩකළපුව සහ අම්පාර යන දිස්ත්‍රික්ක 08 ක ක්‍රියාත්මක කළ අතර මේ සඳහා රජය අයවැය මඟින් රුපියල් මිලියන 1000 ක මුදලක් වෙන්කර තිබුණි. මේ ව්‍යාපෘතිය ආරම්භ කරන අවස්ථාවේදී මහා පරිමාණ වී මෝල් හිමියන් සම්බා වී කිලෝවක් ගොවියන්ගෙන් රුපියල් 35 කට මිලදීගත් අතර ශක්ති වැඩසටහන මඟින් රුපියල් 41 කට සම්බා වී කිලෝවක් මිලදී ගන්නා ලදි.
එම අවස්ථාවේදී වෙළඳපොළේ සම්බා හාල් කිලෝවක් අලෙවි වූයේ රුපියල් 120කටය. 2019 අප්‍රේල් මුල් සතියේදී සම්බා හාල් කිලෝවක් වෙළඳපොළට නිකුත් කළේ රුපියල් 80ක තොග මිලකටය. “ශක්ති“ සම්බා හාල් කිලෝවක් රුපියල් 85ක සිල්ලර මිලකට මෙහිදී වෙළඳපොළට නිකුත් කෙරුණි.
මේ නිසා, සිදුවුණේ කුමක්ද? වී ගොවියාට සම්බා වී කිලෝවකට රුපියල් 35 කට වඩා වැඩි මිලක් ගෙවමින් මිලදී ගැනීමට මහා පරිමාණ වී මෝල් හිමියන්ට සිදුවීමය. එපමණක් නොව මහා පරිමාණ වී මෝල් හිමියන්ට රුපියල් 15-20 ත් අතර මිලකින් තමන් විකුණන හාල් කිලෝවක මිල පහළ දැමීමට සිදු විය. ඒ අනුව සැලකිය යුතු වාසියක් මහා පරිමාණ වී මෝල් හිමියන්ගෙන් පාරිභෝගිකයන් වෙතට හිමි විය.
වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල තත්ත්වය
වී අලෙවි මණ්ඩලයේ ගබඩා අද පණ අදිමින් ඇත. ඒවා නිසි පරිදි නඩත්තු කරමින් ගොවියාගෙන් නිසි කලට වී ලබා නොගැනීම මේ සියලු ගැටලු ඉස්මතු වන්නට හේතුව වී ඇත.
ජනාධිපතිවරයා මහා පරිමාණ සහල් මෝල් හිමියන් දැනුම්වත් කර ඇත. සහල් වෙළෙඳාම ජනතාවට බරක් නොවන ලෙස සිදු කළ යුතු බවට කළ දැනුම්වත් කිරීම් නොසලකා හැරියොත් ඊට මැදිහත් වන බව ද දන්වා ඇත. එහෙත් තවමත් ගැටලුව විසඳී නැත්තේ පාලන මිල මෙන්ම වෙළෙන්දාට ලබා දෙන මිල දෙකම එකම මට්ටමක පැවතීම නිසාය. මේ නිසා තොග වෙළෙන්දාට ලබා දිය යුතු මිල, සිල්ලර වෙළෙන්දාට ලබා දිය යුතු මිල හා සිල්ලර වෙළෙන්දා විසින් පාරිභෝගිකයාට අලෙවි කළ යුතු උපරිම මිලක් ලෙස නියම කළ යුතුය.
මේ අතර පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් පිරිසක් පසුගියදා මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ ගබඩා පරීක්ෂා කර බලා සහල් තොග පිළිබඳ සංගණනයක් සිදු කරන ලදී. එම වාර්තාව ජනාධිපතිවරයාට ලබා දීමට නියමිතය. ඒ හරහා ලැබෙන විසඳුම කුමක්ද යන්න අපට දැන්ම කිව නොහැකිය. කෙසේ වෙතත් මේ ගැටලුවට ස්ථාවර විසඳුමක් ලබා දිය හැක්කේ වී අලෙවි මණ්ඩලය විසින් වී හා සහල් ගබඩා යළි ස්ථාපිත කළහොත් පමණි.
තාරක වික්‍රමසේකර