Home » කොළඹ කාටුන් චිත්‍ර ශිල්පීන්ට ප්‍රදර්ශනයක් තියන්න තැනක් නෑ

කොළඹ කාටුන් චිත්‍ර ශිල්පීන්ට ප්‍රදර්ශනයක් තියන්න තැනක් නෑ

ප්‍රවීණ කාටුන් ශිල්පී විනී හෙට්ටිගොඩ

by Mahesh Lakehouse
November 2, 2024 12:30 am 0 comment

සර 1981 දිවයින පුවත්පතින් ආරම්භ කළ ඔහුගේ පුවත්පත් චිත්‍ර කලාවට මේ වන විට වසර 43කි.

චිත්‍ර ප්‍රදර්ශනය

“පසුගිය වසර තුනක පමණ කාලයක් මට අඳින්න තැනක් තිබුණෙ නැහැ. නමුත් මං එකදිගට චිත්‍ර ඇන්දා; ඒ අඳින චිත්‍ර ඔක්කොම මගේ ෆේස් බුක් පිටුවේ දැම්මා. ඒකට ලොකු ප්‍රතිචාරයක් ලැබුණා. ඒ හැමෝම කිව්වේ මේ චිත්‍ර එකතු කරලා ප්‍රදර්ශනයක් තියන්න කියලයි. ෆේස් බුක් එකේ නැති මිනිස්සුන්ට මේවා දකින්න ක්‍රමයක් තිබුණොත් හොඳයි කියන සිතුවිල්ල මටත් තිබුණා. ඒ නිසා මේ චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු සූදානම් කළා. මේ ඔක්කොම වගේ මං ඇන්දේ පරිගණකයෙන්. මේ චිත්‍රවල තියෙන්නේ පසුගිය වසර තුනක කාලය තුළ මට දැනුණු හැඟුණ දේවල්.

1978 වර්ෂයේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව 1981 දක්වා චිත්‍රකලාව විෂයක් ලෙස හදෑරූ විනීට කාටූන් ශිල්පය පිළිබඳ පරිචයක් ඉන් හිතූ තරමට නොලැබිණි. විශ්වවිද්‍යාලයේ අවසන් වසරේදී ඉගෙන ගනිමින් සිටියදී විනී දිවයින පුවත්පතට ලිපියක් යොමු කරමින් පවසා සිටියේ දිවයින පුවත්පතේ හැමතැනම මාතෘකා සඳහා යොදා ඇත්තේ එකම අක්ෂර රටාවක් බවය. එසේම එම අක්ෂර රටාව මාතෘකා සඳහා නොගැළපෙන බවත් තමනට අවස්ථාවක් ලබාදුනහොත් සම්බන්ධ වී කටයුතු කිරීමට කැමති බවත්ය. විනී යැවූ ලිපියට හැරෙන තැපෑලෙන් දිවයින පුවත්පතෙන් ලිපියක් ලැබිණි.

පත්තර කන්තෝරුවට ගිය හැටි

එවක දිවයින පුවත්පතේ ප්‍රධාන කතුවරයා වූයේ සිළුමිණ පුවත්පතේ කතුවරයාව සිට ඉන් ඉවත්ව ගිය ජ්‍යේෂඨ මාධ්‍යවේදී එඩ්මන්ඩ් රණසිංහය. නියෝජ්‍ය කතුවරයා වූයේ ලේඛන කලාවේ ප්‍රවීණයකු වූ දයාසේන ගුණසිංහය. ප්‍රධාන විධායක ලෙස කටයුතු කළේ ලෙස්ලි ධර්මරත්නය. ඒ වනවිට පුවත්පත ආරම්භ කර සති තුනක් පමණ ඉක්ම ගොස් තිබිණි.

ඕනෑම අභියෝගයකට සැදී පැහැදී සිටි විනී පුවත්පත් කාර්යාලයට ගොඩ විය. ඔහුගේ සම්මුඛ පරීක්ෂණය භාරව තිබුණේ ප්‍රධාන විධායක ලෙස කටයුතු කළ ලෙස්ලි ධර්මරත්නටය. විනිගෙන් තොරතුරු විමසා මාතෘකා කිහිපයක් ලබාදී ඒවා නිර්මාණාත්මකව ඇඳ දෙන ලෙස හේ දැන්වීය. එකල අතිශයින් ජනප්‍රිය වැඩසටහනක් වූ ඇනස්ලි ඩයස්, සැමුවෙල් රුද්‍රිගු හා බර්ටි ගුණතිලක රඟන ‘විනෝද සමය’ විනී ගේ මතකයට නැඟුණේය. එහිදී සම්මුඛ පරීක්ෂණයට ලක්වන්නේ කවුරුන්ද යන්න ගැන විචිකිච්ඡාවක් ඇතිවූ කතාව මතක් කරගත් විනී තමාගේ සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන්නේ ද ඒ ආකාරයටය. එහිදී සම්මුඛ පරීක්ෂණයට ලක්වන්නේ කොල්ලා ද තමා ද යන්න අමාරිස් අයියාට සිතා ගැනීමට නොහැකි වේ. විනී ද පෙරළා තමා සම්මුඛ පරීක්ෂණයට ලක් කරනලෙස්ලි ධර්මරත්නගෙන් ප්‍රශ්න කළේ මං අකුරු අඳින්න ඕන ඉටලික් ද? බෝල්ට් ද? මුල් පිටුවට ද? ඇතුළු පිටුවට ද? පොලිටිකල් එකක් ද? විශේෂාංග ලිපියක් ද? ලෙස්ලි ධර්මරත්නට යකා නැග්ගේය. සම්මුඛ පරීක්ෂණය එතනින් අවසන් විය. ඔක්තෝබර් මාසයේ පටන්ගත් පුවත්පතට නොවැම්බර් මාසයේ පළමුවැනිදා සිට විනීට ඇරැයුම් ලැබුණේ එලෙසිනි.

ෆොන්ට් ඇන්දේ මෙහෙමයි

“ඒ කලේ අද වගේ අපට ඕන ඕන විදියට යොදාගන්න එක එක ෆොන්ට් තිබුණේ නැහැ. ඔක්කොම අඳින්න ඕන අතින්. ඒක හරිම අමාරු වැඩක්. පත්තරේ ගහන්න ඔන්න මෙන්න ලිපියක් ආවොත් ; හෙඩිමක් වෙනස් කරන්න ඕන වුණොත් ආයි මුල ඉඳන්ම අඳින්න ඕන. සමහර විට රෑ දහය එකොළහ වෙනකම් අඳින්න වෙනවා. මේක මාරම හිසරදයක්. මේ හිසරදයෙන් බේරෙන්නේ කොහොමද කියල මං කල්පනා කළා. ඊට පස්සේ නිවාඩු තිබුණු වෙලාවට එක එක හැඩයේ අකුරුවලින් අක්ෂර මාලාවම ඇන්දා. ඒ වෙද්දි ලංකාවට පොටෝ කොපි ප්‍රින්ට් මැෂින් ඇවිත් තිබුණා. මං ඒ එක එක හැඩයට ඇඳපු අක්ෂර මාලා පොටෝ කොපි කරලා අවශ්‍ය වෙලාවට ප්‍රයෝජනයට ගන්න ආයතනයට ලබා දුන්නා.”

මේ නිසා ඔහුගේ කාර්ය අවම විය. මෙම ඉතිරි වූ කාලයෙන් තම නිර්මාණශීලි හැකියාවෙන් වෙනත් යමක් කළ හැකි බව සිතූ හෙතෙම දයාසේන ගුණසිංහ හමුවී කාටූනයක් ඇඳීමට පත්තරයේ ඉඩක් ලබාදෙන මෙන් ඉල්ලීමක් කළේය. ඒවනවිටත් පුවත්පතේ නිත්‍ය කාටූන් ශිල්පියකු විය. ඒ මෙරට විශිෂ්ට දේශපාලන කාටූන් චිත්‍ර ශිල්පියකු වූ විජේසෝම ය.

විනීගේ දක්ෂතා වටහාගෙන සිටි දයාසේන ගුණසිංහ විනීට පත්තරයේ ඉඩක් වෙන් කර දුන්නේය. විනී එහි අඳින්ට පටන් ගත්තේය. ඔය අතර කරුණාදාස සූරියආරච්චිගේ ‘පකිස්ලන්තය’ කොලම ආරම්භ විය. ඒ සඳහා චිත්‍ර ඇඳීමට සිදු වූයේ විනීටය. ඒ ඒවන විටත් තවත් චිත්‍ර ශිල්පීන් දෙනකු පුවත්පතේ සිටියදීය. ඒ ජනක රත්නායක සහ ශාන්ත කේ. හේරත්ය. විනී හා හේරත් අතර එකිනෙකාට වෙනස් ප්‍රතිවිරුද්ධ මත පැවති නිසා බොහෝදෙනා සිතුවේ මේ දෙදෙනා කොයි මොහොතේ හෝ ඇවිළී යනු ඇති කියාය. එහෙත් එවැන්නක් කිසිදා සිදු නොවීය.

ඔය අතර පුවත්පතේ ප්‍රධාන දේශපාලන කාටුන් ශිල්පියා වූ විජේසෝම සති කිහිපයකට ඉන්දියාවට ගියේය. ඒ වන විට ජනාධිපතිවරණය ආසන්නව තිබූයෙන් දේශපාලන කාටුනයක් පළ කිරීම ද අනිවාර්ය විය. එහෙත් විජේසෝම කාටුන් ඇඳි ස්ථානය ඉඩ වෙනත් අයකුට නොදීමට කර්තෘ මණ්ඩලය තීරණය කර තිබිණි. එහෙත් දේශපාලන කාටූනයක් පළ කිරීම ද අත්‍යාවශ්‍ය විය. එනිසා වෙනත් තැනක විනීට ඉඩ ලැබිණි. ඒ ප්‍රයත්නය ඉතාම සාර්ථක විය.

අනතුරුව විනීට ද වැඩිදුර ඉගෙනීමට ඉන්දියාවට යෑමට අවස්ථාව උදා විය. ඔහු එහි ගොස් කාටූන්ම ඇන්දේය. නිබන්ධනය සඳහා ඔහු ඉදිරිපත් කළේද ඉන්දියානු දේශපාලනය පිළිබඳ කාටූන් සිතුවමකි. ඉන්දියාවේ ගත කළ කාලය තුළදී ඔහු විවිධ ස්ථානවල ඇවිදීමට ගිය අතර විශේෂයෙන්ම ආගමික සිද්ධස්ථානවලට ඔහු ගියේය. එම ස්ථානවල පිහිටි සත්ව රූප සිතුවමට නැඟීමට පෙලඹුණු අතර මෑතකාලයේදී එම සිතුවම් එකතු කර සත්ව රූප නමින් කෘතියක් ද හේ පළ කළේය.

හෝල්ට් කාටූනය නතරවූ හැටි

1986 ඉන්දියාවේ සිට පැමිණ පසු ඔහු ඇඳී කාටුනය වූයේ ‘හෝල්ට්’ය. අනතුරුව ‘වටමේසය’ ඇඳීමට පටන් ගත්තේය. එය ප්‍රබල දේශපාලන උපහාසයක් ගෙනදීමට සමත් කාටූනයක් විය. ඒ වන විට භීෂණය උපරිමයට දියත් වෙමින් තිබිණි. ලංගම ඩැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණු අතර පුවත් වාරණයට රජයේ ප්‍රවෘත්ති බලධාරියෙක්ද පත් කර තිබිණි. ලියන කියන අඳින සියල්ල පළ කිරීමට ප්‍රථම ඔහු වෙත ගෙන ගොස් පෙන්වා අවසර ගැනීම අනිවාර්යය විය. විනී රජය විසින් ගෙනයන මේ ක්‍රියාදාමය හා ලංගම වැඩ වර්ජනය වට මේසය තුළින් කාටූනයට නැඟීය. විනී කාටූනයෙන් ව්‍යංගාර්ථයෙන් පවසන දෑ ප්‍රේමදාස ආණ්ඩුවට අවබෝධ වී තිබුණි. ‘හෝල්ට්’ නැවතිණ. නැවත එය විනීට පටන් ගැනීමට ලැබෙන්නේ විජේවීරගේ මරණයෙන් පසුවය.

“මම චිත්‍ර ශිල්පියෙක්, ඇතැම් නිර්මාණ පරිගණක ඇසුරෙන් කළ ඒවා. බොහෝ දෙනා මා ගැන දන්නේ කාටූන් ශිල්පියෙක් හැටියටයි. නමුත් මම සාහිත්‍ය ප්‍රබන්ධ, නවකතා, කටිකතා, සඟරාවලට වැසුම්පිටු ඇඳ තියෙනවා. ඒ වගේම අධ්‍යාපන කටයුතු සඳහා ඉන්දියාවේ සහ ප්‍රංශයේ ගත කරපු අවදියේ ඇඳපු චිත්‍ර රාශියක් මා සතුව තිබෙනවා. නමුත් කොළඹ කාටූන් චිත්‍ර ශිල්පීන්ට ප්‍රදර්ශනයක් තියන්න තැනක් නෑ. කලාභවන තිබුණත් අවුරුදු ගණනාවක් තිස්සේ ජෝන් ද සිල්වා එකත් කලාභවනත් විවෘත කරන්න බැරිව තිබෙනවා. වෙනත් කලාගාර කිහිපයක් කොළඹ තිබුණත් ඒවයේ කාටූන් චිත්‍ර ප්‍රදර්ශනය කරන්න දෙන්නේ නැහැ. ඒවයේ ප්‍රමිතියක් තියෙනවා. ඒවට කාටූන් චිත්‍ර නෙමෙයි. මේ තත්ත්වය ඉක්මනින් වෙනස් වෙන්න ඕන. මගේ ප්‍රදර්ශනය සඳහා මහජන පුස්තකාලය තෝරගන්න ප්‍රධාන හේතුව වුණේ මේ නොසලකා හැරීම.”‍

දේශපාලනේ කලාවට ගාව ගත්තේ නෑ

“ ඒ වගේම මටත් පක්ෂ දේශපාලන මතවාදයක් තිබුණා. නමුත් ඒ දේශපාලන මතවාදය මගේ කාටුන්වලට බලපෑවේ නෑ. සමහර අවස්ථාවල මට තර්ජන ආවා. නමුත් ඒ තර්ජන තුළින් මා පෙරටත් වඩා ශක්තිමත් වුණා කියලයි මට හිතෙන්නේ. වරක් මම දිවයින පත්තරේ ඉන්දැද්දී ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ (එවකට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය) පළවෙනි වතාවට ලංකාවේ දිවා රාත්‍රී ක්‍රිකට් තරගයක් පවත්වන්න සූදානම් වෙනවා. මම එදා පිටවුණ පත්තරේ තනි කළුපාට පසුබිමක ළමයෙක් ලාම්පුවක් දල්වාගෙන පත්තරේ බලනවා කාටූන් එකක් ඇන්දා. ඒ ළමයා කියනවා, “ අම්මට සිරි කොළඹ ලයිට් දාගෙන මැව් එකක් ගහනවා” කියලා. මේකට ඒ කාලේ ජනාධිපතිටයි එයාගේ ඇමතිවරයකුටයි හොඳටම කේන්ති ගිහින් තිබුණා.

ඒ වගේම වතාවක් කොළඹ විශ්වවිද්‍යාලයේ මගේ කාටූන් ප්‍රදර්ශනය පවත්වද්දී එය සංවිධානය කළ ශිෂ්‍ය සංගමය සහ ඊට ප්‍රතිවිරුද්ධ ශිෂ්‍ය සංවිධානයත් අතර ගැටුමක් ඇති වෙලා ගහන්නත් ආවා. එකට මගෙන් නිදහසට කරුණු ඇහුව වෙලාවෙදි තමයි මම දිවයිනෙන් අයින් වුණේ. ”

විනි හෙට්ටිගොඩ කලක් ‘ලක්බිම’ පුවත්පතේ ද කාටුන් ශිල්පියා ලෙස කටයුතු කළේය. පසුව ඔහු ලක්දිව නමින් ජනතා ආධාර මත ආරම්භ කළ ටැබ්ලොයිඩ් පුවත්පතට සම්බන්ධ විය. විනීගේ දේශපාලන කාටූන් ජීවිතයේ ආරම්භයේ සිටම ඔහු වෙනම වූ අනන්‍යතාවක් ප්‍රකට කර තිබේ.

හෙතෙම කලක් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කළේය. ඔහුට පත්වීම ලැබුණු ආකාරය ද කතා කළ යුතු වෙනස්ම මාතෘකාවකි.

විනී හෙට්ටිගොඩ නම් මේ අපූරු සිත්තරා සමඟ ඔහුගේ නිර්මාණ ජීවිතය ගැන සමීපව ඔහු සමඟ කතා කරන්නට ඔහුගේ අපූර්ව සිතුවම් සමඟ ඒකාත්මික වෙන්න ඔබත් 5 සහ 6 දෙදින තුළ මහජන පුස්තකාල පරිශ්‍රයට ඇවිත් යන්න එන්න.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division