Home » පරණ අත්දැකීම්වලින් මේ අලුත් තත්ත්වය තේරුම් ගන්න බැහැ

පරණ අත්දැකීම්වලින් මේ අලුත් තත්ත්වය තේරුම් ගන්න බැහැ

වංගීස සුමණසේකර

by Mahesh Lakehouse
November 2, 2024 12:30 am 0 comment

– නවීනත්වය යන කාරණයේ තේරුම වෙන්නේ එයට පෙර පැවැති අවස්ථාව තුළ විභවයක් ලෙස පැවැති දෙයක් නෙමෙයි
– අද ලංකාවේ දේශපාලන ගමන තුළ අප අත්දකිමින් සිටින්නේ මේ රැඩිකල් නවීනත්වයයි

වංගීස සුමණසේකර ලන්ඩනයේ මිඩිල්සෙක්ස් විශ්වවිද්‍යාලයෙන් (Middlesex University) දර්ශනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියත්, කිංග්ස්ටන් විශ්වවිද්‍යාලයෙන් (Kingston University) නූතන යුරෝපීය දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් හිමිකරගෙන ඇත. ‘බටහිර ඉවුරේ දර්ශනය’ ෆේස්බුක් පිටුව හා ‘බව’ බ්ලොග් අඩවිය මඟින් සිය දාර්ශනික මතවාද හා විචාර මහජන අවකාශය වෙත ගෙනයෑමට කටයුතු කරන හෙතෙම ‘විශ්වීයත්වයේ දේශපාලනය – විමුක්ති ආත්මයේ ප්‍රභවය’, ‘බලාපොරොත්තුව සහ අර්බුදය’ (රංග මනුප්‍රිය සහ වරංග ද සිල්වා සමඟ), ‘පාරිශුද්ධ සිංහල ජාතිකවාදය විචාරයට බඳුන් කිරීම’ (නිර්මාල් රංජිත් දේවසිරි සමඟ), ‘ආත්මීයත්වය සහ භෞතික ලෝකය – කාටිසියානු ප්‍රවාදයේ ප්‍රතිනිර්මාණයක්’, ‘ඉබ්බාගේ ලෝකය – චින්තනයේ සීමාවෙන් ඔබ්බට’ (විමුක්ති ජයසුන්දර සමඟ), ‘පශ්චාත් ආධානග්‍රාහී අන්තවාදය සිතා බැලීම සමඟ මෙයසූ කියවීම’ (සංස්කරණය), කොන්ටෙන් මෙයසූගේ ‘පරිමිතත්වයෙන් පසු’ (සිංහල පරිවර්තනය), ඇලේන් බදියුගේ ‘සාකෝසි යනු කුමක්ද?’ (සිංහල පරිවර්තනය) යනාදී දාර්ශනික කෘති ගණනාවක් ලියා පළ කර ඇත. මේ වන විට විවිධ දේශපාලන බලපෑම් කණ්ඩායම් සමඟ සිය අදහස් බෙදා ගනිමින් මහජන බුද්ධිමය අවකාශය පුළුල් කිරීමට වෙහෙසෙයි.

ලංකාවේ සිදුව ඇති දේශපාලන පෙරළිය සහ එහි චලන පිළිබඳ වංගීස සුමණසේකර සිළුමිණට සම්මුඛ වූයේ මෙලෙසිනි.

මෙතෙක් පැමිණි දේශපාලන ගමන 2022 ජනතා නැඟී සිටීමත් සමඟ වෙනස් මඟක් ගන්නවා. එහි පරිසමාප්තියක් විදියට තමයි වත්මන් දේශපාලන තත්ත්වය අපට දකින්න ලැබෙන්නේ. මේ සම්බන්ධයෙන් ඔබේ කියවීම මොකක්ද?

ඔව්, එය තමයි තීරණාත්මක හැරවුම. ඊට අවශ්‍ය කොන්දේසි සියල්ලක්ම පාහේ ඒ කාලය තුළ අපේ රටේ සම්පූර්ණ වී තිබුණා. වසංගත තත්ත්වයත් සමඟ උත්සන්න වූ ආර්ථික අර්බුදයත් සමඟ එතෙක් පැවැති දේශපාලන ක්‍රමය පිළිබඳ තක්සේරුවක් ජනතා විඥානය තුළ ගොඩනැඟුණා. විශේෂයෙන්ම එවකට පැවැති රාජපක්ෂ බලකේන්ද්‍රයේ ප්‍රධානියකු වූ බැසිල් රාජපක්ෂ, විමල් සහ උදය ගම්මන්පිල අතර ඇති වූ මතගැටුම. ඒ ගැටුම තරමක් සංකීර්ණයි. ඒ පිටුපස තිබුණේ ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳ පරස්පර විරෝධී දැක්මවල් දෙකක් අතර ගැටුමක්. සරලව පැහැදිලි කළොත්; බැසිල් රාජපක්ෂ තුළ තිබුණේ; ජේ.ආර් ජයවර්ධන විසින් 1977 න් පසුව බිහි කළ වෙළෙඳ පොළ කේන්ද්‍ර කරගත් ආර්ථික සංවර්ධනය පිළිබඳ අදහසක්. විමල් සහ උදය පිල නියෝජනය කළේ ඊට ප්‍රතිවිරෝධීව 80 දශකයේ වර්ධනය වූ අපේ රටේ ජාතික අනන්‍යතාව පදනම් කරගත් ජාතිකවාදී චින්තනය පිළිබඳ අදහසක්. ඒ ගුණදාස අමරසේකර හා මහාචාර්ය නලින් ද සිල්වා විසින් ගෙනගිය සංකීර්ණ දේශපාලන මතවාදය විසින් පෝෂණය වූවක්.

මහින්ද දේශපාලනයේ තිබුණු මැජික් එක වුණේ මේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ මත දරන පිරිස් එකට ගොනුකර ගැනීමට තිබූ ශක්‍යතාවයි. නමුත් මේ මත දෙක අතර පැවැති ආතතිගත සම්බන්ධය වසංගත තත්ත්වය සහ ඒත් එක්කම පැන නැඟුණු ආර්ථික අර්බුදය සමඟ උච්චතම අවස්ථාවට පැමිණියා. ඒ විමල් සහ ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් නෙරපීමට කටයුතු කිරීමත් සමඟයි. නලින් ද සිල්වා එය ප්‍රසිද්ධියේම විවේචනය කළා. ඔහු මෙය ආණ්ඩුවට හානිකර තත්ත්වයක් ලෙස දැක්කා. මෙයින් ආණ්ඩුවේ සමතුලිතතාව බිඳවැටෙන බව ඔහු අවබෝධ කරගෙන සිටියා. මෙන්න මේ දේශපාලන අස්ථාවරත්වය මේ සඳහා බලපෑ එක් සාධකයක්.

අනෙක් පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂට උපදෙස් ලබාදීපු අය විසින් දුන් උපදෙස් හා ගනු ලැබූ වැරදි තීන්දු තීරණ. උදාහරණයක් ලෙස පොහොර ප්‍රශ්නය වැනි කාරණා නිසා ආණ්ඩුව සමඟ කටයුතු කළ බලවේග විශාල ප්‍රමාණයක් ඉන් ඉවත් වුණා. මේත් එක්කම රට තුළ ඇති වූ ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, විදුලිය බිඳවැටීම සහ ඊට ආණ්ඩුව විසින් දක්වපු උද්දච්ච ප්‍රතිචාර හේතුවෙන් මේ අර්බුදය පුපුරා ගියා. 2022 ජනතා නැඟී සිටීම ලෙස අප අත්දකින්නේ එයයි.

90 දශකය අවසානයේ විශේෂයෙන්ම එල්ටීටීඊ සංවිධානය ලංකාවේ දේශපාලනයේ ප්‍රධාන අනෙකා බවට පත් වුණාට පස්සේ අපේ රටේ දේශපාලනයේ මතවාදී සුක්කානම සිංහල ජාතිවාදී දේශපාලනය තුළට ගොනු වුණා. 2022 සිද්ද වෙච්ච වැදගත් පරිවර්තනයක් වුණේ මෙන්න මේ සිංහල ජාතිකවාදී මතවාදය බිංදුවටම ඇදවැටීමයි. ජන අරගලයේ තිබුණු සුවිශේෂි කාරණය වුණේ ජාතිවාදය කිසිදු ලෙසකින් වැද්ද නොගත්ත දේශපාලන අවකාශයක් නිර්මාණය වීමයි. ඒක අපේ රටේ විශ්මයජනක සිදු වීමක්. මේ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දිය හැකි යන්ත්‍රණයක් නිර්මාණය කර තිබුණා. ඒ වගේම ඒ යන්ත්‍රණය නියෝජනය කරන්න පුළුවන් මතවාදයක් ඒ වන විටත් සකස් කර තිබුණා. මේ පරිවර්ථනයේ වැදගත්ම සාධකය වන්නේ එයයි.

මේ නැඟී සිටීමත් එක්ක සිංහල ජාතිකවාදය හොම්බෙන් යද්දී ඒකට විකල්ප අලුත් දේශපාලන සවිඥානිකත්වයක් අපේ රටේ ඇති වුණා. අද ජනප්‍රිය විදියට ප්‍රකාශමාන වන දූෂණයෙන්, වංචාවෙන්, හොරකමින් තොර පිරිසුදු දේශපාලනයක් අවශ්‍යයි යන අදහස එන්නේ එතැනින්.

අපේ රටේ පාලන උපකරණය මෙහෙයවපු මේ දූෂිත පාලකයින් ඉවත් කරන්න ඕන යන දේශපාලන විඥානයක් නිර්මාණය වුණේ ඒ විදියට. මේක සුළුපටු දෙයක් නෙමෙයි. මොකද අපි අවට හිටපු බොහෝ අය කල්පනා කරපු දෙයක් තමයි “අපි වුණත් ඔතැනට ගියොත් ඕකමනෙ කරන්නේ. අපේ අයට අවස්ථාව දෙනවනේ” වගේ අදහසක්. ඒ වැරදි බොහොම සාමාන්‍යකරණය කරපු මතයක් ජනතාව තුළ ස්ථාපිතව තිබුණේ. මේ අරගලය නිසා ඒ මතවාදයත් වෙනස් වුණා. නැහැ ඒක එහෙම වෙන්න බෑ; ඒක වැරදියි; මේක වෙනස් කරන්න ඕන කියන අදහසත් එක්ක; අපි හැමෝටම පිළිගන්න පුළුවන් සමාජ සම්මුතියක් අපට ඕන කියන තැනට ජනතාව ආවා. ඒ අනුව තමයි මේ දේශපාලන පරිවර්තනය නිර්මාණය වුණේ.

ජනාධිපතිවරණයෙන් මේ රැඩිකල් මතවාදීමය වෙනස සිදු වුණත්; ඔබ කලින් සඳහන් කළ සිංහල ජාතිකවාදී මතවාදය අවශේෂ චරිත නැවත වටයකින් පාස්කු ප්‍රහාරය දඩමීමා කරගෙන නැවතත් කරළියට පැමිණ තිබෙනවා. මේ තත්ත්වය ඔබ තේරුම් කරන්නේ කොහොමද?

උදය ගම්මන්පිල පාස්කු වාර්තාවක් පෙරළමින් සිදු කරන මේ රංගනය සම්බන්ධයෙන් මට ප්‍රතිචාර දෙකක් තිබෙනවා. පුරවැසියකු ලෙස ඒ තොරතුරු වාර්තා කියවද්දි මට හැඟෙන්නේ එය එක්තරා කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක ප්‍රතිඵලයක් ලෙසයි. ඒක තවදුරටත් සැකයක් ඇති දෙයක් නෙමෙයි. ඒක අනාගතයේදී නීතිය ඉදිරියේ ඔප්පු වේවි.

පැහැදිලිවම ඒ කුමන්ත්‍රණයෙන් ප්‍රතිලාභ අත් කරගත්තේ 2019 දී ලංකා‍ෙව් බලයට පත් වෙච්ච ආණ්ඩුව. ඔවුන්ට බලයට එන්න මෙය ප්‍රධාන සාධකයක් බවට පත් වුණා. ඒ ප්‍රහාරය නිසා පොඩි දරුවො මිනිස්සු 300ක් පමණ මරණයට පත්වෙලා තියෙද්දි; ඒ ඇදහිය නොහැකි අපරාධයේ වාසි ලබපු උදවිය; ඒ ආණ්ඩුවෙන් බලය ලබාගත්ත නායකයෙක් දැන් ලජ්ජාවක් නැතිව ඇවිත් මේ වාර්තා ඉදිරිපත් කරමින් ඉතාම නින්දිත පිළිකුල්සහගත රංගනයක නිරත වෙනවා. මං දකින්නේ ඒ අයට මේවයින් කිසිම දෙයක් කරන්න බැහැ.

මගේ යෝජනාව වෙන්නේ මේ වගේ දේවල්වලට ජාතික ජන බලවේගයේ නායකත්වය ප්‍රතිචාර දැක්වීමෙන් වැළකිය යුතුයි. දැන් මේ මොනවද වෙන්නෙ කියන දේ කතෝලික පූජක උතුමන්ලා වගේම කතෝලික ජනතාවත් හොඳින්ම දන්නවා. ඔවුන් ඒක ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ සිංහල ජාතිකවාදී කල්ලිය දැන් දේශපාලනිකව අවලංගු කාසි බවට පත් වී හමාරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේන අදහසක් තමයි පළපුරුදු අය මේ මහමැතිවරණයෙන් පත්කර ගන්න ඕන කියන අදහස. මේ ගැන ඔබේ ප්‍රතිචාරය මොකක්ද?

ඒක සම්පූර්ණ වැරදි අදහසක්. එහෙමනම් අලුත් අදහසක් කවදාවත් මේ බිමේ පැළ කරන්න වෙන්නේ නැහැ. අලුත් දෙයක් කරන මනුස්සයෙක් කියන්නේ දැන් තියෙන දේ තුළ තේරුම් ගන්න බැරි දෙයක්. නවීනත්වයක් කියන කාරණයේ තේරුම වෙන්නේ එයට පෙර පැවැති අවස්ථාව තුළ විභවයක් ලෙස පැවැති දෙයක් නෙමෙයි. උදාහරණයක් ලෙස මෙතන ඔබ මගේ සම්මුඛ සාකච්ඡාව පටිගත කරද්දි එය කිසියම් ආකාරයකින් අක්‍රීය වුණොත් අප කවුරුවත් එය නවීනත්වයක් කියල කියන්නේ නැහැ. මොකද එය විය හැකි තත්ත්වයක්. දාර්ශනිකයකු වූ ලුඩ්විග් විගන්ස්ටයින්ගේ සුප්‍රකට උදාහරණයක් තමයි “මම දැන් කතා කරමින් සිටින විට මා ඉදිරියේ වාඩිවී සිටින කෙනකුගේ හිස වෙනස් වෙලා; සිංහ හිසක් ඇවිත් සිංහයෙක් වගේ කෑගහනවා. ඒක නවීනත්වයක්. ඒක නවීනත්වයක් වෙන්නේ එය කලින් තිබුණු අවස්ථාවේදී විභවතාවක් ලෙස අප හඳුනගත්තෙ නැහැ. දැන් අපි ලංකාවේ දේශපාලනය තුළ රැඩිකල් නවීනත්වයක් ලෙස අත්දකිමින් ඉන්නේ එයයි. ඒක හරියට විගන්ස්ටයින් කිව්වා වගේ ඔළුව වෙනස් වෙලා සිංහයෙක් කෑ ගහනව වගේ තත්ත්වයක්. මේ තත්ත්වය තේරුම් ගන්න පරණ තත්ත්වයේ අත්දැකීම්වලින් බැහැ. ඒ අයට අත්දැකීම් තියෙන්නේ මහදවල් වාහන ඇතුළෙ මිනිස්සු ගිනි තියල, පුළුස්සලා, අධි සුඛෝපභෝගී වාහන වෙන අයගේ ගේ මිදුලේ, හෝටල් රථගාලවල පාක් කරලා. ඒ වගේ වැඩවලට අත්දැකීම් ඇති අය ඉන්නවා. ඒ අත්දැකීම්වලින් මේ අලුත් තත්ත්වය තේරුම් ගන්න බැහැ.

රසික කොටුදුරගේ ඡායාරූප ප්‍රමුඛ දුල්ෂාන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division