කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානාධිපතිව වැඩ විසූ, ගල්බොඩ සිරි ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේ (පොඩි හාමුදුරුවෝ) අපවත් වී තෙමස් සම්පූර්ණ පින්කම් මාලාවට සමගාමීව අතිපූජනීය ගල්බඩ සිරි ඤාණිස්සර අනුස්මරණ ශිෂ්‍යත්ව භාර අරමුදල ජනගත කිරීමේ උලෙළ 3 වැනිදා ඉරිදා කොළඹදී සිදු කෙරේ. ‘නැණ ඉසුර‘ නමින් නම් කර ඇති මේ ශිෂ්‍යත්ව අරමුදල සම්බන්ධයෙන් පසුගියදා කොළඹ හුණුපිටිය ගංගාරාමයේ මාධ්‍ය හමුවක්ද පැවැත්වුණි.
ගල්බොඩ සිරි ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේ ගංගාරාමය විහාරස්ථානයෙහි අභිවෘද්ධිය වෙනුවෙන් පමණක් නොව ශ්‍රී ලංකාව පුරාවටම විසිරී සිටින ගිණිය නොහැකි තරමේ තරුණ තරුණියන්ගේ සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපනික සහ වෘත්තීය සංවර්ධනය වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළ යතිවරනමකි.
මෙම ශිෂ්‍යත්ව අරමුදල පිහිටුවීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ සිංගප්පූරුවේ ගෝල්ඩන් පැගෝඩා බෞද්ධ විහාරස්ථානයේ සහ බුද්ධා ටූත් රෙලික් විහාරයෙහි විහාරාධිපති, ගෞරවනීය මාස්ටර් ශී ෆා ශාඕ ස්වාමීන් වහන්සේය. දශක තුනකට අධික කාලයක් ඤාණිස්සර හිමියන් ඉතා සමීපව ඇසුරු කළ උන්වහන්සේ ඤාණිස්සර හිමි ගිලන්ව සිටියදී සිංගප්පූරුවේ දී ඇප උපස්ථාන පවා කළහ. මාස්ටර් ශී ෆා ශාඕ ස්වාමීන් වහන්සේ විසින් පූජ්‍ය ගල්බොඩ සිරි ඤාණිස්සර අනුස්මරණ ශිෂ්‍යත්ව භාර අරමුදල ඇරඹීම සඳහා ප්‍රධාන දායකත්වය සනිටුන් කරමින් අමරිකානු ඩොලර් 500,000ක මුදලක් පරිත්‍යාග කර ඇත.
ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් පැවසුවේ, මෙම ශිෂ්‍යත්ව අරමුදල ඤාණිස්සර හිමියන්ගේ මෙහෙවර වූ, අනාගත පරපුරට අධ්‍යාපනික සහ වෘත්තීය අවස්ථා පෝෂණය කිරීම අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් පිහිටවූ බවයි. දයානුකම්පාවෙන් සහ සමාජ අභිවෘද්ධිය සඳහා කැපවීමෙන් පරිපූර්ණ වූ උන්වහන්සේගේ දැක්ම, දීපව්‍යාප්ත තාරුණ්‍යයේ සහ බෞද්ධ භික්ෂු ප්‍රජාවගේ සංවර්ධනය සඳහා මාර්ගෝපදේශ බලවේගයක් ලෙස අනාගතයේදීත් පවතිනු ඇති බව උන් වහන්සේ වදාළ සේක. ගල්බොඩ ඤාණිස්සර අනුස්මරණ ශිෂ්‍යත්ව භාර අරමුදල මඟින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහ තරුණ භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යාධාර ලබා දෙන අතර, උගත් හා නිපුණ සමාජයක් සඳහා ඤාණිස්සර හිමියන්ගේ දැක්ම අඛණ්ඩව වර්ධනය වීම එමඟින් සහතික කෙරෙනු ඇත.
දශක ගණනාවක් තිස්සේ, පූජ්‍ය ඤාණිස්සර ස්වාමීන්වහන්සේගේ අධ්‍යාපනය සඳහා වූ නොසැලෙන කැපවීම අඩු වරප්‍රසාදිත පසුබිමක් සහිත අයගේ ජීවිත ගැඩගස්වා ඇත. පුද්ගලයන් සහ ප්‍රජාවන් නඟාසිටුවීම සඳහා අධ්‍යාපනය විසින් ඉටු කරනු ලබන වැදගත් කාර්යභාරය හඳුනාගනිමින්, සුදුසුකම් ඇති සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දෙමින්, වඩා හොඳ අවස්ථාවන්ට ප්‍රවේශ වීමට ඔවුන් බලගැන්වීය.
එම සම්ප්‍රදාය අනුව යමින් ගංගාරාම විහාරස්ථානයේ භාරකාර මණ්ඩලය, ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ සහ ජාත්‍යන්තර දානපතියන්ගේ සහයෝගය ඇතිව මෙම ශිෂ්‍යත්ව භාර අරමුදල පිහිටුවා ඇත. එහි මූලික අරමුණ පූජ්‍ය ඤාණිස්සර හිමියන් විසින් ආරම්භ කරන ලද උතුම් කර්තව්‍යය තුළින් අනාගත පරපුරට අධ්‍යාපනයේ ප්‍රතිලාභ ප්‍රයෝජනයට ගත හැකි බව තහවුරු කරමින් අඛණ්ඩව ඉදිරියට ගෙන යාමය.
ඤාණිස්සර අනුස්මරණ ශිෂ්‍යත්ව භාර අරමුදල සැලසුම් කර ඇත්තේ අ.පො.ස. සා/පෙළ සහ උසස් පෙළ වැනි තීරණාත්මක ජාතික විභාග සඳහා සූදානම් වන සිසුන්ට මෙන්ම කාර්මික හා වෘත්තීය විද්‍යාලවලට ඇතුළත් වන සිසුන්ට ශිෂ්‍යත්ව ලබාදීම සඳහාය.
ශ්‍රී ලාංකීය උරුමයන් සහ කලාවන් හි උන්නතිය උදෙසා අධ්‍යයන ශිෂ්‍යත්වවලට අමතරව ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් පෝෂණය කිරීම සඳහා අරමුදල ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරනු ඇත. පූජ්‍ය ඤාණිස්සර හිමියන් ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික කලාවන් ආරක්ෂා කිරීම සඳහා දැඩි ලෙස පෙනී සිටි හිමි නමකි. විශේෂයෙන්ම ඇඳුම් පැලඳුම් සහ වාදන භාණ්ඩ සපයමින් බෞද්ධ පෙරහැර සංස්කෘතික උරුමය සඳහා නිරන්තරයෙන් උන්වහන්සේ සහාය වූහ.
මෙම සත් කාර්යය වෙනුවෙන් දායකවීමට අපේක්ෂා කරන පුද්ගලයන් හා ආයතනවලට වැඩි විස්තර +94 76 3 96 96 96 දුරකථන අංකය මඟින් ලබා ගත හැකිය.