ශ්‍රී ලංකාව සමඟ ක්‍රියාත්මක විස්තීර්ණ ණය වැඩසටහනට ඇති කැපවීම ශ්‍රී ලංකාවේ නව රජය යළිත් වරක් තහවුරු කර තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම (EFF) යටතේ සිදුකෙරෙන තුන්වන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට පැමිණෙන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා 01දා පැවැත්වූ විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවේදී ඒ මහතා මේ බව සඳහන් කර තිබේ. නව රජය දිවුරුම් දීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වූ බවද ඒ මහතා මෙම සාකච්ඡාවේ දී ප්‍රකාශකර තිබේ.
අදාළ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායමක් ඇමෙරිකා එක්සත් ජනදපයේ වොෂින්ටන් වෙත පැමිණ සිටි බවත් ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනට ඇති කැපවීම ශ්‍රී ලංකාවේ නව රජය යළි තහවුරු කර ඇති බවත් ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් පසුගිය මස මෙරටට පැමිණි අතර IMF වැඩසටහනේ ප්‍රගතිය සහ ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ අරමුදල් පහසුකමේ සිව්වන වාරිකය ලබා දීමට අදාළ සාකච්ඡා පැවැත්වීම මෙම සංචාරයේ අරමුණ විය.
මහින්ද අලුත්ගෙදර