Home » මැතිවරණයෙන් පසු සජබත්, යූඇන්පීත් එකට එකතු වෙයි

මැතිවරණයෙන් පසු සජබත්, යූඇන්පීත් එකට එකතු වෙයි

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

by Mahesh Lakehouse
November 2, 2024 12:30 am 0 comment

ජාතික ජන බලවේගය පවසනවා, තුනෙන් දෙකේ බලයක් සහිතව පාර්ලිමේන්තුව පුරවනවා කියලා?

මාලිමාව විසින් ඉදිරිපත් කර ඇති අපේක්ෂක කණ්ඩායම ජනතාව එතරම් හඳුනන්නේ නැහැ. ඔවුන්ට පළපුරුද්ද නැහැ. ඒ කණ්ඩායමත් සමඟ ආණ්ඩුවක් හැදුවොත් එය කාලයත් සමඟ දුර්වල ආණ්ඩුවක් වෙන්න පුළුවන්. ඒ නිසා පාර්ලිමේන්තුවට හඬක් නඟන්න පුළුවන් හොඳ විපක්ෂයක් අවශ්‍යයයි. ඉදිරියේදී මාලිමාව විසින් පාර්ලිමේන්තුව පිරෙව්වොත් මේ රට මාක්ස්වාදයට යයිද යන ප්‍රශ්නය පැන නඟිනවා. මම හිතනනේ මෙවර යම් කිසි හොඳ පිරිසක් පාර්ලිමේන්තුවට පත් වෙයි. මාලිමාව විසින් බලාපොරොත්තු වන තුනෙන් දෙකේ බලය ඔවුන්ට ලැබෙන්නේ නැහැ.

විපක්ෂය පවසනවා වත්මන් ආණ්ඩුව ගමන් කරන්නේත් රනිල් ගිය මඟ කියලා. මාලිමාව කියූ මඟ ගියොත් රට කඩා වැටෙන බවත් කියැවෙනවා?

එය හරි. ඔවුන් ජනාධිපතිවරණයේදී වැඩියෙන් විවේචනය කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික වැඩපිළිවෙළ. අද වන විට ඊට වඩා වෙනස් දෙයක් මේ ජනාධිපතිවරයා විසින් කරනවා කියලා අපිට පේන්නේ නැහැ. IMF,ලෝක බැංකුව අපිට එපා කිව්වා. IMF එකත් එකක් කතා කරලා රටට අලුත් ගිවිසුමක් ගේනවා කිව්වා. අද වන තෙක් එය පේන්න නැහැ. රනිල් වික්‍රමසිංහ මහතාව විවේචනය කර එක මතයක් සාදා ඔවුන් බලයට ආවා. දැන් අපිට පේන්නේ නැහැ පැවැති ආර්ථික වැඩපිළිවෙළ වෙනස් වෙලා කියලා. සමහරක් ආයතන විකුණනවා ද නැද්ද යන්න අපිට අපහැදිලියි. ආර්ථිකය හදන්න රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ගිය වැඩපිළිවෙළ තමයි හරි. රට කරවීමේ බරපතළකම වර්තමාන ජනාධිපතිතුමාට තේරුණේ ඒ පුටුවේ වාඩි වූ පසුවයි. මෙය වෙනස් කරන්න ගියොත් කලින් පැවැති තත්ත්වයට රට වැටෙනවා.

අනුරට බැරි වුණොත් රට හදන්න යළි රනිල්ට එන්න වෙයි කියලා ජනතාව කියනවා. නමුත් එතුමා මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයටත් නැහැ. ජාතික ලැයිස්තුවටත් නැහැ?

මේ රටේ ආර්ථිකය ආපසු වැටුණොත් රට හදන්න යළිත් රනිල් වික්‍රමසිංහ මහතා අවශ්‍ය වෙයි කියලා ජනතාව පවසනවා. ඒ අදහසට මමත් එකඟ වෙනවා. රටේ ආර්ථිකය තවමත් තියෙන්නේ සියුම් තැනක. වසර තුනෙන් පසු ණය ගෙවිය යුතුයි. ඒ සඳහා මුදල් උපයන වැඩසටහනක් නැතිනම් අපි මේ ණය ගෙවන්නේ කෙසේද? ආර්ථිකය නංවන්න වැඩසටහනක් නැතිනම් රනිල් වික්‍රමසිංහ මහතා අවශ්‍ය වෙයි. රටේ ජනතාව යටි හිතින් හිතනවා ආණ්ඩුව ආර්ථිකය ගොඩනැඟුවේ නැතිනම් රනිල් වික්‍රමසිංහ මහතා පෙනී සිටියි කියලා. මේ අය වන කෙරුවොත් රනිල් මහත්තයා එන්න ඕන රට බේරාගන්න කියන අදහස ගම්වල ජනතාව අපිට කියනවා. ඒ වගේම මහමැතිවරණයට එතුමාටත් ඉදිරිපත් වන ලෙස ඉල්ලීම් කළා. නමුත් එතුමා පැහැදිලිව කිව්වේ ජනාධිපතිවරයෙක් ලෙස පත්වී එයින් ඉවත්ව යළිත් ඉදිරිපත් නොවන බවට වූ එක්සත් ජාතික පක්ෂ සම්ප්‍රදාය අනුගමනය කරන බවයි. ඒ සම්ප්‍රදාය කඩන්න එතුමා කැමැති වුණේ නැහැ.

අඩු ඡන්ද පදනමක් තිබූ ජාතික ජන බලවේගය මෙතරම් ඉදිරියට පැමිණීමට හේතුව කුමක්ද?

එක්සත් ජාතික පක්ෂය එක් අතකට අවාසනාවන්තයි. ඒ අපි දෙකට කැඩුණු නිසා. දැන් එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය තියෙන්නේ කණ්ඩායම් දෙකක. පසුගිය ජනාධිපතිවරණයේදි මේ පක්ෂ දෙක දෙගොල්ලෝ විවේචනය කර කර හිටියා. මාලිමාව ඒ දෙකට මැදින් ඉහළට ආවා. මට විශාල විශ්වාසයක් තියෙනවා මේ මහමැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂයයි සමගි ජනබලවේගයයි එකට එකතු වෙයි කියලා.

ඇයි මහමැතිවරණයට පෙර පක්ෂ දෙකට එකතු වෙන්න බැරි වුණේ?

මහ මැතිවරණයට කලින් රනිල් වික්‍රමසිංහ මහතා මට කිව්වා මහමැතිවරණයට මුහුණ දීමට පුළුල් සන්ධානයක් අවශ්‍ය නිසා සජබ සමඟ කතා කරන්න කිව්වා. සාර්ථක වුණා. නමුත් යම් කොන්දේසි තිබුණා. කොන්දේසි සජබයෙන් ඉදිරිපත් වුණා. අපේ කිහිප දෙනෙක් ඊට එකඟ වෙන්න කැමැති වුණේ නැහැ. අපි බලාපොරොතු වුණේ අලියා ලකුණින් එක්සත් ජාතික පෙරමුණක් ලෙස ඉදිරිපත් වීමට. නමුත් ඔවුන් බලාපොරොත්තු වුණේ දුරකතනය ලකුණින් තරග කරන්න. එතැන තමයි බාධාව තිබුණේ. මට දැඩි විශ්වාසයක් තිබෙනවා මහමැතිවරණයෙන් පසු මේ දෙක එකට එකතු වෙයි කියලා.

පක්ෂයේ ප්‍රබලයන් පිරිසක් මැතිවරණ සටනින් ඉවත් වුණා. ඒ ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයක් නොමැතිකම නිසාද?

ජනාධිපතිවරණයෙන් පසු ඔවුන්ගේ ඉදිරි දේශපාලන ගමන පිළිබඳ වූ අපැහැදිලිතාව නිසා මහමැතිවරණයට ඉදිරිපත් වුණේ නැහැ. ඔවුන්ට කාලයක් අවශ්‍ය බව කිව්වා. සමහරක් කලකිරී මහමැතිවරණයට ඉදිරිපත් නොවන බව කිව්වා. දැන් ඉන්නේ ඉතාමත් හොඳ පිරිසක්. මේ ප්‍රශ්නය අපිට පමණක් බලපෑ එකක් නෙමෙයි. සජබයේ පිරිසකුත් මෙවර ඉදිරිපත් වන්නේ නැහැ. මහමැතිවරණයට ඉදිරිපත් වන්නට තිබූ පිරිසක් කලකිරීම් නිසා ඉවත් වෙලා තියෙනවා.

මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් සජබයට වඩා වැඩි බහුතරයක් සිලින්ඩරයට ලබාගත හැකි වෙයිද?

සජබයත් හොඳ පළපුරුද්දක් ඇති කණ්ඩායමක් ඉදිරිපත් කර තියෙනවා. ඔවුන්ටත් ඡන්ද ප්‍රමාණයක් තියෙනවා. නමුත් සමහර ඡන්දදායකයින්ගේ විශාල බලාපොරොත්තුවක් තිබුණා, මේ පක්ෂ දෙක මැතිවරණයට පෙර එකතු වෙයි කියලා. ඒ නිසා කලකිරීමක් තියෙනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයටත් සමගි ජන සන්ධානයෙන් ඡන්ද ප්‍රතිශතයක් එයි කියා බලාපරොත්තු වෙනවා. අවාසනාවකට අපිට එකතු වන්න තිබුණා නම් අපිට ආණ්ඩුවක් හදාගන්න තිබුණා. කෙසේ වෙතත් විපක්ෂයේ සිට අපි වැඩ කරනවා.

දැන් එක්සත් ජාතික පාක්ෂිකයින්ටත් අලියා අමතක වෙලා?

අපේ අරමුණ වුණේ අලියාගෙන් ඉදිරිපත් වීමට. මේ රටට අලියා අවශ්‍ය වෙලා තිබුණේ. නමුත් සන්ධානගත වන පිරිස් ඊට කැමැති වුණේ නැහැ. අවසානයේ අපිට සිදුවුනේ ගෑස් සිලින්ඩරයෙන් ඉදිරිපත් වෙන්න. නමුත් ඉදිරියේදී අපිට අලියා ලකුණින් ඉදිරිපත් වන්නට හැකිවෙයි. මගේ එකම අරමුණත් යළි මේ රටට අලියා ගෙනෙන එක. අලියට යම්කිසි ගෞරවයක් තියෙනවා. ඒ නිසා දිනක අලියා යළිත් කරළියට එනවා.

පසුගිය මහමැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයට ලැබුණේ එක් ජාතික පක්ෂ අසුනක් පමණයි. මෙවර තත්ත්වය කෙසේ වෙයිද?

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවට ඇතුළු වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති ගත් ඡන්ද ප්‍රමාණය අනුව සන්ධානයෙන් තුන් දෙනෙක් වත් පාර්ලිමේන්තුවට පත් විය හැකියි. මහමැතිවරණයේදි මේ සංඛ්‍යාව අඩු වැඩි වෙන්න පුළුවන්. තමන්ගේ ප්‍රදේශය නියෝජනය කරන කෙනාට ඇති ළැදියාව නිසා ඊට වඩා ඡන්ද ලැබෙන්න පුළුවන්. මේ යන විදියට ගියොත් අපට ගම්පහෙන් ආසන තුන හතරක් ගත හැකියි.

එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනස් දැකිය හැකි වෙයිද..?

රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් රටට නායකත්වයක් අවශ්‍ය බව අපි පිළිගන්නවා. එතුමාට ඉදිරියේදීත් විශාල කාර්යභාරයක් මේ රට වෙනුවෙන් කරන්න තියෙනවා. එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිළිබඳ වෙනසක් කරන්න තවමත් අදහසක් නැහැ. මහමැතිවරණයෙන් පසු මේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදු කරනවා. පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකර වසර පහකට පසු යළිත් මහමැතිවරණයට ශක්තිමත් පක්ෂයක් ලෙස මුහුණ දිය යුතුයි.

එක්සත් ජාතික පක්ෂ නායකත්වය භාර ගන්න සුදුස්සෝ නැතිකමද මීට හේතුව?

එතුමා විශාල පළපුරුද්දක් ඇති නායකයෙක්. පක්ෂය වෙනුවෙන් ද කාර්යභාරයක් කළා. ඒ මඟ පෙන්වීම අවශ්‍යයි. එතුමාට ඉවත් වෙන්න අවශ්‍ය යැයි කියා තීරණය කළ හොත් ඊට සුදුසු අය පක්ෂය තුළ ඉන්නවා. අනිවාර්යයෙන්ම හොඳ නායකයෙක් පත් කළ හැකියි. එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගයක් එකතු වුණොත් ඊට වඩා හොඳ පිරිසක් සිටිනවා. මේ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය අවශ්‍යයි.

අද ආණ්ඩුවට සම්බන්ධ බොහෝ දෙනෙක් පවසනවා, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට හිරේ යන්න සූදානම් වෙන්න කියලා?

එතුමාව හිරේ යවන්න කරලා තියෙන වැරුද්ද මොකක්ද? මැතිවරණ කාලයේදි බැඳුම්කර සිදුවීම රනිල් වික්‍රමසිංහ මහතාට මඩ ගහන්න භාවිත කළ දෙයක්. වසර ගණනාවක් එතුමාට චෝදනා කරමින් සිරගත කරන්න උත්සහ කළා. අද පාස්කු ප්‍රහාරය පවා තමන්ගේ වාසියට දේශපාලන වේදිකාවට යොදා ගෙන තියෙනවා. එය අපි අනුමත කරන්නේ නැහැ. එතුමා දේශපාලන වාසියක් මෙයින් ගන්න හැදුවා කියලා චෝදනා කළා. දේශපාලන වාසි ගන්න හැදුවා නම් එතුමා ජනාධිපතිවරණයේදි එය භාවිත කරනවා. එය වෙනස් විය යුතුයි. මම හිතන්නේ පාස්කු ප්‍රහාරය දේශපාලන වාසියට යොදා නොගත යුතුයි.

ඡායාරූපය – හිරන්ත ගුණතිලක

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division