– ඇමැති කවුද කියන එක අදාළ නැහැ, ජනතාවට දුන් පොරොන්දු එලෙසම ඉටු කරනවා
– නියෝජිතයන් 15 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට යවනවා
– හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ එවකට අගමැති රනිල් වික්‍රමසිංහට මෙම කාර්යාලය හිසරදයක් වුණා
ඔබ මෙරට දේශපාලනයේ මතභේදාත්මක චරිතයක්. දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ සභාපතිවරයා වුණේ ඔබයි. ඔබේ භූමිකාව ගැන පැහැදිලි කළොත්…?
2015 වසරේ යහපාලන ආණ්ඩුව බලයට පැමිණි පසුව දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය ආරම්භ කළා. එය අගමැති කාර්යාලය යටතේ අගමැති ලේකම්ට වගකියන විධිමත් නිල ආයතනයක්. එය පිහිටුවූයේ එම යහපාලන ආණ්ඩුවට ලැබුණු ජනවරම, එනම් මෙරට සිදුවුණු බරපතල වංචා , දූෂණ,මූල්‍ය අපරාධ පිළිබඳ විමර්ශනය කොට වරදකරුවන් නීතිය හමුවට ගෙන ඒම , වංචා කළ මහජන ධනය යළි අත්පත් කර ගැනීම සඳහායි. එහි අධ්‍යක්ෂ තනතුර භාරගන්නා ලෙස මගෙන් ඉල්ලීමක් කළා. එවකට මම පුනරුත්ථාපන අධිකාරියේ අධ්‍යක්ෂ ලෙස වැඩකරමින් හිටියේ. මෙම කාර්යයේ ජාතික වැදගත්කම සලකා මම එම තනතුර භාරගත්තා. එම වගකීම උපරිම හැකියාවෙන් නිවැරදිව ඉටු කළා.
ඔබට එම තනතුර භාරගන්න ආරාධනා කළේ කවුද?
අග්‍රාමාත්‍ය ලේකම්වරයාගෙන් නිල ඉල්ලීමක් අමාත්‍යාංශ ලේකම් හරහා ආවා.
නමුත් ඔබව නම යෝජනා කළේ වත්මන් ජනාධිපති අනුර දිසානායක බවත්, ඔබ හා ඔහු සමීප මිතුරන් බවටත් මතයක් තිබෙනවා. එපමණක් නොවෙයි, ජනතා විමුක්ති පෙරමුණ, රනිල් වික්‍රමසිංහ එවකට අගමැතිව සිටියදි යටින් ගනුදෙනුවක් තිබෙන බවට චෝදනා එල්ල වුණා. ඔවුන්ට රතු අලි බවට ලේබල් වැදුණා. මෙය සිදු වූයේ කොහොමද?
ජනාධිපති අනුර දිසානායක මහතාත් මාත් අතර සබඳතාව වන්නේ ඔහු කෘෂිකාර්මික අමාත්‍ය ධුරය දැරූ 2004-2005 අතර කෙටි කාලය තුළ මම ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කිරීමයි. ඔහු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ පසුව මම නැවතත් පුනරුත්ථාපන අධිකාරියේ සේවයට ගියා.
අනුර දිසානායක ජනාධිපති වූ පසුවත් යළි ඔබව ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස පත් කරනවා. ඒ අනුව ඉහත චෝදනාවට යම් පදනමක් තියෙනවා නේද?
අනුර දිසානායක මහතා 2015 ජනාධිපතිවරණයෙන් පසුව දින 100 වැඩසටහනට සමගාමීව පත්කළ ජාතික විධායක සභාවට සම්බන්ධ වුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රජාතාන්ත්‍රික සංශෝධන සහ වංචා දූෂණ විමර්ශන වැනි කටයුතු පිළිබඳ සාකච්ඡා මෙම සභාවේදී සිදු වුණා. දූෂණ කමිටු ලේකම් කාර්යාලය පිළිබඳ යෝජනාව එන්නේ එම සභාවෙන්. නමුත් එය විධිමත් ලෙස කැබිනට් අනුමැතිය ලබාගෙන ස්ථාපනය කරනවා. රතු අලි අැතුළු මෙම දේශපාලන අවලාදවලට හේතුව වන්නේ මෙයයි. නමුත් අනුර දිසානායක මහතා මෙම ක්‍රියාවලියට කිසිදු සම්බන්ධයක් තිබුණෙ නැහැ. අගමැති ලේකම්වරයා යටතේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය ස්වාධීනවයි කටයුතු කළේ.
නමුත් මෙම කමිටු ලේකම් කාර්යාලය සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීති විරෝධී බවත්, එම ආයතන විරුද්ධ දේශපාලන මත දරන්නන් දඩයම් කළ බවත් චෝදනා එල්ල වුණා නේද?
ඔව්. එවැනි චෝදනා එල්ල වුණා. නමුත් එවැනි චෝදනා එල්ල කළේ එම මූල්‍ය අපරාධවලට සම්බන්ධ පාර්ශ්ව විසින්මයි. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව මේ පිළිබඳව විමර්ශනයට ජනාධිපති කොමිසමක් පත් කළා. එම කොමිසම ඉතාම අසාධාරණ හා පක්ෂග්‍රාහී ලෙස මෙම වංචා දූෂණවලට එරෙහිව වැඩ කළ නිලධාරීන්ට එරෙහිව කටයුතු කළා. මට එරෙහිවත් චෝදනා ගොනු කළා. කොමිසම වෙත බොහෝ වාර ගාණක් කැඳවමින් සැබැවින්ම මූල්‍ය අපරාධකරුවන් ලෙස චෝදනා ලැබූවන් ඉදිරියේ අපිව දැඩි අපහසුතාවට ලක් කළා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය අප ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලා එම කොමිසම නීති විරෝධී බවට නිගමනය කර අපිව නිදොස් කළා. ඒ අනුව අප ඉතා විධිමත්ව, නීත්‍යනුකූලව මෙම කටයුතු සිදු කළ බව තහවුරු වෙනවා.
නමුත් ඔබ චෝදනා කරන සහ දූෂණ මර්දන කමිටු කාර්යාලය මඟින් පැමිණිලි භාරගෙන අධිකරණයට ගිය නඩු බොහොමයක් ප්‍රතික්ෂේප වුණා. නැත්නම් වගඋත්තරකරුවන් නිදොස් කොට නිදහස් වුණාද?
ඔව්. එවැනි දේ සිදු වුණා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එවකට අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට මෙම කාර්යාලය හිසරදයක් වුණා. මොකද 2015 යහපාලන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ වංචා දූෂණ චෝදනා ද අප කාර්යාලයට ලැබෙන්න පටන් ගත්තා. අපි ඒ පිළිබඳවත් අධ්‍යයනය කර විමර්ශනය සඳහා අදාළ ආයතනවලට යොමු කළා. මහබැංකු බැඳුම්කර වංචාවට අදාළව මුලින්ම ක්‍රියාමාර්ග ගත්තෙත් අපේ කාර්යාලයෙන්. එවකට ජනාධිපති සහ අගමැති දූෂණයට වංචාවට එරෙහි ක්‍රියාමාර්ග ගැනීම අත්හැරියට පස්සේ කාර්යාලය වසා දැම්මා. විමර්ශන අවසන් කරපු සහ විමර්ශන කරමින් සිටි ලිපි ගොනු වසාදමා ඇති බවත් විවිධ තාක්ෂණික දෝෂ පෙන්වමින් නඩු ඉවත් කර ගත් බවත් මාධ්‍ය වාර්තා කළා.
දැන් තිබෙන්නේ ඔබේ පක්ෂය නියෝජනය කරන ආණ්ඩුවක්. මෙම ලිපිගොනුවලට මොකද වෙන්නේ?
විමර්ශන යළි අරඹනවා. වැරදිකරුවන් සොයා නීතිය හමුවට පමුණුවනවා. සොරාගත් සහ කොල්ලකෑ ජනතා ධනය නැවත පවරා ගන්නවා. ඒ බවට අපි සහතික කරනවා. දැනටමත් එම වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. මහමැතිවරණයෙන් පසුව වේගයෙන් එම කටයුතු සිදු කරනවා.
ඔබට එළැඹෙන මහමැතිවරණයෙන් පසුව පිහිටුවන ආණ්ඩුවෙ පොලිසිය භාර ඇමැතිවරයා වෙන්න පුළුවන් නේද?
අපි තනතුරු, ඇමැතිකම් බෙදාගෙන හෝ ඒ පිළිබඳව කතා කරලවත් නෑ. තනතුරු අදාළ නැහැ. අපිට සාමූහික වගකීමක් තියනවා. අපි කණ්ඩායමක් ලෙස පැවරෙන ඕනෑම වගකීමක් ඉටු කරනවා. වංචා දූෂණ පිළිබඳව මෙන්ම අන් ඕනෑම ක්ෂේත්‍රයක අපි ජනතාවට ලබාදුන් පොරොන්දු ඒ ආකාරයටම ඉටු කරනවා. එය රජය ලෙස අපේ සාමූහික වගකීම. ඇමැති කවුද කියන එක අදාළ නැහැ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ වත්මන් දේශපාලන තත්ත්වය කෙසේද?
ජාතික ජන බලවේගය ඉතා ශක්තිමත් තැනක ඉන්නවා. අපි ඉතා සැලසුම්සහගත සහ සක්‍රිය මැතිවරණ ව්‍යාපාරයක් ගෙනයනවා. ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල විශ්ලේෂණය කරමින් අපි දුර්වල ප්‍රදේශ හඳුනාගෙන වැඩි බර යොදා වැඩකරන අතරම විවිධ ක්ෂේත්‍රවල සංවිධාන හරහා මැතිවරණ ව්‍යාපාරය ගෙන යනවා. ඉතා හොඳ ප්‍රබල කණ්ඩායමක් මැතිවරණයට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව මෙවර මැතිවරණයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ප්‍රබල නියෝජනයක් පාර්ලිමේන්තුවට යැවීමට අපට හැකි වේවි. ඒ වගේම විපක්ෂයේ සියලු කණ්ඩායම් අතිශය දුර්වල මට්ටමකයි ඉන්නේ. ඔවුන් බෙදිල වෙන්වෙලා එකිනෙකාට එරෙහිව දේශපාලනය කරනවා. එම තත්ත්වය නිසා දේශපාලන උණුසුම තරමක් අඩුයි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආසන 14ක් තියෙනවා. මම නියෝජනය කරන ගල්ගමුව ආසනයත් ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික්කයට මායිම් වන ආසනවල වනඅලි තර්ජනය නිසා ජනතාව පීඩාවට පත්වෙලා ඉන්නේ.
දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් 80%- 85% පමණ කෘෂිකර්මාන්තය මත යැපෙනවා. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පවතින බිඳ වැටීම් නිසා ඔවුන්ගේ ආර්ථික, සමාජ ජීවිතවල දියුණුවක් නෑ. මහජන නියෝජිතයෝ ලෙස ඉදිරි පාර්ලිමේන්තුවේ දී ඔවුන්ගේ ජීවිත නඟාසිටුවීම තමයි අපේ වගකීම. අපි එය ඉටුකරන බවට පොරොන්දු වෙනවා. වනඅලි ගැටලුව ඉතා ඉක්මනින් විසඳීමට අපි බලාපොරොත්තු වෙනවා.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඔබ පක්ෂයෙන් කීදෙනෙක් පාර්ලිමේන්තුවට යැවීමට හැකිවේද?
නියෝජිතයන් 15 දෙනකු මෙම දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට යවනවා. ජාතික ජනබලවේගයට ඉන් 12 ක් දිනාගැනීමට හැකි බවට අපිට විශ්වාසයක් තියෙනවා.
තුසිත තිලකරත්න