හදිසියේම මැදින් එකතු කරන චරිත නිසා සමහර වෙලාවට අපහසුතාවට පත්වෙනවා. එතනදි අපට හදිසි තීරණ ගන්න වෙනවා
– මලීෂා උඩුවර
චරිතයට අවශ්‍ය දේ කරගන්න තරමට මට බටනළාවේ ස්වර හත ගැන පොඩි අවබෝධයක් තිබුණා
– රෙබෙකා දිල්රුක්ෂි
අපි ඔවුන් එක්ක ගනුදෙනු කරද්දි ගොඩක්ම ආචාරශීලී වෙන්න ඕන
– දිනේෂ් කබ්රාල්
ටෙලි තිරය පිටුපස සිද්ධ වෙන දේ දැනගන්න දැකගන්න බොහෝ දෙනෙක් කැමැතියි. ඒ නිසාමයි අපි ඔබ සමඟ ඒ අත්දැකීම් බෙදා ගන්න හිතුවේ. හිරු නාළිකාවේ ප. ව. 6.30ට විකාශය වන ‘අහස්‘ ටෙලි නාට්‍යය ගැන මේ දිනවල බොහෝ දෙනෙක් කතාබහ කරන නිසාම අපි ඒ ගැන සොයා බලන්නට සිතුවා. අපි මේ යන්නේ අහස් ටෙලි නිර්මාණයේ රූගත කිරීම් කෙරෙන පසුතලය සොයා ගෙන.
අහස් ටෙලි නිර්මාණය කපිල සුගත්ගේ අධ්‍යක්ෂණයක්. ජනප්‍රිය රංගන ශිල්පී මේනක රාජපක්ෂගේ නිෂ්පාදනයක්. මාලඹේ හරහා කොරතොට බලා යන්න පිටත් වුණු අප ඡායාරූප ශිල්පී දුෂ්මන්ත පෙන්වූ කෙටි පාරක් ඔස්සේ හිතුවාටත් වඩා ඉක්මනින් ‘ලොකේෂන්‘ එකට ළඟා වුණා. අපි යනවිටත් ඔවුන් තේ පානය කරමින් සිටියත් හරිම සුහදශීලීව අප පිළිගන්න අමතක කළේ නැහැ. ඒ අතරේ ක්ෂණිකව ක්‍රියාත්මක වුණු දුෂ්මන්ත නිදහසේ කතාබහ කරමින් තේ පානය කරන පිරිස කැමරාවට හසුකරගන්න යුහුසුලු වුණා.
රංගන ශිල්පීන්, කැමරා ශිල්පීන් ඔවුන්ගේ සහායකයන් පමණක් නොව අධ්යක්ෂ, සහාය අධ්යක්ෂ පවා මේ ලද විවේකය උපරිමයෙන් භුක්ති විඳින බව අපට වැටහුණේ ඔවුන්ගේ විහිළු තහළු අතරින් ඇහෙන උස් සිනා හඬින්. ඒත් එක්කම කණ්ඩායමට සත්කාරක සේවාව සපයන දිනේෂ් අප වෙත ආවේ බිස්කට් සමඟ තේ බඳුන් කිහිපයක් අතැතිවය.
පාන්දරම ගෙවල්වලින් පිටත් වෙන ඔවුන්ගේ දෛනික දින චර්යාව හරිම කාර්යබහුල බව අමුතුවෙන් කිවයුතු නොවේ. ලැබෙන මෙවන් විවේකයක් ඔවුන්ට රස සාගරයක් වගේ. එක් තරුණයෙක් ඉතිරි බිස්කට් කෑල්ල තවත් තරුණයෙක්ගේ බෑග් එකට දාන්න ගත්ත උත්සාහය කාටත් විනෝදයක් වුණා. ඒ ලැබුණු විනාඩි ගාණ ඔවුන් ගත කළේ හරිම විනෝදයෙන්. අධ්‍යක්ෂකට, කැමරා ශිල්පීන්ට සහාය ලබා දෙන තරුණයින් හරියට කඩියන් සේ කාර්යක්ෂම වීමම මේ කාර්යයේ සාර්ථකත්වය බව හොඳින්ම පැහැදිලියි.
ඊළඟ දර්ශනය රූගත කිරීමට සූදානම්ව තිබුණේ සොලමන් නිවසේ එළිමහන් දර්ශනයක්. රාධා, රාජු සහ රවීශා නිවස ඉදිරිපස කොටසේ වාඩි වී සුහද කතාබහක ඉන්න අතරේ අහස් එතනට එන්නේ ඔවුන් සමඟ එළියට යන්න හිතාගෙන. කිහිප විටක්ම රෙඩී කැමරා රෙඩී, ඇක්ෂන්, කට් හමුවේ ඒ සීන් එක කිහිප වතාවක්ම සිදුකරන අයුරු අප බලා සිටියා. අධ්‍යක්ෂගේ “ඕකේ… කට්“ විධානයත් සමඟම සහාය අධ්යක්ෂ තිරපිටපතත් උස්සන් දුවන්නේ ඊළඟ සීන් එකට දෙබස් මතක් කරන්න. සීන් එකෙන් සීන් එකට සහාය අධ්‍යක්ෂවරුන්ගේ දෙබස් මතක කිරීම වගේම සීන් එකට පෙර සයිලන්ස් ප්ලීස් විධානය ටික වෙලාවක් යද්දී අපටත් සාමාන්‍ය දෙයක් බවට පත්වුණා. ලියවිලා තියෙන හැම වචනයක් වගේම හැම ඇක්ෂන් එකක්ම රංගන ශිල්පීන්ට නැවත මතක් කිරීම ඔවුන්ගේ රාජකාරියේම කොටසක් යැයි සිතුණේ එය නිරතුරුවම සිදුවන්නක් වීම නිසායි.
ඊළඟ සීන් එකට සූදානම් වන අතරේ ආලෝක තත්ත්වයේ අඩුවීමක් සිදු වූ බව කියවුණේ අධ්යක්ෂවරයාගෙන්. ඒ සඳහා ඔවුන් පුංචි පුංචි ක්‍රමවේද අනුගමනය කරන අයුරුත් අපට අලුත් අත්දැකීමක් වුණා. ආලෝකය වැඩි වූ විට බෝඩ් එකක් ආධාරයෙන් ආලෝකය එන දිසාව කවර් කරන අයුරුත් දකින්න ලැබුණා. නැවතත් දැන් ඊළඟ සීන් එකට සූදානම්.
රාධා, රාජු, රවීශා, අහස් අතරට ගුඩ් මෝනිං කියාගෙන එන්නේ හර්ෂ. ඔහු එන්නට ඉක්මන් වූවා වැඩි යැයි අපට වැටහුණේ අධ්යක්ෂවරයාගෙන් ඔහුට ලැබුණු උපදෙසක් හේතුවෙන්. සොරි යැයි හර්ෂගෙන් සමාව අයැදීමක්. නැවත සීන් එකට සූදානම්.
ගේ ඇතුළේ සද්ද කරන්න එපා ඒ සහාය අධ්‍යක්ෂගේ විධානයක්. ස්ටෑන්ඩ් බයි. කැමරා රෙඩී එක පෙළට විධානයන්. දැන් නම් හරිම නිහඬයි. ඕඩියෝ ශිල්පියාගෙන් සීන් එකේ අංකය කියවුණා. අධ්යක්ෂගෙන් රෙඩී රිහසල් විධානය එක්කම ඇක්ෂන් විධානයත් ලැබුණා.
රවීශා සහ හර්ෂ අතර වචන හුවමාරුවක්. ‘මෙයත් අපිත් එකක් යනවද‘ රවීශා වෙත ඒ ප්රශ්නය අහස්ගෙන්. වචන කිහිපයක සංවාදයකින් අනතුරුව වාහනයක් එන දෙසට සියල්ලෝම ඇවිද යෑමත් සමඟින් අධ්‍යක්ෂකගේ කට් විධානයෙන් පසුව සීන් එක අවසන් බව තහවුරු වුණා. ඉන් පසුව තිබුණේ රාධාගේ මව සහ පියා අතර කතාබහක්. එය දුෂ්මන්ත කැමරාවට හසුකරගන්තා නිවසේ ඇතුළත වාඩි වී සිටින සොලමන් නිවසේ සීයා, කේතකී, අහස් පුංචි පිළිසඳරක යෙදෙන අතරට අපටත් එයට එක්වෙන්න අවස්ථාව ලැබුණා.
මේ නිවස කොතරම් නිස්කලංක දැයි සිතන්නට වෙන කාරණා කුමටද? එළියේ සිදුවන රූගත කිරීමට කිසිවකුගේ ශබ්දයකින්වත් බාධාවක් නොවේ. උඩ තට්ටුවට යන පඩි පෙළ ආකර්ෂණීය අත්වැලකින් නිමවී තිබුණා. එතැන් සිට බැලූ විට තවත් ඉහළට පඩි පෙළ දිගු බවත් පැහැදිලියි. මේ නිවස කාගෙද මං ඇහුවේ දෙවැනි සහාය අධ්යක්ෂ විශ්වගෙන්. ඔහු මට නිවසේ හිමිකාරිය ඉන්න ඉසව්ව පෙන්නුවා.
ඇය දීපිකා වික්‍රමරත්න. ‘කොරතොට ෂූටින් ලොකේෂන්‘ නමින් ජනප්‍රිය වී ඇති මෙම නිවස වසර 4ක සිටම නිර්මාණ සඳහා ලබාදෙන බව පැවසූ ඇය මේ වන විටත් ටෙලි නිර්මාණ විස්සක් පමණ රූගත කර ඇති බවත් පැවසුවා. මේ දිනවල ප්‍රධාන වශයෙන් අහස් නාට්‍යයට ලබාදී ඇති බවත් ඇය අප හා පැවසුවා.
ඇයගෙන් සමුගෙන එන අතරමඟ හමුවුණු සත්කාරක සේවයේ යෙදෙන දිනේෂ් කබ්රාල් පළ කළේ මෙවන් අදහසක්.
“මං මෙතන කරන්නේ සත්කාරක සේවයක්. කෑම බීම විතරක් නෙවෙයි හැම පහසුකමක්ම දෙනවා. දැනට නම් කිසිම ගැටලුවක් ඇති වෙලා නෑ. අපි එයාලට හොඳ සත්කාරයක් දෙනව නම් එයාලගෙනුත් අපට හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. විශේෂම දේ තමයි අපි ඔවුන් එක්ක ගනුදෙනු කරද්දි ගොඩක්ම ආචාරශීලී වෙන්න ඕන.“
ක්ෂණිකවම මගේ අවධානය යොමු වුණේ කඩියෙක් වගේ එහේ මෙහේ දුවන පුංචි කෙල්ල මලීෂා දිහාවට. හොයල බලද්දි ඇය තමයි අහස් ටෙලි නාට්‍යයට ඇඳුම් නිර්මාණය කරන්නේ.
“මුලින්ම මං සද්ධාමංගල සර්ගේ ඉම්පාස් ආයතනයට සම්බන්ධ වුණේ රංගනය ගැන හදාරන්න. ඒත් මේ වෙද්දි ඇඳුම් නිර්මාණය පැත්තට යොමුවෙලා. මුල ඉඳන්ම අහස් ප්‍රඩක්ෂන් එකේ හිටපු එකම කෙල්ල මම. දැනට නම් කිසිම අවුලක් වෙලා නෑ. හදිසියේම මැදින් එකතු කරන චරිත නිසා සමහර වෙලාවට අපහසුතාවට පත්වෙනවා. එතනදි අපට හදිසි තීරණ ගන්න වෙනවා.“
රාධා මෙහි ගොළු චරිතයකි. පාර අයිනේ බටනළා වාදනය කරමින් මුදල් උපයන ඇයට රාජු නමින් සොයුරෙක් ද සිටියි.
“චරිතයට අවශ්‍ය දේ කරගන්න තරමට මට බටනළාවේ ස්වර හත ගැන පොඩි අවබෝධයක් තිබුණා. මට අභියෝගය වුණේ සංඥා ක්‍රමයෙන් අදහස් ප්‍රකාශ කරන එක. ඒ ගැන මට අධ්‍යයනය කරන්න වුණා. මෙතැනදි ප්‍රේක්ෂකයාට ගැටලුවක් වුණේ රාධා ගොළු නම් කොහොමද ඇහෙන්නෙ කියන එක. ඒකට හේතුවක් තිබුණා. ඇය උපතින්ම ගොළු දරුවෙක් නෙවෙයි. ඒ හේතුව නිසා මෙතැනදි සම්පූර්ණයෙන්ම සංඥා භාවිත කරන්නත් බෑ. ඒක තමයි අභියෝගයක් වුණේ.“
රාජුගේ චරිතයට පණ පොවන සන්දීප් ද මේනක රාජපක්ෂගේ ගුග්ලි නාට්‍යයට සම්බන්ධව සිට අහස් සඳහා ආරාධනා ලැබූවෙකි.
සියල්ල මෙසේ සිදුවෙද්දී වේශ නිරූපණ ස්ථානය සොයාගන්නට අපට හැකි විය.
එය පුංචි කාමරයක් වුවත් ඒ තුළ කටයුතු කිහිපයක්ම සිදුවන බව පැහැදිලි විය. වේශ නිරූපණ ශිල්පී අසංක රාධාට (රෙබෙකා) මේක්අප් දමමින් සිටින අතරේ රාධා තිර පිටපත කියවමින් සිටියාය. ඔවුන්ගේ අවසරයෙන් එහි ඇතුළු වනවාත් එක්කම දුෂ්මන්ත ද වහ වහා එහි සිදුවන දෑ කැමරාවට හසු කර ගැනීමට තරම් සූක්ෂ්ම වුණා. ඇඳුමක් මදිමින් සිටින මලීෂාට ද කැමරා කාචයෙන් සැඟවෙන්නට නොහැකි විය.
රාධා සහ අහස් පන්සල් යෑමට සැරසී එළියට එන දර්ශනයක් රූගත කිරීමෙන් අනතුරුව වැලිහිඳ බෝධිය අසල රබර් යායේ රූගත කිරීමකට සම්බන්ධ වීමටත් අපට අවස්ථාව ලැබුණා. රාධා සහ අහස් කතාබහ කරමින් රබර් යායේ ඇවිදින දසුන් දුෂ්මන්තගේ කැමරා කාචයට හසුවුණේ ලස්සන ආදර කතාවක සිත්තම් පෙළක් මවාපාමින්. ඔවුන් ඇවිද යන මඟ සකස් කර දෙන්නට වෙහෙසෙන අහස් කණ්ඩායමේ සහායකයින් කැලෑව පොඩි කරමින් මේ වෙහෙසෙන්නේ නිර්මාණයට තාත්වික බව ගෙන දෙන්නට නොවේදැයි සිතුණි.
කැලෑ මඟේ ඇවිද ආ රාධා සහ අහස් ගසක් අසල නතර වන්නේ බටනළා වාදනයට සූදානමිනි. එහි රූගත කිරීමෙන් අනතුරුව නැවතත් ලොකේෂන් එක වෙත ආ අප සඳහා දිවා ආහාරය පිළියෙළ කොට තිබිණි. ආහාර ගැනීමෙන් අනතුරුව මෙහි කුසුම්ගේ භූමිකාව රඟන අංජලී ලියනගේ ගෙනැවිත් තිබූ අග්ගලාවලද රස බලන්නට ලැබිණි. ලස්සන දවසක නිමාව සටහන් කරමින් අපි රහස් කණ්ඩායමෙන් සමු ගතිමු.
අහස් ටෙලි නාට්‍ය කණ්ඩායම
අධ්යක්ෂ – කපිල සුගත්
නිෂ්පාදක – මේනක රාජපක්ෂ
තිර පිටපත් රචක – ගයාන් හෙට්ටිආරච්චි
කැමරා අධ්යක්ෂ – කපිල සුගත්
සහාය අධ්යක්ෂවරු – නුවන් කස්තුරිආරච්චි, විශ්ව ප්රබුද්ධ, තරිඳු ආරච්චිගේ, චලිඳු තීක්ෂණ
කලා අධ්‍යක්ෂණය- සරත්චන්ද්‍ර ජයවීර
නිෂ්පාදන කළමනාකරණය – ගයාන් දේශප්‍රිය, යසංක බෙලිහුල්ඔය
ඇඳුම් නිර්මාණය -මලීෂා උඩුවර
වේශ නිරූපණය – අසංක කොළඹගේ
සංස්කරණය – මධුර ප්‍රභාත්
රංගන ශිල්පීන් – රොෂාන් රණවන, මාධනී මල්වත්ත, කිංස්ලි ලෝස්, රෙබෙකා දිල්රුක්ෂි, සඳනි ප්‍රනාන්දු, අංජලී ලියනගේ, මනීෂා චංචලා, නයනා හෙට්ටිආරච්චි, දයාසිරි හෙට්ටිආරච්චි, පහන් සංදීප් ඇතුළු ජනප්‍රිය ශිල්පීන් රැසක්.
නාමලී ගමගේ ඡායාරූප - දුෂ්මන්ත මයාදුන්න