සිනමාවේ එක් අවියෝජනීය චරිතයක් වන විරුවා ලොව සෑම සිනමා කලාපයකදීම පාහේ හඳුනා ගන්නට පුළුවන්. ඇතැම් විරුවකු සිනමා තිරය කරා පැමිණෙන්නේ අතීතයේ සිටයි. වත්මන් විරුවා හා අනන්‍ය වීම බොහෝ රසිකයනට අසීරු වන්නේ නැහැ. කල්පිත අනාගතයක සිට පැමිණෙන විරුවන්ද සිනමා තිරය කලඹන අවස්ථා බහුලව හමුවනවා.
සිරිලක සිනමාවද පෙර දා පටන්ම විරුවන් නිපැයුමට දක්වන්නේ අති මහත් උනන්දුවක්. ආපසු හැරී බලන විට දත හැක්කේ සිරිලක සිනමාවේ පැවැත්ම හා ජනගත වීමේ නැඹුරුව කෙරෙහි මෙම විරු චරිත සාධනීය අන්දමින් බලපා තිබෙන බවයි.
සිනමා රසික සමාජය සිනමා විරුවකු හඳුනා ගන්නේ සටනෙහි ශූර, තරුණ හා ජවසම්පන්න අයකු වශයෙන්. ඔහු සුන්දර යුවතියකට සටන් විරාමයකදී හෝ පෙම් කරනු දැකීමද සිනමා රසික සමාජය අපේක්ෂා කරන්නක්. කෙසේ නමුත් අවසනදී නපුර පරදවා යහපත ජය ගනු පිණිස විරුවා දක්වන කැපවීම සමඟයි බොහෝ සිනමා රසිකයන් රැඳී සිටින්නේ. සිරිලක සිනමා තිරයට පැමිණි අලුත්ම විරුවා වන දිනෙත් ද සිල්වා උක්ත කරුණු සියල්ලම පාහේ හසු කර ගැනීමේ වෑයමක නිරත වන වග හොඳින්ම පැහැදිලි වන්නේ මේ දිනවල තිරගත කෙරෙන ‘ශ්‍රී සිද්ධා’ සිනමාපටයෙන්. සරත් වීරසේකර නිර්මාණය කළ ‘ශ්‍රී සිද්ධා’ට පසුබිම් වන්නේ ඉන්දියානු චෝල බලපෑමෙන් සිරිලක මුදවා ගනු පිණිස කටයුතු කළ පළමුවැනි විජයබාහු රජුගේ දිවි සැරියයි. දිනෙත්, විජයබාහු රජුගේ තරුණ විය නිරූපණය කරන්නේ අතීත විරුවා පිළිබඳ සිරිලක ජන මනස හා සමගාමීවය.
සිනමාපටය පුරාම සටන් ජවනිකා බහුලව නිරූපණය කරනවා. ගැටවර කිත්ති කුමරු (පසුව පළමුවැනි විජයබාහු රජු) සුරැකීමේ වගකීම කරට ගන්නේ බුදල්නා නමැති සටනෙහි ශූර තරුණයෙක්. ඔහු චෝල ආක්‍රමණික භටයන් හා සටන් වදින අයුරු කිත්ති කුමරු බලා සිටින්නේ විමසිල්ලෙන්. තරුණ කිත්ති කුමරු තමා රැක ගත් බුදල්නා වෙතින් උගත් සටන් ක්‍රම භාවිතයෙන් සිරිලක එක්සේසත් කරන්නේ ප්‍රතිපක්ෂය හා මුහුණට මුහුණ සටන් වදිමින්. අතීත රණ ශූර නයුවන් මෙසේ යැයි සිය රසිකයනට මේ ඔස්සේ දිනෙත් පවසන්නේ පසුගිය සමයේ ලද සිනමා අත්දැකීම්ද මහෝපකාරී කර ගන්නා පසුබිමකය.
දිනෙත්ගේ සටනෙහි සමත්කම පළමු වරට දකින්නේ චත්‍ර වීරමන් අදියුරු වූ ‘ආලෝකා උදපාදී’ සිනමාපටයෙන්. මේ එහි පළමු පෙළ චරිතය නොවෙයි. එනමුදු පළමු පෙළ චරිතයට යම් අභියෝගයක් එල්ල වන අයුරින් සිනමා කැමරාව අබියස සටනෙහි නිරත වන්නට ඔහු සමත් වූවා. අනුකාරක ලකුණු බහුල සිනමාපට කිහිපයක ඔහු දැක්වූ සටනෙහි සමත්කම මෙතැනදී අමතක කරන්නට බැහැ. වෙසෙසින්ම හර්ෂ උඩකන්දගේ ‘ෆේස් ටු ෆේස්’හිදී ඔහු එයට පාදක වූ මුල් සිනමාපටයට සමීපව සටන් ජවනිකා පොහොසත් කළ බව කිව යුත්තක්. දිනෙත් සටනෙහි පමණක්ම සමත් අයකු නොවන බව පැවසූ අවස්ථාවක්ද මතකයට නැඟෙනවා. ඒ ක්‍රිශාන්ත මනම්පේරිගේ ‘හිතුමතේ ජීවිතේ’යි. සිය නැෙඟණිය අපහරණය කොට මරා දැමූ පාපතරයන් වෙතින් කුරිරු ලෙස පළිගන්නා අයකු ලෙස ඔහු කළ රූපණය ඔහුගේ අනාගත රූපණ සමත්කම් පිළිබඳ යම් අදහසක් ජනිත කළ බවයි හැඟෙන්නේ.
නිපැයුම නිමවී සෑහෙන කාලයකට පසුව ප්‍රදර්ශිත අශෝක අතාවුදහෙට්ටිගේ ‘කන්දක් සේ මා’ හි එන දිනෙත්ගේ කෙටි රූපණය විද්වත් සිනමා රසිකයාද සසල කළා. පළමු චරිතයට පණ දුන් නිරෝෂා පෙරේරාගේ පෙම්බරයා සේ ගීතමය ස්වප්න ජවනිකාවකටයි දිනෙත් එක්ව සිටියේ. කලබලකාරී, සටන්කාමී ලකුණු කිසිවක් මෙතැනදී දිනෙත් වෙතින් පළ වූයේ නැහැ. සිනමාපටයේ සුළු චරිතයක් වුවද පළමු චරිතයේ ඇතුළාන්තය විසල්ව ගෙන හැර පෑමට දිනේත්ගේ රූපණය සමත් වූවා.
ශ්‍රී සිද්ධා’හිදී දිනෙත් සටන් ජවනිකා විෂයෙහිම විරුවකු වන්නේ නැහැ. රජ පදවිය ලද පසු සිරිලක දකුණු දිග සිට චෝල බලය පැරදවීමට විජයබාහු රජු කරන මූලික සැලසුම් වෙතින් පවා දිනෙත්ගේ විරු ලකුණු හඳුනා ගන්නට අපහසු නැහැ. චෝල බලය පැරදවීමට අදාළ උපායක් සේ දඹදිව චෝල විරෝධී දේශයක රජ පවුලේ ලීලාවතී කුමරිය සරණ පාවා ගැනීමේ තීන්දුව කරා එළඹීමේදීද දිනෙත් සිය විරු ලකුණු බැහැර නොකිරීම කැපී පෙනෙනවා. මේ වන විට විජයබාහු රජු ගැටවර වියේදී හමුවූ ගැමි දැරියක පිළිබඳ ආදර සිතක් පහළ කරගෙන හමාරයි. දැන් ඈ සුරූපී යුවතියක්. උදාරි වර්ණකුලසූරිය මෙම චරිතය රසිකයා වෙත රැගෙන එන්නේ එදවස හා නොබැඳෙන වෙස් ගැන්වීමකින්.
සැබවින්ම වසර දහසකට පමණ පෙර සිරිලක තතු විද්‍යමාන කිරීම පහසු නැහැ. දිනෙත් පවා විරු ලකුණු සනිටුහන් කරන්නේ ඇතැම් උපකල්පන සමඟ. සටන් ජවනිකා හා මිනිස් ඝාතන බහුලවීම නිසා මේ එදවසම දැයි යන පැනය නඟන්නට බොහෝ රසිකයන් උනන්දු නොවනු ඇති. විද්වත් රසික සමාජය නම් උත්සුක වනු ඇත්තේ සිනමාපටයේ දැක්ම විවරණයටයි. කෙසේ නමුත් සටන් ජවනිකා හා පුළුල් යුද ජවනිකා නිරූපණයේදී සිනමාකරු හා ඔහුගේ කණ්ඩායම දරන වෙහෙස පහසුවෙන් අවතක්සේරු කළ යුතු නැහැ. දිනෙත් සිනමාපටයේ දෙවන අඩ පුරා පතුරුවන බලය ඊට පිටිවහලක් වනවා.
මේ අනුව සිරිලක සිනමාවේ වරෙක දැකිය හැකි නිසරු සටන් ජවනිකා දුරලිය හැකි සමතකු සේ දිනෙත්ව මෙහෙයවීම සිනමාකරුවන් මත පැටවෙන වගකීමක් බවයි සඳහන් කළ යුත්තේ.
තුසිත ජයසුන්දර