– තුරුණු වියේදීම සැමියා අහිමි වුණා විතරක් නෙවෙයි පුංචි දරු පැටියෙක් එක්ක මං මේ ලෝකයේ තනි වුණා
– ප්‍රේම්ගේ අම්මා මට පුදුම කැමැත්තක් දැක්වූවා නමුත් ඔහු හා විවාහයට මගේ ගෙදර හැමෝම විරුද්ධ වුණා
– එයා දරුවෝ දෙන්නාටම ගොඩාක් ආදරය කළා සුරංගි වෙනුවෙන් ප්‍රේම් ලියූ ‘සුරංගීට දුක හිතුණා…’ ගීතයත් ඊට සාක්ෂි
– වෙන් වෙලා හිටියත් ප්‍රේමකීර්ති අපේ ගෙදර ආවා ගු වන්විදුලි වැඩසටහනට ඔහු යද්දී ගෙදරට ඇවිත් මාවත් එක්කගෙන ගියා
– ගුවන්විදුලි වැඩසටහන් එකට ඉදිරිපත් කරද්දී කිසි වෙලාවක අපි දෙන්නගේ පෞද්ගලික විරසකකම් ශ්‍රාවකයන්ට ඇඟෙව්වෙ නැහැ
“අකලට වට මහා වරුසාවක් සේ
අසුබ දිනක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ නොසිතු මොහොතක
ඇයි දෝ යළි ආවේ…..”
තමා හැර යද්දී වියොවින් වැළපෙන ගැහැනිය ඔහු යළි දවසක ඇය සොයා එද්දී ගැහැනු මනසක අභිමානය පාන අයුරු මේ ගීතයෙන් ඇය ජනිත කළා ය. පාසලෙන් නික්ම වැඩි කලක් යන්නට මත්තෙන් ආදරණීය බිරිඳක්ව ඉනික්බිති වයස අවුරුදු දෙකහමාරක කුළුඳුල් දරු පැටියා සමඟ මෙලොව හුදෙකලා වන්නී එතැන් පටන් අපමණ වූ දුක්ඛ දෝමනස්සයන් ළයට තුරුළු කර ගනිමින් ආදරය ද සැමියා ද අහිමි ව ජීවන අරගලයක යෙදෙන්නී ය. එසේ අසරණ වූ අවධියක සරණ වූ මිනිසාගෙන් ද අසීමිත දුක් පීඩා විඳින්නට වූයෙන් යුගයේ පටාචාරාව සේ දෑස් මත නොසිඳුණු කඳුළු වැල් ගී පදවැලක මුසු කර සුසංවේදී ජන හදවත් දයාවෙන් සනහාලූ ඇය දයා ද අල්විස් නම් වූවාය. සුප්‍රකට ගී පද රචිකාවියක, ගුවන්විදුලි නිවේදිකාවක, නිර්මාණවේදිනියක, පුවත්පත් තීරු ලිපි රචිකාවියක වන ඇය සිය හද දැරූ දුක්ඛ දෝමනස්සයන් ද අහිමි වූ ආදරණීය හැඟුමන් ද නිරතුරු ව ලේඛනයට මුසු කර ජනගත කර සැනසුනාය. අද අප ඒකාත්මික වන්නේ ඒ සංවේදී නිර්මාණවේදිනිය මෙන්ම දුක්ඛ දෝමනස්සයන් විඳ දරා ගනිමින් ජීවන අරගලය ජය ගත් යකඩ ගැහැනිය සමඟිනි.
“මගේ දුක් ආරම්භ වන්නේ මගේ පළමු සැමියා වූ සෝමපාල රණතුංගගේ අභාවයත් එක්කයි. ඔහු ජනතා පුවත්පතේ සංස්කාරකවරයා ලෙස කටයුතු කළා. මම පාසලෙන් නික්මිලා නොබෝ කලකින් ඔහු සමඟ විවාහ වුණා. අපි බොහෝ ම සතුටින්, ආදරයෙන් ජීවත් වුණා. අපි දෙන්නාගේ පුතා පුෂ්ප තරංග රණතුංගට යන්තම් වයස අවුරුදු දෙකහමාර වුණා විතරයි සෝමපාල වියෝ වුණා. මගේ තුරුණු වියේදීම සැමියා අහිමි වුණා විතරක් නෙවෙයි පුංචි දරු පැටියෙක් එක්ක මං මේ ලෝකයේ තනි වුණා. ඒ දරුවා ආදරයෙන් රැක බලා ගන්න එක මට විශාල ප්‍රශ්නයක් වුණා. අදටත් ඒ දරුවාව මම කොහොම හදා වඩා ගත්තා ද කියලා මටම පුදුමයි. ඊළඟට තරුණ ගැහැනියක්, සැමියා අහිමි, දරු පැටියකු ද සමඟ සමාජයේ ජීවත් වීම අපමණ පීඩාකාරී වුණා. නොයෙකුත් බලපෑම් වගේම කරදරත් ඇති වුණා. එහෙම ඉන්න අතරේ තමයි ගුවන්විදුලි සංස්ථාවේ රාජකාරි කරන අතරතුරදී ප්‍රේම කීර්ති ද අල්විස් සමඟ ඇසුරට යොමු වුණේ. ඔහු හා විවාහයට මගේ ගෙදර හැමෝම තදින්ම විරුද්ධ වුණා. ඒත් ප්‍රේම්ගේ අම්මා මට පුදුම කැමැත්තක් දැක්වූවා. මම දරුවෙක් එක්ක අනාථ වුණු ගැහැනියක්. ඒ විතරක් නෙවෙයි ප්‍රේම්ට වඩා මම වයසින් වැඩියි. එහෙම තිබියදීත් ප්‍රේම්ගේ අම්මා මට කැමති වුණා. විවාහයෙන් පසුවත් ඇයගේ ආදරය වෙනස් වුණේ නැහැ. ඒත් ප්‍රේම් වෙනස් වුණා. ප්‍රේම් මත්පැන් නොබී ඉන්න වෙලාවට හරිම හොඳ ආදරණීය සැමියෙක් වුණත් ඔහු මත් වුණාම හැසිරුණු විදිහ මට රිස්සුවේ නැහැ. අපි දෙන්නා අතර ආදරණීය මතක සිදුවීම් බොහෝමයක් තියෙනවා. ඒවා මට අදටත් මතකයි. ඒත් ඔහු සමඟ එකට ජීවත් වෙන්න මට පුළුවන්කමක් තිබුණේ නැහැ. සුරංගි ද අල්විස් දුව අපි දෙන්නාට ලැබුණා. නමුත් මම බලාපොරොත්තු වුණු ආදරය රැකවරණය විවාහයෙන් පසුව ඔහුගෙන් මට ලැබුණේ නැහැ. නිරතුරු ව අප දෙදෙනා අතර ගැටලු මතු වුණා. විරසකකම් අපමණයි. නමුත් අපි දෙන්නා ගුවන්විදුලි වැඩසටහන් එකට ඉදිරිපත් කරද්දී කිසි වෙලාවක අපි දෙන්නාගේ පෞද්ගලික විරසකකම් ශ්‍රාවකයින්ට දුන්නේ නැහැ. රිජ්වේ තිලකරත්න මහතා අපි දෙන්නාව නිතරම වැඩසටහන්වලට එකට යෙදෙව්වා. ඒ සුසංයෝගය හරි අපූරු බව අපි දෙන්නාට නිතර කිව්වා. අපි දෙන්නාගේ විවාහය රැක ගන්න එතුමා බොහෝ අවවාද කළා. නමුත් අපි දෙන්නා වෙන් වුණා. ඒත් කවදාවත් අපි දෙන්නා වැඩසටහන්වලදී විරසක බව අඟවලා නැහැ. වෙන් වෙලා හිටියත් ප්‍රේමකීර්ති අපේ ගෙදර ආවා. ගුවන්විදුලි වැඩසටහනට ඔහු යද්දී ගෙදරට ඇවිත් මාවත් එක්කගෙන ගියා. අපි වෙන් වෙද්දි සුරංගි දුවට අවුරුද්දක් විතර ඇති. ප්‍රේම් දුවට කවදාවත් මගේ අඩුපාඩු, වැරදි කිව්වේ නැහැ. මට ප්‍රේම් මොන විදිහට සැලකුවත් නොසැලකුවත් මමත් කවදාවත් ප්‍රේම්ගේ වැරදි අඩුපාඩු දරුවන්ට කියලා නැහැ. කලින් විවාහයේ මගේ දරුවා කියලා පුෂ්ප තරංග රණතුංග පුතාට කිසි දවසක වෙනස්කමක් කරලා නැහැ. ඇත්ත වශයෙන්ම ප්‍රේම් පුදුම විදිහට පුතාට ආදරය කළා. ඒ ආදරය නිසා ප්‍රේම් නිතර අපේ ගෙදර ආවා ගියා. අපි දෙන්නාගේ බැඳීමක් තිබුණා නම් ඒ පුතාට ඔහු දැක්වූ ආදරය නිසායි. ඔහු ඒ තරම්ම පුතාට ආදරය කළා. සුරංගිටත් එසේම ඔහු ආදරය කළා. සුරංගි දුවව ලස්සනට අන්දවගෙන අරගෙන යන්න ප්‍රේම් හරිම කැමැත්තක් දැක්වූවා. එහෙම එක්කගෙන ගියාම ප්‍රේම් සුරංගිව මුහුදු වෙරළට එක්කගෙන යනවා. ඒ ගිය වෙලාවට මං ආසයි කියලා සිප්පිකටු අහුලලා සුරංගි අතේ එවනවා. එයා දරුවෝ දෙන්නාටම ගොඩාක් ආදරය කළා. සුරංගි වෙනුවෙන් ප්‍රේම් ලියූ ‘සුරංගීට දුක හිතුණා…’ ගීතයත් ඊට සාක්ෂි සපයනවා. ප්‍රේම් මොන විදිහට වෙනස් වුණත් ප්‍රේම් ගැන මගේ හිතේ ලොකු ගෞරවයක්, බැඳීමක් තිබුණා. ඔහුත් මට ආදරය කළා. පස්සේ වෙනස් වුණා තමයි. ඔහුගේ වියෝවත් මට විශාල දුකක් වුණා. ඊට පස්සේ කාලෙක දුව සුරංගි විවාහ වුණු පුතත් අකාලයේ මිය ගියා. ඊට පස්සේ මගේ පුතා පුෂ්ප තරංගත් මිය ගියා. මේ වියෝග හතරම දරා ගනිමින් හිත ඇතුළේ කැකෑරෙන මහා දුකක් එක්ක මම ජීවිතය ගෙවනවා.”
පාසල් කාලයේ පටන් ගද්‍ය රචනා කිරීමට දක්ෂතා දැක්වූ නමුත් දයා ද අල්විස් ගීත රචනා කර නොතිබිණි. ඇය ඉංග්‍රීසි මාධ්‍යයෙන් කන්‍යාරාමයේ ඉගෙන ගත් තැනැත්තියකි. සිංහල රචනය ඇයට අහම්බයකි.
“ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගත්ත නිසා සිංහල භාවිතයක් අපට තිබුණේ නැහැ. සිංහල කතා කළොත් අපට දඬුවම් දුන්නා. ඒ නිසා බයට සිංහල කතා කළේම නැහැ. ඔහොම ඉන්න අතරේ සිංහල ගුරුතුමෙක් පාසලට ආවා. ඇය පැට්‍රීෂියා ප්‍රනාන්දු යි. පාසලේ කිසිම තැනක සිංහල පොතක්වත් තිබුණෙ නැති නිසා ඇය පොඩියට පුස්තකාලයක් හදලා සිංහල පොත් කියවන්න අපට ඉඩ සැලැස්සුවා. ඉතින් මට හරි ආස හිතුණා සිංහල පොත් කියවන්න. පන්තියේදී මං ලියන රචනා හොඳයි කියලා පැට්‍රීෂියා ගුරුතුමිය මගේ රචනා පන්තියටම ඇහෙන්න කියෙව්වා. ඒක මට ලොකු ශක්තියක් ගෙන දුන්නා. ඇය මට හැමතිස්සේම කිව්වේ මොනවා හරි ලියන්න කියලා. පත්තරවලට ලියන්න කිව්වා. ඒ කාලේ අපි ලියන දේවල් පත්තරවල පළ කර ගන්න එය ලේසි වුණේ නැහැ. මහා ප්‍රාඥයෝ තමයි පුවත්පත්වල ලිව්වේ. එහෙම ඉන්න අතරේ ජනතා පුවත්පත ආවා. ඒකේ හැම වර්ගයකම ලිපි තිබුණා. මම ඒකට කෙටි කතාවක් ලියලා යැව්වා. පළමු කෙටි කතාවම ඒකේ පළ වුණා. මට පුදුම සතුටක් දැණුනා. දිගටම මම ජනතා පත්තරේට ලිව්වා. ඒ කෙටි කතාවල තිබුණු අඩුපාඩු පෙන්වා දෙමින් ජනතා පුවත්පතේ කර්තෘව සිටි සෝමපාල රණතුංග මහතා මට ලිපි එව්වා. පසුව ඔහු කොළඹ සිට මහනුවර පැමිණි දවසක මාව හමු වෙලා, දෙමවුපිය අවසරය ඇතිව නොබෝ කලකින් අපි දෙන්නා විවාහ වුණා. ඔහු ඉතාම ආදරණීයයි. නමුත් ඔහුට මාත් එක්ක සතුටින් ජීවත් වෙන්න ඉඩ ලැබුණේ ඉතාම ටික කාලයයි. ඔහු සදහටම දෙනෙත් පියා ගත්තා. එතකොට අපේ පුතාට වයස අවුරුදු දෙකහමාරයි. ඒ වියෝව මගේ මුළු ජීවිතයම කඩා බිම දැම්මා. නමුත් මගේ පුතා කොහොම හරි හදා ගන්න ඕනේ කියන සිතුවිල්ල සහ ඕනෑකම නිසා මම එතැන් පටන් ආයෙමත් ටික ටික හිත හදාගෙන ජීවත් වෙන්න පටන් ගත්තා.”
පුංචි කාලේ සීයාගේ අතින් අල්ලා ගෙන මහනුවර අම්පිටිය සෙමිනේරිය තුළ ඇවිද යන්නට දයා දැක්වූයේ පුදුමාකාර කැමැත්තකි. නාවලපිටියේ විසූ සීයා මාසයකට වතාවක් පමණ දයා බැලීමට පැමිණි විට ඇයගෙන් විසුමක් නොවුණි.
“මම සීයා එක්ක ඇවිදින්න යනවා. ඒ ගමනේදී ගහකොළ මල් කුරුල්ලෝ දකිමින් මම පරිසරය අත්වින්දා. මහනුවර සෙමිනරිය ළඟ ඌරු කොටුවක් තිබුණා. ඒකේ විශාල ඌරෝ හිටියා. උන් කන්න කැමති තණකොළ ජාතියක් මට සීයා පෙන්නලා තියෙනවා. ඌරු කොටුවට යද්දි මම ඒ තණකොළ ගලවගෙන අරන් යනවා. සීයා මට හරියට කතන්දර කියා දුන්නා. මම ඒ කතා රස කර කර යාළුවන්ට කියා දුන්නා. කලාව, ආදරය, කරුණාව, දයාව මං ඉගෙන ගත්තේ මගේ සීයාගෙන්.”
කොතරම් පද ගැළපුවත් ගී පද රචනයක් ලියන්නට දයා ද අල්විස්ට බොහෝ පෙරැත්ත කරන්නට ගායන ශිල්පී මිල්ටන් පෙරේරා මහතාට සිදු විය.
“ගුවන්විදුලියේ වැඩ කරන කාලේ විවිධ ගායක ගායිකාවන් ගුවන්විදුලියට ආවා ගියා. ඒ කාලේ බොහෝ ගීත ලියවුණේ හින්දු තනුවලට අනුව යි. ඉතින් මිල්ටන් පෙරේරාගෙන් මට විසුමක් තිබුණේම නැහැ ආදර ගීතයක් ලියලා ඉල්ලනවා. දවසක් ඔහු බැරිම තැන කිව්වා මම නම් ආයි ඔයාගෙන් ගීත රචනා ඉල්ලන්නේ නැහැ කියලා. මට ඒ වෙලාවේ ගොඩාක් දුක හිතිණා. මම එදා රෑම ගිහින් ‘කඳුළු අතරට සිනහා රැලි වෙමි…” ගීතය ලිව්වා. මිල්ටන් ඒක එයාම තනුව දාලා ගායනා කළා. ඒ මගේ පළමුවැනි ගීතය යි.”
ඇය ලියූ ගී අතර මලක් නැති ගසක් වී…, ළා සඳ එළියේ…, සඳක් නම් බැසයන්න තිබුණා…, හිරුට අයිති බව…, ඈත් බව දැනීලා.., මගෙ පුතු හරි හපනා…, දෑස වසා ගමි.., පෙම් කළ වරදට… වැනි ගීත ගණනාවක් අප හදවත් ප්‍රකම්පනය කරවන්නට සමත් ගී පද රචනායි. එහෙත් ඇයගේ වැඩි කැමැත්ත ගද්‍යයෙන් යමක් ලිවීමට යි.
“ගද්‍යමය වශයෙන් මම යමක් ලියද්දී පුදුම විදිහට වචන ගලාගෙන එනවා. මම ගද්‍යයට ගොඩාක් කැමතියි. නමුත් ඉතින් ජනප්‍රිය වෙන්නේ ගීතයි. මම පොතක් ලියාගෙන යනවා. මගේ ජීවිතය ගැන පොත් ගොඩාක් ලියන්නත් කරුණු තියෙනවා. මට දැන් ඒ පොත ලියන්න පුදුම විවේකයකුත් තියෙනවා. මගේ පුතා මිය ගියත් පුතාගේ බිරිඳ සහ දරුවන් සමඟ මම නිදහසේ ජීවත් වෙනවා. එයාලා මගේ දුක සැප බලා ගන්නවා. මට තියෙන්නේ මේ පොත ලියාගන යන්නයි. ඒත් ඒ පොත ලියන්න ගත්ත දවසේ ඉඳලා බාධක එනවා. දැනුත් මම පොඩ්ඩක් අසනීප වෙලා ඉන්නේ. ඒ මොනවා වුණත් මේ පොත ලියන්න මට ආසයි. මගේ දෑස් පියවෙන්න කලින් මට මං ගැන පොතක් ලියන්න ඕනේ. මගේ බලාපොරොත්තුව එයයි.” ඇය කීවාය.