තාම එතැනම ඉන්නවා
ඈතින්ම වගෙ පේනවා
රෑට ඉඳහිට පාට තැවරුණු
හාදු හීනෙන් දැනෙනවා
නැවතිලත් හිත දුවනවා
නුඹ තාම එතැනම ඉන්නවා….
නීල අහසම හූරලා
මලානික තරු වැටෙනවා
බලා අහසත් නොදැක්කා සේ
ඔහේ පාඩුවේ ඉන්නවා…
මතක අතු ඉති සෙලවිලා
හිතට මහ වැසි වැටෙනවා
තෙමී නොතෙමී නොදැනුනා සේ
කොහේ හෝ යළි බැඳෙනවා…
ගායනය – සූනීර සුමංග
සංගීතය – දර්ශන රුවන් දිසානායක
පද රචනය – ලිලන්ත සමරසිංහ
තනිකඩව ගෙවුණු ජීවිතයට කෙනෙක් එක් වන්නේ නොසිතූ නොපැතු වේලාවක. එහෙම එක්වෙන ඒ ආදරය සමඟ ජීවිත කාලයම රැදෙන්නයි කාගෙත් බලාපොරොත්තුව. ඔබත් මාත් එහෙම හිතුවට ගැළපෙන නොගැළපෙන දේවල් එක්ක බොහෝ දෙනෙකුගේ ජීවිත පැටලෙනවා. එහෙම පැටලුණාට පස්සේ තවත් දුර ඇදගෙන යන්න බෑ කියලා හිතුණම දෙන්නා දෙපැත්තකට වෙන එක තමයි කරන්නේ. ඒත් එහෙම දෙපැත්තකට වුණා කියලා ඔවුන් අතර අතීතයේ තිබුණ ඒ ප්‍රේමයෙන් ගැලවෙන්න හැම කෙනෙකුටම පුළුවන්කමක් නැහැ. එ නිසා කොයිතරම් තමන් නිදහස්, දැන් ඉන්නේ සැහැල්ලුවෙන් කියලා කිව්වත් ඒ හිත් ජීවිතය විඳවනවා. ඒ විඳවිල්ලට, ඒ වේදනාවට හිතක් රිදවන්න නෙමෙයි හිතක් හදන්න පුළුවන්. තවත් හිතක් කොහේ හෝ ඇති කියලා හිතෙන අවස්ථාත් නැතුවාම නොවේ. ඒ කොහොම වුණත් අද දවසේදී හුදකලා ජීවිතයක් ගෙවන ඔහු අතීතය සිහිකරන්නේ ඒ අතීතය මත වැටී ඇති කඳුළු පිසදාලා.
ජීවිතයේ කඳුළින් වැසී ගිය අතීතයට යටින් ඇති ඒ සුන්දර යුගය හරි මිහිරියි කියලා පෙම්වතියට පෙම්වතෙකුට යළි යළිත් සිතෙනවා නම් ඔවුන් ඔවුන් විසින්ම ජීවිතය කොතැනකදී හෝ වරද්දාගෙන ඇතැයි සිතේ.
අපි විවාහ වුණේ අපේ ඕනකමට. ඇය මට හමුවුණේ අහම්බෙන්. ඒ සුන්දර යුගයේ ඇය තරම් ලස්සන, ඇය තරම් කාරුණික, හැම විටෙකම මගෙ හිත හදන ගැහැනියක් මට කවමදාවත් හමුවෙලා තිබුණේ නෑ. අපි හැන්දෑවට හමුවෙනවා. වරු ගණන් වාඩිවෙලා කතාබහ කරනවා. ඇගේ කතාවේ නිමක් නැහැ. කලාව, ආදරය, ජීවිතය ගැන වගේම මේ විශ්වය ගැනම කතා කරන්න ඇයට ලස්සන ලස්සන මාතෘකා මැවෙනවා. ඒ හැම කතාවක් දිහාම බලාගෙන මම ඇයව විඳිනවා. ඇගේ රවුම් ඇස් හිනාවෙනවා. ඒ ඇස් දිහා බලාගෙන මට මුළුලෝකෙම අමතක කරන්න පුළුවන්. ජීවිතයේ එහෙම කාලයක් ගෙවා දමපු අපි දෙන්නා එක වහලක් යටට වුණේ පවුල් දෙකේම අය නිතර නිතර අපිව ප්‍රශ්න කරන්න ගත්ත නිසා.
“ඇයි ළමයිනේ විවාහ වෙන්නැත්තේ ?“
මගේ මවත්, ඇගේ මවත් නිතරම ඇහුවේ එකම ප්‍රශ්නෙ. අන්තිමට අපි දෙන්නා විවාහ වුණා. ඒක හරි ලස්සන මංගල උත්සවයක්. අපේ ආදරේ එක්ක අපි දෙන්නා ලස්සනම ලස්සන ලෝකයකට ගියා වගේ මට දැනුණේ. ඒත් ඒ මිහිරි බව, නැවුම් බව අපෙන් ගිලිහී ගිහින් අපි දෙන්නම එකපාරමට හිස්වුණා වගේ මට දැනුණා. අපි එහෙම වෙනස් වුණේ කොහොමද කියන්න අදටත් මට හිතාගන්න බැහැ. ඇගෙත් මගෙත් කතාව අඩුවුණා. අපි සතුටින් හිටිය මොහොතක් හොයාගන්න බැරි වුණා. මං දන්නේ නෑ ඇයි අපි ඒ තරම් දුර්වල වුණේ කියලා. කෑ ගහලා රණ්ඩු කරගත්තේ නැතත් අපි හිටියේ විරසක වෙලා. ඒ නිසාම තමයි අවසානයේ තීරණයකට ආවේ වෙන්වෙන්න.
මම හිතුවා එහෙම වෙන් වුණාට පස්සෙ මට සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා. ඇයත් එහෙම හිතන්න ඇති. කාලය ගෙවිලා ගියා. ඇය යළිත් විවාහ වුණා. ඒත් තවම තනියෙන් ඉන්න මට ඇගේ මතකය අමතක කරන්න බැරි විදිහට හිතේ සැරිසරනවා. ඒ මතකය හරි සුන්දරයි. වසර ගණනක් ගෙවුණත් හීන් රිදුමක් එක්ක එන ඒ මිහිරියාව හිත සනසනවා, හිත රිදවනවා… ඒ රිදුමත් එක්ක දැන් මගේ ජීවිතය ගෙවිලා යනවා.“ මා මිතුරා පැවසුවේ දිගු සුසුමක් හෙළමිනි.
මෙවැනි කතා එක්ක ගැළපෙන ගීත හමුවීමත් එක අතකින් පුදුමය. නව පරපුරේ ගී පද රචකයකු වන ලිලන්ත සමරසිංහ මේ වනවිට ගීත ගණනාවක් ලියා ඇත. ඒ අතරෙන් මෑතකදී ඇසුණ, ඒ ඇසුණ සැනින්ම හිත ගිය මේ ගීතය ද එවැනි පෙම්වතුන් පෙම්වතියන් ගැන ලියැවුණ ගීතයකි. ගීතය ගයන්නේ යොවුන් ගායන ශිල්පී සුනීර සුමංගය . ගීතයේ සංගීතය නිර්මාණය කරන්නේ විශාරද දර්ශන රුවන් දිසානායකය.
ගීතයේ අත්දැකීම ගැන විමසූ විට ගී පද රචක ලිලන්ත පැවැසුවේ මෙවන් අදහසකි.
“මම විදෙස් රටක සේවය කරන්නේ. මගේ යොවුන් වියේදී ඉඳලම මට ලියන්න, කියවන්න පුදුමාකාර අාසාවක් තිබුණා. ඒ ඔස්සේ තමයි මම ලියන්න පෙළඹුණේ. මුලින්ම මම ලිව්වේ කවි. අදටත් මම කවි ලියනවා. ඒ අතර තමයි මම ගීත ලියන්නත් පටන් ගත්තේ. මේ වනවිට මම ගීත දහතුනක් පමණ ලියා තිබෙනවා. ‘තාම එතැනම ඉන්නවා‘ තමයි මෑතකදී නිකුත් කළේ. දෙදෙනෙකු අතර ඇති වූ බැඳීමත්, පසුව ඒ දෙදෙනා දෙපසකට වීමත් ඔස්සේ නැගුණ සිතුවිලි තමයි මෙයින් කියන්න උත්සාහ ගත්තේ.
“තාම එතැනම ඉන්නවා
ඈතින්ම වගෙ පේනවා
රෑට ඉඳ හිට පාට තැවරුණු
හාදු හීනෙන් දැනෙනවා
නැවතිලත් හිත දුවනවා
නුඹ තාම එතැනම
ඉන්නවා….“
දෙන්නෙක් ආදරයෙන් බැඳිලා ඉඳලා යම් දවසක වෙන් වෙලා ගියත් ඒ හීත් කොයිතරම් දුර හිටියත් කතා කරනවා. තමන්ට ඇයි මෙහෙම වුණේ කියන ප්‍රශ්නය ඔවුන්ට ඇති වෙනවා. ඒ ආදරයෙන් බැඳිලා හිටපු දවස්වල ගත කරපු ජීවිතය සිහිනෙන් වගේ ඒ හිත් ළඟ ඉන්නවා. ස්වාභාවික පරිසරය, පරිසරයේ සුන්දරත්වය වගේම පරිසරයේ දුක්බර බව යන සියළු සංකේත භාවිත කරමින් මම කියන්න හැදුවේ එයයි. මේ ගීතය ඇසූ බොහෝ දෙනෙකු මට බොහෝ ප්‍රතිචාර දක්වා තිබෙනවා ගීතය හරි අපූරුයි කියලා. එය මට සතුටක් වගේම තවත් ගීතයක් ලිවීමට දිරිගැන්වීමක් කියලා මම හිතනවා.
ගීතය ගයන සුනීර වගේම සංගීතය නිර්මාණය කළ දර්ශන රුවන්, මා ලියූ පදවලට සාධාරණයක් ඉටු කළා කියලා මම විශ්වාස කරනවා.“
ලිලන්තගේ වචන ගැළපීම හරි අපූරුය. කියන්නට ඇති බොහෝ දේ ඔහු එකඑල්ලේ කියා නොකියා කියන්නේ මෙවැනි වචන පෙළහර සමඟය.
“මතක අතු ඉති සෙලවිලා
හිතට මහ වැසි වැටෙනවා
තෙමී නොතෙමී නොදැනුණා සේ
කොහේ හෝ යළි බැඳෙනවා…“
ඉනෝකා සමරවික්‍රම