Home » වැටෙන හැම තැනදිම ඔවුන්ගේ වචන මට නැගිටින්න ශක්තියක් වුණා

වැටෙන හැම තැනදිම ඔවුන්ගේ වචන මට නැගිටින්න ශක්තියක් වුණා

අඛිල ධනුද්ධරට සම්මාන ද්විත්වයක්

by thanushika
November 2, 2024 12:30 am 0 comment

සෝමරත්න දිසානායකයන් අතින් නිමවුණු සුවිශේෂී සිනමා නිර්මාණයක් ලෙස සිංහබාහු සිනමා පටය එහි ඓතිහාසික කතා පුවතෙන් ඔබ්බට යමින් හෙළ ඉතිහාසයට නව අරුතක් දෙන්නට උත්සාහ කළ පර්යේෂණාත්මක අත්හදා බැලීමක් බව පැහැදිලිය. ආදායම් වාර්තා තබමින් දිවයින පුරා තිරගත වුණු සිංහබාහු, ජාත්‍යන්තර වශයෙන් සම්මානයට පාත්‍ර වූවේ ද සිංහයාට ජීවය දුන් රංගන ශිල්පී අඛිල ධනුද්ධරට සම්මාන ද්විත්වයක් හිමිකර දෙමිනි. අමෙරිකාවේ සැන්ඩා බාබරා සිනමා උලෙළේදී හොඳම නළුවා ලෙස සම්මානිත වීමේ උණුසුම යන්නටත් මත්තෙන් ඔහුට දකුණු අප්‍රිකානූ සිනමා උලෙළකදී ද හොඳම සහාය නළුවාට සම්මානය හිමිවීය. මෙරට ජනප්‍රියම නළුවා ලෙස ජනතා සම්මානයෙන් ද පිදුම් ලැබූ අඛිල එකම භූමිකාවක් උදෙසා රංගන ශිල්පියකුට ලැබිය හැකි ඉහළම සම්මාන ත්‍රිත්වයම හිමිකර ගැනීමට වාසනාවන්ත විය.

අඛිල ධනුද්ධර කියන්නෙ මේ දවස්වල උණුසුම් පුවත් මවන රංගන ශිල්පියෙක් වෙලා. ඒ ගැන කතා කරමු?

ඒ ගැන නිහතමානී සතුටක් තියෙනවා. ජීවිතේ ගොඩක්ම කඩා වැටිල තියෙද්දි දෙවියන් එවන තෑගි තමයි මේ. ඒව එවන්නෙත් විශේෂම අවස්ථා බලලා. ලංකාවේ ආදායම් වාර්තා තබමින් තිරගත වෙලා ජනතා මනාපයෙන් පිදුම් ලැබීමේ පුවත ලැබුණේ හරියටම බිරිඳ එමීගේ උපන්දිනය දවසේ. ඒ වගේම අප්පච්චිගෙ අවුරුද්දේ දානෙට සූදානම් වෙමින් ඉද්දි අමෙරිකාවේ සැන්ටා බාබරා අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේදී හොඳම නළුවා ලෙස තේරුණු ආරංචිය ලැබුණා. ඊට දවස් දහයකට විතර පස්සෙ දකුණු අප්‍රිකාවේ පැවැති 4 වැනි බයෙල්සා ජාත්‍යන්තර සිනමා උලෙළේදී හොඳම සහාය නළුවාට සම්මානිත වුණා. සිංහබාහු නියෝජනය කළ හැම සිනමා උලෙළකදීම නිර්දේශ වෙලා සම්මාන ලබන්න තරම් මං වාසනාවන්ත වුණා. රංගන ශිල්පියකුට සම්මාන උලෙළකදී ලැබෙන්න පුළුවන් උපරිම සම්මාන ටික ඔච්චරයිනේ. මේ වගේ දුර්ලභ අවස්ථාවක් මගේ ජීවිතේට උදාවීම මට ලොකු සතුටක්. මේක ජූරියකින් මට ඇගැයීමක් ලැබුණු පළමු අවස්ථාව. ඒකත් විදෙස් රටකින් වීම විශේෂයි. ජනතාවට වගේම ජූරියටත් මගේ රංගනය හොඳයි කියලා තේරිලා තිබුණා.

ගොඩක් කරදර මැද්දේ කරපු නිර්මාණයක් නිසා ඔබට එහි වටිනාකම තවත් වැඩියෙන් දැනෙනවා ඇති?

කොහොමත් සිංහයාගෙ තරුණ විය නිරූපණය කළේ මං. හදිසියේම සිද්ධ වුණු කරදරය නිසා අප්පච්චිගෙ කොටසත් මටම කරන්න වුණා. මේ වගේ සම්මාන ලැබෙද්දි මං ඒක හොඳට කරල තියෙනව කියල හිතෙනවා. අප්පච්චි දැක්ක නම් කොතරම් සතුටු වෙයිද? සිනමාව අප්පච්චි ළඟට ගෙනත් හරි අප්පච්චි කොහොමහරි සිනමාව ළඟට උස්සගෙන ගිහින් හරි පෙන්නන්න මං හිතාගෙන හිටියා. මට ඕන කළේ අප්පච්චි මොකක්ද කියන්නෙ බලන්න. ඒත් චිත්‍රපටය තිරගත වෙද්දි අප්පච්චි හිටියෙ නෑ. සම්මාන ලැබීම ලොකු සතුටක් තමයි. ඒත් මගේ ඒ සතුට තියෙන්නෙ වෙනම ලෙවල් එකක. ඒක සතුටක් ද දුකක්ද හිතාගන්න බෑ. මොකද මං බලාපොරොත්තු වෙලා හිටිය උත්තරය ඕන වුණේ අප්පච්චිගෙන්. මට හිතෙන්නෙම මේක අප්පච්චිගේ ආශීර්වාදයක් කියලයි. මමත් හිත හදාගන්න බැරුව උත්තරයක් හොය හොයා හිටියේ අප්පච්චිට පෙන්නුවම අප්පච්චි මොනවා කියයිද කියලා. දැන් ඒ උත්තරය නිර්මාණය වෙමින් තියෙනවා. ජාත්‍යන්තරයේ ජූරියකට මාව හොඳම නළුවා කරන්න එහෙම නැත්නම් හොඳම සහාය නළුවා කරන්න, ලංකාවෙන් ජනතා සම්මානය ලැබෙන්න මේක හරිම දුර්ලභ සිදුවීමක්. ඔවුන් හැමදෙනාටම මං ස්තුතිවන්ත වෙනවා.

එකම පවුලේ තාත්තයි පුතාල දෙන්නයි යොදාගෙන මේ වගේ ඓතිහාසික කතා සංකල්පයක් ඔස්සේ නිර්මාණයක් කළ ලෝකයේ පළමු අධ්‍යක්ෂවරයා සෝමරත්න දිසානායකයන් වෙන්නත් පුළුවන්?

ඒක එහෙම වෙන්න පුළුවන්. මොකද සෝමරත්න දිසානායකයන්ට ආව මේ සිතුවිල්ල ලෝකෙ වෙනත් අධ්‍යක්ෂවරයෙකුට ඇති නොවෙන්න පුළුවන්. මේක මං තනියෙන් ගිහින් රඟපාලා ගත්ත එකක් නෙවෙයි. ඒකට අතිදක්ෂ අධ්‍යක්ෂවරයෙක් හිටියා. ඔහු මට පළවෙනි, දෙවැනි කොටස් විතරක් නෙවෙයි තුන්වැනි කොටසත් කරන්න කිව්වා. ඒත් ඒ වෙලාවෙ මගේ ජොබ් එක තිබුණෙ ඉස්පිරිතාලේ. මම බැහැම කිව්වා. ඒ වෙලාවෙ අධ්‍යක්ෂවරයා දිගින් දිගටම කිව්වේ අප්පච්චි සතුටු වෙයි කියලා. පස්සෙ මටත් තේරුණා මේ තත්ත්වය උඩ කාලෙකට අප්පච්චිට නැගිටල මේ වගේ චරිතයක් කරන්න බෑ කියලා. ඒ වෙලාවෙ මට රඟපාන්න තිබුණු එකම හේතුව වුණේ අප්පච්චිට පෙන්නන්න. මං ඒකෙ සිංහයා. ඒ කියන්නේ ප්‍රතිවීරයා. ප්‍රතිවීරයා අවසානගේ ඉස්මතු කළේ අධ්‍යක්ෂවරයා. මං බැහැයි කියද්දි, මේ වෙලාවෙ මගෙ ඔළුව හොඳ නැහැයි කියද්දි, ඔහු කිව්වේ මම දන්නව ජැක්සන්ගෙන් ගන්න ඕන දේ, මට ඕන කොල්ලො උඹ කැමරාව ඉස්සරහට එන්න විතරයි, ඉතුරු ටික මං දන්නවා මං ඒක කරන්නම් කියලා ඔහුයි මාව දිරිමත් කළේ. ඇත්තම කිව්වොත් මං ඒ වචනෙ විතරක් විශ්වාස කරලයි ගියේ. අධ්‍යක්ෂවරයා මාව හසුරුවපු විදිහ, අවසානයේ සම්මානයක් දක්වා ගිය එක මේක සාමූහික කටයුත්තක්. සෝමරත්න දිසානායක, රේණුකා බාලසුරිය දෙපළ ඉතාම ආදරෙන් මතක් කරනවා. චරිත තුනක, අවස්ථා තුනක පරිණතකම, හසුරවපු ආකාරය තුළ තිබුණු මනරම්කම නිසා මේ සම්මානය ලැබෙනව කියලයි සැන්ටා බාබරා සම්මානයේ හේතු පාඨය විදිහට සඳහන් වුණේ.

ඒ කියන්නේ අප්පච්චිගෙ ශක්තිය අප්පච්චි කළ කී දේ ආශීර්වාදයක් වගේ ඔබ පසුපසම ආවා?

ඒක ස්ථිරයි. අධ්‍යක්ෂවරයා වගේම ශ්‍රියන්ත මෙන්ඩිස්, කමල් අද්දරආරච්චි, මහේන්ද්‍ර පෙරේරා, යශෝධා විමලධර්ම වගේ අප්පච්චිගෙ සමකාලීන මිතුරන් නිරතුරුවම මාව දිරිමත් කළා. හැම දවසකම අද මොනවද වුණේ, ජැක්සන් ඉන්නෙ මෙහෙමයි ඔයා ඉන්න ඕන මෙහෙමයි කිය කියා මාව උනන්දු කළා. වැටෙන හැම තැනදිම ඔවුන්ගේ වචන මට නැගිටින්න ශක්තියක් වුණා. ඒ වගේම තමයි මේ රටේ සුවහසක් ජනතාව මගේ අප්පච්චිට දුන්න ආදරේ අදටත් එහෙමයි. ඔහු මිනිසුන් වෙනුවෙන් කරපු දේවල් ආරංචි වෙන්න පටන් ගත්තේ ඔහු නැති වුණාට පස්සේ. ඔවුන් අප්පච්චිට දුන්න ආදරේම අද මටත් ලැබෙනවා. අප්පච්චි අපට හිත හදාගන්න ගොඩක් දේවල් කරල ගිහින් තියෙනවා වගේම මේ ලැබෙන හැමදේම අප්පච්චිගේ ආශීර්වාදය කියලත් මම දන්නවා.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division