ෙරේක්ෂක ඔබේ ආදරය ඉහළින්ම දිනාගනිමින් තිරගත වුණු ආදරණීය කතාවක්, දේදුනු ආකාසේ නිර්මාණය කළ ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ ප්‍රියන්ත කොළඹගේ ගේ නවතම සිනමා නිර්මාණය ‘මන්දාරා‘ අද දින සිය ජයග්‍රාහී දින සියය පසුකරයි. අර්බුදකාරී ආර්ථිකයක් හමුවේ, තරගකාරී චිත්‍රපට රැසක් අබිබවමින් දින සියයේ ජයග්‍රාහී ඉලක්කය පසු කරන මන්දාරා ගැන කතා කිරීමේ අරමුණෙන් එහි අධ්යක්ෂ ප්‍රියන්ත කොළඹගේ අප හා කතාබහට එක්වීය.
මේ වගේ කාලෙක චිත්‍රපටයක් දින සියය පසුකරනවා කියන්නෙම ලොකු අභියෝගයක්. මොකද හිතෙන්නේ?
දින සියය පසුකරනවා කියන්නෙම ලොකු සතුටක්. මටත් සතුට මුසු සියුම් ආඩම්බරයක් දැනෙනවා. මන්දාරා එක්ක චිත්‍රපට 19ක් විතර තරග කළා. සිංහල චිත්‍රපට 12ක් විතර තිබුණා. 92 වැනි දිනයේත් සිනමා ශාලා හතරක් හවුස්ෆුල් ලේබලයෙන් දිව්වා කියන්නෙම ලොකු ජයග්‍රහණයක්. බෙදා හැරීමේ නිසි ක්‍රම වේදයක් නැතිව ප්‍රේක්ෂකයාගේ කටින් කට යෑම හරහා තමයි මේ තරම් බලපෑමක් කළේ. මිට කලින් මං කළ ආදරණීය කතාවක් වගේම දේදුනු ආකාසේ චිත්රපයටත් දින සියයේ සීමාව පසු කළා. මන්දාරා කියන්නේ ඒ දෙකටම වඩා වෙනස් නිර්මාණයක්.
ප්‍රේක්ෂකයන් මන්දාරා මේ තරම් ආදරෙන් වැලඳ ගන්න හේතුව එහි කතා තේමාවද?
සාමාන්‍යයෙන් අපි නිර්මාණයක් රස විඳින්නේ ඒක අපට දැනෙන තරමට වගේම අපට සමීප වන තරමට. මං හිතනවා මේකත් ඔවුනොවුන්ගේ පෞද්ගලික ජීවිතවලට වඩාත් සම්බන්ධයි කියලා. ඒ නිසා මං කැමැතියි මන්දාරා අපේ කතාවක් කියලා හඳුන්වන්න.
මන්දාරා සමාජයට යම් පණිවුඩයක් දෙන්න උත්සාහ කරනවා නේද?
ඔව්. කෙළින්ම නොකිව්වත් මන්දාරා කතාව ඇතුළේ ඒ පණිවුඩය ගැබ්වෙලා තියෙනවා. බලද්දි ඕනෙම කෙනෙකුට ඒක තේරෙනවා. සාමාන්‍යයෙන් අපි අවුරුදු 16/17ක ළමයෙකුගේ හැසිරීම බලලා දොස් කිව්වට ගොඩක් වෙලාවට ඒකට හේතුවෙන්නේ ඔහු අවුරුදු 5කට කලින් හෝ 5 සීමාවේදී සිදු වුණු සිදුවීම්. අවුරුදු 5ක් යනකල් දරුවෙක් අනිවාර්යයෙන්ම හැදෙන්න ඕන අම්මා තාත්තගේ රැකවරණයේ. මොකද ඒ වයසෙදි අත්දකින කටුක දේවල් තමයි අවුරුදු 16න් පස්සේ සමාජගත වන දරුවගෙන් දකින්න ලැබෙන්නේ. සමාජයේ දාමරිකයෝ, හොරු, මංකොල්ලකාරයෝ, මිනීමරුවෝ ගත්තම ඔවුන්ගේ පිටි පස්සේ තියෙන්නේ ඔවුන්ගේ ළමා කාලය. ළමා වියේ දී ඔවුන් අත්වින්ද කටුක අත්දැකීම් තමයි ලොකු වුණහම එළියට දාන්නේ. දරුවකුගේ ජීවිතේ අනාගතේ තීරණය කරන්න හොඳම අවස්ථාව තමයි මන්දාරා චිත්‍රපටයෙන් කියන්නේ. චරිත දෙකක ළමා කාලය ගැන හොඳටම කතා කරනවා. එකක් චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ටයා හෙවත් ප්‍රතිවීර චරිතය. බිමල් ජයකොඩි ඉතාම විශිෂ්ට අන්දමින් ඔහුගේ හැකියාව පෙන්නන අවස්ථාවක්. ඔහු දාමරික වැඩකරන්න මිනීමරන්න පෙලඹෙන්නේ ළමා කාලෙදි ඔහුට අම්මා සලකපු විදිහ නිසා. අනෙක් එක තමයි ප්‍රධාන චරිතය. ඔහු හරිම ආදරණීය චරිතයක් වුණත් ඉතාම කේන්ති ගන්න චරිතයක්. ඒකට හේතුව වෙන්නෙත් ඔහු කුඩා වියේදී අම්මයි තාත්තයි හැසිරුණු ආකාරය. ඒ අත්දැකීම් එක්ක තමයි වැඩිහිටියෙක් වෙලත් ඔහුට කේන්ති යන එක පාලනය කරගන්න බැරිවෙලා තියෙන්නේ. මං සිනමාවට අලුතෙන් හඳුන්වා දෙන චරිතය මේඝ සූරියආරච්චි තමයි දක්ෂ විදිහට ඒ චරිතයට පණ පොවන්නේ. මවුපියන් විතරක් නෙවෙයි අලුතෙන් විවාහ වෙන්න ඉන්න අයත් බැලිය යුතුම චිත්‍රපටයක් විදිහටයි මං මේක දකින්නේ.
ඔබ මේකෙන් ප්‍රේක්ෂකයාට කෙළින්ම කියන්න උත්සාහ කරන්නේ මොකක්ද?
ප්‍රේම සම්බන්ධතාවලින් වගේම යෝජිත විවාහ විදිහටත් දෙන්නෙක් එක් වෙන්න පුළුවන්. ඔවුන් එක ගෙදරක ගත කරන්න සූදානම් වෙද්දි තමයි කෙනෙක් විශ්වාස කරන්නෙ නැති, හරියන්නෙ නැති, හිතන්නෙ නැති හැසිරීම් මතු වෙන්නේ. අන්න එතැනදි තමයි අනෙක් කෙනා සැලකිලිමත් වෙන්න ඕන. හුදෙක් ඒවා ඒ පුද්ගලයාගේ වර්තමානයේ සිදුවුණු සිදුවීම් නෙවෙයි. අතීතයේ සිදුවුණු දෙයක් නිසා කියන එක තේරුම් ගන්න ඕන. ඒ දේ තේරුම් අරන් සුදුසු වෛද්‍ය ප්‍රතිකාරයක් හෝ මනෝවිද්‍යාත්මක උපදේශනයක් පැත්තට යොමුවුණොත් ඒ තත්ත්වය මඟහරවා ගෙන සතුටුදායක දිවියක් ගත කරන්න පුළුවන් කියන පණිවුඩය තමයි මන්දාරා හරහා දෙන්නේ. මේක හුදු ආදර කතාවක්වත් පවුලේ කතාවක්වත් නෙවෙයි. මනෝවිද්‍යාත්මකව මිනිස් චර්යාවන් හැඩ ගැහෙන විදිහ, ඒවට හේතු, සමාජයේ හැසිරෙන්න ඕන කොහොමද,? ඒවට හේතු වෙන ළමා කාලය ගැන මන්දාරා හරහා ගැඹුරින් සාකච්ඡා වෙනවා.
ආකර්ෂණීය රූප රාමු යොදාගැනීමත් මන්දාරා ප්‍රේක්ෂකයන් අතරට යන්න හේතුවක් වුණා නේද?
ඕනම දෙයක් සුන්දරව දැකීමෙන් තමයි හිතට වදින්නේ. ඒ වගේම පණිවුඩයක් වුණත් නිර්මාණාත්මක සමාජගත කරද්දි ඒක හදවතට දැනෙනවා වැඩියි. යම්කිසි නිර්මාණයක් සුන්දරව රසවිඳින අතරේ එහි ගැබ්වෙලා තියෙන දේ ගන්න පුළුවන් නම් ඒක තමයි කළ යුත්තේ. හරියට චොකලට්වලින් වහලා දෙන තිත්ත බෙහෙතක් වගේ. මන්දාරා සඳහා සුන්දර පසුතල යොදාගැනීමේ විශේෂත්වය ඒකයි. බණ්ඩාරවෙල, හපුතලේ වගේ සුන්දර කඳුකර පැති වගේම ගාල්ල කොටුව, ගෝල් ෆේස් එක වගේ ලංකාවේ සුන්දරම ප්‍රදේශ යොදාගත්තා. මේ හරහා ලංකාවේ සුන්දරත්වය ලෝකයට පෙන්නන්නත් පුළුවන් වුණා.
අධ්යක්ෂවරයකුට වුණත් සාර්ථක නිර්මාණ බිහිකරන්න යම්කිසි පන්නරයක් අවශ්‍යයි නේද?
අනිවාර්යයෙන්ම. මගේ ගමන ආරම්භ වෙන්නෙත් මාධ්‍යවේදියෙක් විදිහට. රාවය සඟරාව වගේම රාවය පුවත්පත හරහා මාධ්‍යවේදියෙක් විදිහට කටයුතු කරන අතරේ අවුරුදු 19 දි තමයි මම දැහැන චිත්‍රපටය කරන්නේ. ඊට පස්සේ ඡායාරූප කලා ශිල්පීන්ගේ සංගමයේ ඡායාරූපකරණය පිළිබඳ ඩිප්ලෝමාව හැදෑරුවා. ඊටත් පස්සේ විමුක්ති චිත්‍රපටය කළා. චිත්‍රපට සංස්ථාවේ සංවර්ධන අරමුදලේ මෙහෙයවීමෙන් කළ අරුමෝසම් වැහි චිත්‍රපටය 2007 වසරේ චීනයේ නින්බෝ ජාත්‍යන්තර ළමා චිත්‍රපට උලෙළේ රටවල් 147ක් අතරින් තරගකාරී අංශයේ හොඳම චිත්‍රපටය බවට පත්වෙනවා. ටික කලක නිහැඩියාවකින් පසුව නැවත මම සම්බන්ධ වෙන්නේ වෙළෙඳ දැන්වීම්කරණයත් එක්ක. වෙළෙඳ දැන්වීම් 600ක් විතර කරල තියෙනවා. ඒ අත්දැකීම් පන්නරයක් කරගෙන වෙළෙඳපොළ අවශ්‍යතාව මත 2015දී ආදරණීය කතාවක් චිත්‍රපටය නිර්මාණය වෙනවා. ඒත් එක්කම දේදුනු ආකාසේ නිර්මාණය වුණා. ඒ දෙකටම වෙනස් විදිහට නිර්මාණය වුණු මන්දාරා මේ දිනවල ප්‍රේක්ෂකයන්ගේ ආදරය විඳිනවා. මේ චිත්‍රපට තුනටම වෙනස් අත්දැකීමක් සූරිය සුළඟ නමින් ලබන වසරේදී ප්‍රේක්ෂකයන්ට දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
නාමලී ගමගේ