Home » ලාබාලම රූපලාවන්‍ය ශිල්පිනිය මෙනුගි

ලාබාලම රූපලාවන්‍ය ශිල්පිනිය මෙනුගි

මෙනුගි මනුල්යා

by thanushika
November 2, 2024 12:30 am 0 comment

සමාජ මාධ්‍යය ඔස්සේ වැඩිපුර ගැවසෙන කෙනෙක් නම් මෙනුගි මනුල්‍යා කියන නම නුහුරු නුපුරුදු නමක් නෙවෙයි. කාලයක් තිස්සේ මේ නමත් එක්ක ඇයගේ දස්කම් සමාජ මාධ්‍යය ඔස්සේ දකින්නට ලැබෙනවා. මෙනුගි තමයි මෙවර ‘අහස මිඩියා‘ සංවිධාන කළ Sri Lankan Future Leaders Award 2024හි ලාබාලතම රූපලාවන්‍යය ශිල්පිනිය බවට පත් වුණේ. ඒ නිසාම අප මෙනුගි සමඟ කතා කළා.

මේ කාලේ විස්තර ටිකක් කිව්වොත්

මම පාසල් යන්නේ මහනුවර කලම්බු ඉන්ටර්නැෂනල් කොලේජ් එකට. එහි 7 වසරේ ඉගෙන ගන්නේ. මේ දවස් වල නම් ලොකුවට මේකප් වැඩ කරන්නේ නැහැ. පාසලේ වැඩ වලට මුල් තැන දීලා ඉන්න නිසා. මගෙ වයස අවුරුදු 12 යි.

Sri Lankan Future Leaders Award 2024හි ලාබාලතම රූපලාවන්‍යය ශිල්පිනිය ලෙස සම්මාන ලබද්දී මොකද හිතුණේ?

ලොකු සතුටක් දැනුණා. මම ආසාවෙන්ම කරන දෙයක් මේකප් කියන්නේ. ඉතින් ඒ දේ වෙනුවෙන් මේ විදියට ඇගයීම් සම්මාන ලබද්දී නිහතමානි සතුටක් දැනෙනවා.

මෙනුගිගේ පවුලේ අය ගැනත් කිව්වොත්

අම්මා ඉන්දුමාලා රාජපක්ෂ. තාත්තා මංජුල හරස්ගම. මගේ අම්මයි තාත්තයි දෙන්නම රූපලාවන්‍ය ශිල්පීන්. මට මල්ලි කෙනෙකුත් ඉන්නවා. එයා මනුජ හරස්ගම.

මේකප් පැත්තට යොමු වෙන්න හිතුණෙ කොහොමද?

මගේ අම්මත් රූපලාවන්‍යය ශිල්පිනියක්. මුලින්ම අම්මා මේකප් කරන දිහා බලන් හිටියා. ඊට පස්සේ මමත් ඒ දේවල් අත් හදා බැලුවා. මුලදි චුට්ට චුට්ට පුරුදු වුණා. දැන් මට තනියම මේකප් කරන්න පුළුවන්.

මුලින්ම මේකප් කරන්න පටන් ගත්තේ අවුරුදු කියේදී ද?

මම පොඩිම කාලේ කාමරේ දොර ලොක් කරගෙන අම්මගේ මේකප් ටික අරගෙන මම ම මේකප් කර ගත්තා. මම මේකප් බඩු වලට චූටි කාලේ ඉඳලාම හරිම ආසයි. අම්මා කියනවා මම අවුරුදු දෙකහමාරක විතර වයසේ ඉඳලාම අම්මාගේ මේකප් බඩු අරන් මූණේ පාට කරගන්නවා කියලා. එක දවසක් මම අම්මාට මේකප් එකක් දාලා පෙන්නුවා. එදා අම්මා ගොඩාක් පුදුම වුණා.

මෙනුගි නිරුපිකාවන්වත් ලස්සනට හැඩ ගන්වනවානේ, කාවද මුලින්ම මේකප් කළේ?

මුලින්ම තනියම මේකප් එකක් කළේ නිරූපණ ශිල්පී රශ්මී භාග්‍යා අක්කාට. ඒ 2022 දි. එතකොට මට අවුරුදු 8යි. අම්මියි තාත්තායි මම එදා කරපු මේකප් එක විඩියෝ කරලා මුහුණු පොතට එකතු කළා. ඒ වීඩියෝ එක ගොඩාක් දෙනෙක් බලලා ප්‍රතිචාර දක්වලා තිබුණා. ඒ වීඩියෝ එක හරහා තමයි මගේ ගැන මුලින්ම කතා බහක් ඇති වුණේ.

කොහොමද මේකප් ගැන ඉගෙන ගන්නේ

මම ගොඩක්ම ඉන්ටර්නැෂනලි තියෙන මේකප් ගැන සහ මේකප් නිෂ්පාදන ගැන තනියමම අන්තර්ජාලයෙන් යුටියුබ් වලින් බලලා ඉගෙන ගන්නවා. මම යූටියුබ් වලින් ඉගෙන ගෙන තියෙන ඉන්ටර්නැෂනල් මේකප් අපේ අම්මලා දාන මේකප් එකට වඩා ගොඩාක් වෙනස්. ඒ නිසාම වෙන්නත් පුළුවන් මගේ මේකප් එකට ලොකු ඉල්ලුමක් තියෙනවා.

මේකප් වලත් විවිධ දේ තියෙනවානේ, මෙනුගි කැමතිම මොන විදියේ මේකප් වලටද?

හෙලොවින් මේකප්, වේශනිරූපණ තමයි මම ගොඩාක්ම කරන්නේ. ඒ එක්කම මම ගොඩාක්ම ආස බ්‍රයිඩල් මේකප් එක කරන්න.

මනාලියක් හැඩ ගන්වන්න කොච්චර වෙලාවක් යනවද?

මට පැය බාගයකින් අංගසම්පූර්ණ මනාලියක්ව හැඩගන්වන්න පුළුවන්. මේ වෙද්දී මගේ නමින්ම පේජ් එකක් තියෙනවා. Menugi Manulya කියලා. එහි අද වෙද්දී followers 234K ඉන්නවා.

මේ වෙද්දී මනාලියන් කි දෙනෙක් මේකප් කරලා තියෙනවද?

මට මතක නැහැ. හැබැයි මම මේ වෙනකම් කරලා තියෙන්නේ බ්‍රයිඩ්ල් විදියට නිරූපිකාවන් පමණයි. ඒ හැර සැබෑ මනාලියන් තවම කරලා නැහැ.

පාසලෙන් ලැබෙන සහයෝගය කොහොමද?

පාසලෙන් මගේ මේ හැකියාවන් වලට හොඳ සහයෝගයක් ලැබෙනවා. පාසලේ ළමයි මේකප් කර ගන්න මගේ ළඟට එනවා.

පාසලේ බාහිර ක්‍රියාකාරකම් විදියට මොනවද කරන්නේ?

වැඩිපුරම මම බාස්කට් බෝල් සෙල්ලම් කරන්නේ. ඒ අංශයෙන් ජයග්‍රහණත් ලබලා තියෙනවා.

මේ දේවල් කරන්න කොහොමද අම්මා තාත්තාගෙන් ලැබෙන සහයෝගය?

මගේ ලොකුම ශක්තිය ඒ දෙන්නා. මටම කියලා මේකප් සෙට් එකක් ගෙනත් දුන්නා. ඒ එක්කම මට අම්මාව මේකප් කරන්නත් දෙනවා. තාත්තා වුණත් එහෙමයි මට අවශ්‍ය කරන ඩ්‍රස් ඩිසයිනින් කරන්නේ තාත්තා. ඒ වගේම මොඩ්ල් කෙනෙක් ඕනේ කිව්වම මට අවශ්‍ය විදියට ඒ දේවල් මට ගෙනත් දෙනවා.

මල්ලි කෙනෙක්නේ ඉන්නේ කොහොමද ගෙදරදී රණ්ඩු වෙනවද?

මම දඟ නැහැ. එයා තමයි දඟ. ලොකුවට රණ්ඩු වෙන්නේ නැහැ. සුන්දර පොඩි පොඩි රණ්ඩු නැතුවාම නෙවෙයි.

මල්ලිව මේකප් වැඩ වලට ගන්නේ නැද්ද?

මම එයාවත් මේකප් කරලා තියෙනවා. එයා එන්න කැමති නැහැ. මම ඉතින් ඇඳලා ගන්නවා. ඒ වෙලාවට ඉතින් එයා ඉන්නවා.

කවදා හරි මෙනුගිත් අම්මා වගේම රූපලාවන්‍යය ශිල්පිනියක් වෙන්නද කැමති?

මම මොඩ්ල් කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නේ. ඒ එක්කම රූපලාවන්‍යය ශිල්පිනියක් විදියටත් වැඩ කරන්න කැමැත්තක් තියෙනවා. ඒ නිසා මෝස්තර නිරූපිකාවක් වෙන ගමන් මේකප් පැත්තෙන් අලුත් දේවල් ඉගෙන ගනිමින් මේ ක්ෂේත්‍රයේ යන්න පුළුවන් උපරිමයටම යන්න තමයි එකම අරමුණ.

 අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division