Home » මුදලට තරග පාවාදී ක්‍රිකට් ක්‍රීඩාව දූෂිත කළ අසාරුදීන්ට යළි චෝදනා

මුදලට තරග පාවාදී ක්‍රිකට් ක්‍රීඩාව දූෂිත කළ අසාරුදීන්ට යළි චෝදනා

by Mahesh Lakehouse
November 2, 2024 12:30 am 0 comment

ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ වංචා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිදෙනකුගේ අදහස වන්නේ මුදලට තරග පාවාදීම කලාවක් නම් එහි පිකාසෝ ඉන්දියාව බවය.

ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩාවට මේ කුප්‍රකට ලේබලය කරපින්නා ගැනීමට හේතු වී ඇත්තේ අන් කිසිවක් නිසා නොව මුදලට තරග පාවාදීමේ ජාවාරමේ මහ මොළකරුවන් ඉන්දීය ජාතිකයන් වීම හේතුවෙනි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අතිභයානක ඔට්ටු තැබීමේ මහමොළකරු ලෙස සැලකෙන දාවුඩ් ඉබ්‍රාහිම් ද ඉන්දීය ජාතිකයෙකි. හෙතෙම අනූව දශකය අගභාගයේදී ලොව පළමු වතාවට මුදලට තරග පාවාදීමේ අපකීර්තියට ගොදුරු වූ එවකට පාකිස්තාන පිලේ හිටපු නායක සලිම් මලික් ඒ සඳහා මෙහෙයවනු ලැබුවේ දාවුඩ් ඉබ්‍රාහිම් විසිනි.

මුදලට තරග පාවාදීම පිළිබඳ සොයා බැලීමට පාකිස්තාන රජය පත්කළ මහේස්ත්‍රාත් කයියුම්ගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව ලබා දුන් වාර්තාවට අනුව එවකට පාකිස්තානයේ ජාතික ක්‍රිකට් පිල නියෝජනය කළ ක්‍රීඩකයන් පිරිසක් ද ඔහුගෙන් යැපුණු බව හෙළි වී තිබිණි.

විශාල අභියෝගයක්

‘ඩී – කම්පනි‘ නමින් සමාගමක් පිහිටුවා ගෙන ක්‍රිකට් තරග මුදලට පාවාදීමේ ජාවාරමත්, ලෝක මත්ද්‍රව්‍ය ජාවාරමත්, අපරාධ හා ආයුධ ජාවාරමත් ජයටම කරමින් සිටින බව කියන දාවුඩ් ඉබ්‍රාහිම් කොටු කරගැනීම අදටත් ඉන්දියාවට පමණක් ලොව අමෙරිකාව ඇතුළු රටවලට ද විශාල අභියෝගයක් වී තිබේ.

වසර 1993 දී පුද්ගලයන් 250කට අධික පිරිසකට මරු කැඳවූ මුම්බායි බෝම්බ ප්‍රහාරයට ද ඔහුගේ සම්බන්ධතාවක් ඇතැයි හෙළි වීමෙන් පසු ජාත්‍යන්තර පොලිසියෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනය පවා නිකුත් කර තිබිණි.

අල් කයිඩා ත්‍රස්තවාදී සංවිධානය සමඟ සම්බන්ධ බවට හෙළිවීමත් සමඟ 2003දී අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව දාවුඩ් ඉබ්‍රාහිම් ලැයිස්තුගත කරනු ලැබුවේ ‘විශේෂයෙන් නම් කළ ජාත්‍යන්තර ත්‍රස්තවාදියකු‘ හැටියටය. එහෙත් පාකිස්තානයේ හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැඟවී සිටින බව වරින් වර අනාවරණය වූවද, ඔහු කොටු කර ගැනීමට අදටත් හැකි වී නැත.

පසුකාලීනව මුදලට තරග පාවාදීම හෙවත් ‘මැච් ෆික්සින්ස්‘ ඉන්දියාව පුරා ව්‍යාප්ත වූ අතර, ඉන්දියාව කේන්ද්‍ර කරමින් වැඩි වැඩියෙන් දාවුඩ් ඉබ්‍රාහිම්ලා බිහි වීමට පටන් ගත්තේය. මීට දශක දෙකකට පෙර ලෝක ක්‍රිකට් පිටියේ මහා ආන්දෝලනයකට තුඩු දුන් ක්‍රිකට් පිටියේ මහා පාවාදීම ලෙස හඳුන්වනු ලැබුවේ එවකට දකුණු අප්‍රිකානු ක්‍රිකට් නායක හැන්සි ක්‍රොන්යේ සහ ඉන්දීය ක්‍රිකට් නායක මොහොමඩ් අසාරුදීන් ඊට සම්බන්ධ වීමෙනි. සැබැවින්ම හැන්සි ක්‍රොන්යේ එහි ගොදුරක් බවට පත්වූ බවත්, සැබෑ ජාවාරම්කරුවා මොහොමඩ් අසාරුදීන් බවත් හෙළි වූයේ පසුවය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ ඉන්දියාවේ මධ්‍යම විමර්ශන ඒජන්සිය මේ පිළිබඳ වෙන් වෙන් වශයෙන් පරීක්ෂණ පැවැත්වූ අතර, එහි නිර්දේශ අනුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මොහොමඩ් අසාරුදීන්ට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පනවනු ලැබීය. පසුව වසර 10කට ආසන්න කාලයකට පසු 2012දී ඔහුගේ තරග තහනම අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත අධිකරණයකින් ඉවත් කරද්දී අසාරුදීන්ගේ ක්‍රිකට් ජීවිතයේ හොඳම කාලය එහෙම පිටින්ම විනාශ වී තිබිණි.

මොහොමඩ් අසාරුදීන් ගැන ඇහෙන කතා

ඊයේ පෙරේදා අසාරුදීන් ගැන නැවත කතාබහට ලක්වූයේ තරග තහනමින් පසු ඉන්දීය කොංග්‍රසයට බැඳී දේශපාලනයට එක්වූ අසාරුදීන් ඔහුගේ නිජබිම වන හයිද්‍රබාද් නුවර ක්‍රිකට් සංගමයේ සභාපති ධුරයට පත්වීමෙන් පසු සිදු කළ බව කියන මුදල් අවභාවිතය පිළිබඳ ඉන්දියාවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒජන්සියේ පරීක්ෂණ කටයුතු ආරම්භ වීම නිසාය.

වසර 2019 දී හයිද්‍රබාද් ක්‍රිකට් සංගමයේ සභාපති ධුරයට පත්වූ අසාරුදීන් එම කාලය ඇතුළත ඩීසල් ජෙනරේටර් මිලදී ගැනීමකදී ඉන්දීය රුපියල් කෝටි 20ක මුදල් අවභාවිතයක් සිදුකළ බවට චෝදනා එල්ල විය. ඉන්දීය මූල්‍ය අපරාධ විමර්ශන ඒජන්සිය අසාරුදීන් ගෙන්වා ප්‍රශ්න කරනු ලැබූ අතර, මේ වනවිටත් එහි පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතී.

ඇතැමුන් කියන්නේ මොහොමඩ් අසාරුදීන් ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම මුදලටත් ලොල් වූ ක්‍රීඩකයකු බවය. ඔහු සිය ක්‍රිකට් ජීවිතයේදී උපයා ගත් මුදලට වඩා වැඩි මුදලක් තරග පාවාදීමෙන් සහ වෙනත් ක්‍රියාකාරකම්වලින් උපයා ගත් බවට ද තොරතුරු වාර්තා වී තිබේ.

ක්‍රිකට් ක්‍රීඩාවේ දෙවියා දූෂිතයකු වූ හැටි

සැබැවින්ම අසාරුදීන් යනු ලෝක ක්‍රිකට් පිටියේ බිහිවන අතිශය දුර්ලභ පිතිකරුවෙකි. ඔහු අසූව දශකයේ මුල් භාගයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සේන්දු වූයේ ද ලෝක වාර්තාවකුත් සමඟය.

1984 දෙසැම්බර් 1 වැනිදා කොල්කටා නුවරදී එංගලන්තය සමඟ පැවැති තුන්වැනි ටෙස්ට් තරගයෙන් තරග වරම් ලැබූ එවකට 21 හැවිරිදි වියෙහි පසු වූ මේ විශිෂ්ට දකුණත් පිතිකරුවා සිය මංගල ටෙස්ට් ඉනිමේදීම ලකුණු 110ක් රැස් කිරීමට සමත් විය.

අනතුරුව ඉන් නොනැවතී එම තරගමාලාවේදීම සිය දෙවැනි හා තුන්වැනි ටෙස්ට් තරගවලත් ශතක රැස් කරමින් සිය මංගල ටෙස්ට් තරග 3දී ශතක 3ක් ලැබූ ලොව එකම පිතිකරුවා බවට පත්වු අතර, මේ ලෝක වාර්තාව බිඳ දැමීමට අදටත් කිසිදු පිතිකරුවකු සමත් වී නැත.   

අසාරුදීන් මේ විස්මිත පෙරළිය සිදු කරද්දී ඉන්දීය ක්‍රිකට් පිලේ නායකයා ලෙස කටයුතු කරනු ලැබුවේ සුනිල් ගවස්කර් විසිනි.

මේ අසමසම පිතිහරඹයෙන් උද්දාමයට පත් වු ගවස්කර් අසාරුදීන්ගේ ලෝක වාර්තාවෙන් පසු ප්‍රසිද්ධියේ කියා සිටියේ ‘ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට දෙවියකු වැඩිය‘ බවය.

මේ වන විට 61 හැවිරිදි වියෙහි පසුවන අසාරුදීන් එතෙක් මෙතෙක් ඉන්දියාවෙන් බිහිවූ වඩාත්ම සාර්ථක ක්‍රිකට් නායකයකු බවට අවිවාදිතය.

එහෙත් තරග පාවාදීමේ චෝදනා තහවුරු වීමෙන් දූෂිත ක්‍රීඩකයකු ලෙස ඔහු ඉන්දියාවේ පමණක් නොව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ද අත්කර ගත් කළු පැල්ලම ඔහුගේ ජිවිත කාලය පුරාම මැකී නොයනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division