Home » වෙනිසියුලානු විපක්ෂය සහරොව් ත්‍යාගය වෙත ළඟා වූ මාවත

වෙනිසියුලානු විපක්ෂය සහරොව් ත්‍යාගය වෙත ළඟා වූ මාවත

by Mahesh Lakehouse
November 2, 2024 12:30 am 0 comment
ගොන්සාලේ සහ මාරියා

නිදහස් චින්තනයට ඇති අයිතිය තුළ ප්‍රජාතන්ත්‍රවාදී, ස්වාධීන මාවතකට පුද්ගලයන් රැගෙන ඒම අගය කරනු වස් සෑම වසරකම යුරෝපීය සංගමයේ පාර්ලිමේන්තුව (EU) විසින් පිරිනමන ලද මානව අයිතිවාසිකම් උදෙසා වූ ඉහළම සම්මානය සහරොව් (Sakharov) මෙවර දිනා ගනු ලැබුවේ වෙනිසියුලානු විපක්ෂය නියෝජනය කළ Mario Corina Marchado හා Edmando Ganzailez යන දෙපළයි. මෙම වසරේ දෙසැම්බර් මස 18 වැනිදා උත්සවාකාරයෙන් එම සම්මානය මෙම දෙපළට පිරිනැමීමට සියල්ල සූදානම් බව යුරෝපීය සංගම් පාර්ලිමේන්තුවේ (EU) සභාපතිනිය රොබාටා මෙට්සෝලා (Roberta Metsola)නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

ඉතාම දිගු කලක පටන්ම දකුණු අමරිකාවේ උතුරු කොටස දෙසට වන්නට පිහිටි ලතින් ඇමරිකානු රාජ්‍යයක් වූ වෙනිසියුලානු රාජ්‍යය එහි ජනපති නිකොලස් මධුරෝගේ ආඥාදායක පාලනයට සාමකාමී උද්ඝෝෂණ තුළින් විරෝධය පළ කළ රාජ්‍යයකි. 2013-2024 වෙනිසියුලානු ජනපති මධුරෝගේ පරිපාලනය තුළ වෙනිසියුලාවේ ස්ථාන 42ක පමණ මාධ්‍ය නිදහස උල්ලංඝනය වී ඇති අතර, එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් නිරීක්ෂණ කමිටු වාර්තාවට අනුව වෙනිසියුලානු වැසියන් බොහෝ පිරිසක් රට හැර යාමට පටන්ගෙන ඇත්තේ මේ දැඩි මර්දනකාරී පාලන පසුබිම තුළය. වෙනිසියුලාව තුළ පුද්ගල ඝාතන 20000ට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, 2024 ජූලි වන විට වෙනිසියුලානු ජනපතිවරණයත් සමඟ මේ තත්ත්වය තවත් උග්‍ර වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජනපති මධුරෝගේ පාලන කාලය තුළ පැවති මානව අයිතීන් කඩවීම් කොතරම් ප්‍රබල ද යන්න 2018දී ඇමරිකන් රාජ්‍ය සංසදය විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවකින් ඉතා දැඩිව මේ බව හෙළිදරව් කර තිබූ බව වාර්තා වේ. මෙම විරෝධතා වෙනිසියුලානු ව්‍යවස්ථාපිත කටයුතු අරභයා ද දියත් වූ අතර, 2024 ජනපති අපේක්ෂක තරගයට තරග වැදුනු මචාඩෝ ද නුසුදුස්සෙකු බවට පත් කරමින් ඇය ජනපති තරගයෙන් ඉවත් කළ බව ප්‍රකාශයට පත් කළේය.

නමුත් අවසානයේදී ස්වකීය පරම චේතනාව වූ මානව අයිතිවාසිකම් මත පදනම්ව ප්‍රජාතන්ත්‍රවාදී මාවතට වෙනිසියුලානු වැසියන් පෙළ ගැස්වීමේ අරමුණ සාක්ෂාත් වීම හමුවේ ඇය ගෝලීයව සහරොව් සම්මානයට පාත්‍ර විය. එතුළින් ඇයගේ අවංක ගමන් මාර්ගය කදිමට ප්‍රදර්ශනය විය.

සහරොව් ත්‍යාගයේ ඉතිහාසය

යුරෝපීය සංගමය විසින් සහරොව් ත්‍යාගය ප්‍රථම වරට පිරිනැමුණේ 1988 වසරේදීය. ඒ දකුණු අප්‍රිකාවේ වර්ණභේද වාදය ප්‍රතිපත්තියට එරෙහිව අප්‍රමාණ සේවයක් කළ මහා යුග පුරුෂයා වූ ආචාර්ය නෙල්සන් මැන්ඩෙලාට හා රුසියානු ඇනටෝලි මාචන්කෝ යන දෙපළටය. වසර 36ක් සපිරෙන මෙම සහරොව් සම්මානයට, පාත්‍ර වන්නේ, නිරතුරුවම (ප්‍රචණ්ඩකාරී – නොවන ආකාරයෙන්) ස්වකීය අරගලය, පවතින ආඥා දායකත්වයන්ට හා මර්දනයන්ට එරෙහිව දියත් කරනු ලබන්නා වූ පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට වීම සුවිශේෂීත්වයකි. මෙම සම්මානයේ නිර්මාතෘ රුසියානු ජාතික Andrei Sakharov ප්‍රකාශ කොට ඇත්තේ, සාමය, දියුණුව හා මානව අයිතිවාසිකම් අත්‍යාවශ්‍යයෙන්ම එකිනෙක හා බද්ධ වී පවතින බවය.

ගොන්සාලේගේ භූමිකාව

2024 වෙනිසියුලානු ජනපති අපේක්ෂකයෙකු ලෙස තරග කළ ගොන්සාලේ ඉතා ප්‍රවීණ දේශපාලනඥයකු මෙන්ම ඉතාම විද්වත් රාජතාන්ත්‍රිකයකු ද වේ. මචාඩෝ හා එක්ව වෙනිසියුලානු විපක්ෂය නියෝජනය කරමින් ජනතාව ස්වාධීන හා ප්‍රජාතන්ත්‍රවාදී මාවතක පෙළ ගස්වා ස්වකීය මානව අයිතිවාසිකම් දිනාගැනීමේ අගය වටහා දුන් ඔහුගේ කාර්ය භාරය ගෝලීය ප්‍රජාව අතර ඉතා කැපී පෙනුණි. මේ වන විටත් විදෙස් මාධ්‍ය විසින් මචාඩෝ හා ගොන්සාලේ එම සම්මානයේ සතුට වෙනිසියුලානු ජනතාව හා එක්ව බෙදාගන්නා ආකාරය දිගින් දිගටම සුන්දර දසුන් ඔස්සේ වාර්තා කරයි.

2024 වෙනිසියුලානු ජනපතිවරණයෙන් නීත්‍යනුකූල වශයෙන් බහුතර ඡන්දයෙන් තේරී පත් වූයේ එඩ්මන්ඩු ගොන්සාලේ වුවද ජනපති මධුරෝ විසින් එම අවස්ථාව වළකනු ලැබු අතර, වෙනිසියුලානු ජනපතිවරණය අරගලකාරී මැතිවරණයක් ලෙස ජාත්‍යන්තර මැතිවරණ කමිටුව නම් කරනු ලැබීය.

ජනපති මධුරෝ, ගොන්සාලේ රටින් පිටමං කිරීමට සැලැස්වූ අතර, අවසානයේදී ස්පාඤ්ඤයේ Torrejonde Ardoz හමුදා කඳවුරක ඔහුට ආරක්ෂාව සැපයූ බව එවකට විදෙස් මාධ්‍ය දිගින් දිගටම වාර්තා කළේය. 2024 වෙනිසියුලානු ජනපතිවරණයේ නියම හිමිකරුවා වූ ඡන්ද ප්‍රතිශතය 73%ක ප්‍රතිශතයක් ලබාගත් ගොන්සාලේට එම අයිතිය ලබා නොදීම ගෝලීය ප්‍රජාවගේ දැඩි අප්‍රසාදයට ලක් විය.

මාරියා මචාඩෝගේ භූමිකාව

වෙනිසියුලානු රජයේ, විපක්ෂයේ ඉතා ප්‍රමුඛ තැනැත්තියක් ලෙස මචාඩෝ සැලකෙන අතර, ඇය වෘත්තියෙන් කාර්මික ඉංජිනේරුවරියකි. සහරොව් සම්මානයට පාත්‍ර වීම පිළිබඳ සිය උද්දාමය පළකරමින් Euro News වෙත ඇය ප්‍රකාශ කොට ඇත්තේ එය ඓතිහාසික බවත් යුරෝපය ඔවුන් සමඟ සිටිනා බවත්ය.

ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ යුරෝපීය ආරක්ෂාව සම්බන්ධයෙන් වෙනිසියුලාවේ අනාගතය ඉතා තීරණාත්මක බවත් වෙනිසියුලාවේ වත්මන් ආඥාදායක පාලනය හේතුවෙන් ඉදිරියට ද යුරෝපීය සංගමයේ භූමිකාව තම රාජ්‍යයෙන් පිටත ද ඉතාම වැදගත් බව අවධාරණය කරන බවය. ජනපති මධුරෝ ජූලි 28 ජනපතිවරණයෙන් අනතුරුව ඇය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබුණද ඇය කිසි විටෙක විපක්ෂයේ ජයග්‍රහණය සාක්ෂාත් කරගන්නා තුරු හා වෙනිසියුලානු වැසියන් ප්‍රජාතන්ත්‍රවාදී මාවතට පෙළ ගැසීම අවසන් වනතුරු කිසිදු නිමේෂයක ඇයගේ සටන අත් නොහැරියාය. අද ඇය භුක්තිවිදින්නේ ඒ අධිෂ්ඨානයේ ජයග්‍රාහී සතුට හා මිලියන ගණනාවක වැසියන්ගේ ප්‍රසාදයයි.

සහරොව් ත්‍යාගය සමඟ වෙනිසියුලාවේ ඉදිරි ගමන්මඟ

යුරෝපා සංගමයේ රාජ්‍යයන් මෙන්ම ලතින් ඇමරිකන් රාජ්‍යයන් ද පිරිවරා ගත් ගෝලීය ප්‍රජාව ඉතා නොඉවසිල්ලෙන් බලා සිටින්නේ, ජනපති මධුරෝ ඉදිරි වර්ෂයේ ජනවාරි මසදී ජනපතිවරණයෙන් නියම සුදුස්සා බවට පත් වූ අපේක්ෂක ගොන්සාලෙස්ට ඔහුට හිමි පදවිය භාරදීමේ බල මාරුවීමට කෙසේ මුහුණ දේද යන්නය.

මේ වන විටත් ලතින් ඇමරිකානු රාජ්‍යයන් වන ආර්ජන්ටිනාව, කොස්ටාරිකා, පේරු, ඇමරිකා එක්සත් ජනපදය ද ඇතුළත්ව ජනපති අපේක්ෂක Edmundo Gonzalez මැතිවරණ ජයග්‍රහණය පිළිගෙන ඇති අතර, මෙහිදී සැවොම ඉතා විමසිලිමත් කරුණ වන්නේ 2025, ජනවාරි 10 වැනිදා නිකොලස් මධුරො ජනපති, ගොන්සාලෙස්ට බලය පැවරීම කුමන ආකාරයෙන් සිදු කරයි ද යන්නය. යුරෝපීය සංගමයේ රාජ්‍යයන් ද ලතින් අමරිකානු රාජ්‍යයන් ද මෙම කර්තව්‍යය උදෙසා එක්ව ක්‍රියා කිරීම ඉතා සුබවාදී කරුණකි. මෙවැනි පසුබිමක් තුළ වෙනිසියුලානු විපක්ෂය හිමිකර ගත් සහරොව් ත්‍යාගය, වෙනිසියුලානු නිදහස් අරගලයේ එක්තරා ආකාර සුවිශේෂි හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස විග්‍රහ කළ හැකිය.

Bolivarian පාලනයේ නිමාව දැනටමත් තහවුරු කොට ඇති වෙනිසියුලානු ජනතාව ස්වකීය සමෘද්ධිමත්, සාමකාමී දේශපාලන මාවතට යළි පිවිසීමට මහත් උනන්දුවෙන් බලා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත. නිසැකයෙන්ම බැලූ විට පෙනී යන්නේ වෙනිසියුලානු විපක්ෂය පෙරටු කොටගත් මිලියන 28ක පමණ වෙනිසියුලානුවන් ඉතා දුෂ්කර මාවතක් ඔස්සේ විවර කරගත් ප්‍රජාතන්ත්‍රවාදයේ දොරගුළු ඉතා ශක්තිමත්ව ස්ථාපිත කර ගත යුතු බවත්ය.

ඔක්තෝබර් මස 28 වෙනිදා වෙනිසියුලානු විපක්ෂය වෙත පිරිනැමුණු සහරොව් ත්‍යාගය පිළිබඳ පුවත් අතර තවත් ඉතා සුබදායක ප්‍රවෘත්තියක් වාර්තා වී තිබිණි. ඒ, යුරෝපීය අමාත්‍යවරුන්ගේ කවුන්සිලයේ සභාපතිනිය වූ ජියෝජියා මෙලනි , ඔක්තෝබර් 28 වැනිදා රෝමයේදී නිල වශයෙන් ගොන්සාලෙස් හමුවී සහරොව් ත්‍යාගය පිළිබඳ උණුසුම් සුබ පැතුම් පිරිනමමින් වෙනිසියුලානු ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී මාවතට රැගෙන ආ මාවතේ ඉදිරි පියවර ලෙස ඔහු ජනපති ධූරයේ පිහිටු වීම පිළිබඳව ප්‍රීතිය පළකර ඇත.

මෙම සුවිශේෂි හමුවේදී ඇය ඉතා දැඩිව අවධාරණය කර ඇත්තේ, වෙනිසියුලාව තුළ තවදුරටත් කිසිදු ආකාරයේ මානුෂීය අයිතීන් කඩකිරීම්, අත්අඩංගුවට ගැනීම්, දේශපාලන පළිගැනීම් හා මූලික අයිතිවාසිකම් සම්බන්ධ සීමාකම් පැනවීම් ආදී කිසිදු අවැඩක් සිදුව නවා නම් ඊට එරෙහිව වහ වහා පියවර ගත යුතු බවය. වෙනිසියුලාවේ උපායමාර්ගික අංශවල ඉතාලියානු ආයෝජන අවස්ථා උදා කර ගැනීමට තමන් අදහස් කරන බව ද ඇය එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. එම සාකච්ඡා ඔස්සේ විවිධ ජාත්‍යන්තර ප්‍රවේශයන් වෙත යොමුවීමට අවස්ථාව උදා වූ බව තව නොබෝ දිනකින් වෙනිසියුලානු ජනපති ධුරය භාර ගැනීමට සිටින ගොන්සාලෙස් පවසා ඇත.

පී. ආර්. දුෂාන්ති සිල්වා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division