ලොව වැඩිම අවධානයට ලක්වූ අමෙරිකාවේ ජනාධිපතිවරණයට තව ඇත්තේ දින කිහිපයක් පමණි. හිටපු ජනාධිපති රෙපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් උපජනාධිපති ඩිමොක්‍රටික් අපේක්ෂිකා කමලා හැරිස් අතර කරට කර සටනක් නිර්මාණය වී ඇති බැවින් මෙවර ජනාධිපතිවරණය මෑත ඉතිහාසයේ වඩාත්ම තියුණු ජනාධිපතිවරණය බවට ද පත්වී තිබේ.
ඉදිරි වසර 4ක කාලයකට අමෙරිකාවට නායකත්වය දෙන 47 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමට මේ මස 5 වැනිදා එරට මිලියන 186.5ක ජනතාවට අවස්ථාව ලැබී තිබේ. පූර්ව ඡන්ද විමසීමේ ක්‍රමය හේතුවෙන් දැනටමත් එරට ඡන්දදායකයන්ගෙන් මිලියන 62කට වඩා සිය ඡන්දය භාවිත කර අවසන් බව ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ මැතිවරණ විශ්ලේෂණ ඒකකය ප්‍රකාශ කර තිබේ. වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් ද පසුගියදා එම ක්‍රමයට අනුව සිය ඡන්දය භාවිත කර තිබිණි. එබැවින් නොවැම්බර් 5 වැනිදාට ඡන්ද මධ්‍යස්ථාන වටා එක්රොක් වන්නේ ඉතිරි ඡන්දදායකයන් පිරිස පමණි.
වසර 2016දී පළමුවරට අමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වූ 78 හැවිරිදි ට්‍රම්ප් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ පසුගිය 2020 ජනාධිපතිවරණයේදී ජෝ බයිඩ්න් හමුවේ පරාජයෙන් පසුවය. ඔහුගේ ප්‍රතිවාදිනිය බවට පත්වූ 60 හැවිරිදි කමලා ජනපති බයිඩ්න්ගේ උපජනාධිපතිනිය වේ. මේ වනවිට මැතිවරණ සටනේ ජනප්‍රියතමයා ට්‍රම්ප් වූවද ඉන්දීය සම්භවයක් සහිත කමලා හැරිස් ද ඊට නොදෙවැනි ජනප්‍රියත්වයක් ලබා සිටී. එරට දේශපාලන විශ්ලේෂකයන්ට අනුව දෙදෙනා අතර ඇත්තේ කෙස් ගසක වෙනසක් පමණි. එම විශ්ලේෂණවලට අනුව මේ වනවිට කමලා හැරිස් ඉදිරියෙන් පසුවුවද දෙදෙනා අතර ඇත්තේ සියයට 1.4ක තරම් සියුම් වෙනසකි. එය කෙසේ වුවද ජනප්‍රියත්වය අමෙරිකාවේ ජනපතිධුරයට පත්වීමේ සාධකයක් නොවන බව එරට ජනාධිපතිවරණ ඉතිහාසයේ පාඩම් එමටය. 2016 ජනාධිපතිවරණයේදී සිදු වූයේ ද ඒ ටිකමය. එවර අමෙරිකාවේ බහුතර කැමැත්ත සහ ජනප්‍රියත්වයට පාත්‍ර වූ හිලරි ක්ලින්ටන් ඡන්ද මිලියන 65.85ක් ලැබුවද, ඡන්ද මිලියන 62.98ක් ලැබූ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති සටන ජයගත්තේය. වසර 2000 ජනාධිපතිවරණයේදී ඇල් ගොර් පරාජය කරමින් ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ජයග්‍රහණය අත්කර ගත්තේ ද එලෙසිනි.
සිය ජනතාවගේ වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබා ජනප්‍රියත්වයට පත්වූවද ජනපති වීමේ අවස්ථාව ගිලිහී යන ලොව එකම ප්‍රජාතන්ත්‍රවාදී රට වන අමෙරිකාවේ එවැනි තත්ත්වයක් උදා වී ඇත්තේ එරට සියලු ප්‍රාන්තවල ක්‍රියාත්මක වන ඡන්ද ක්‍රමයක් නිසාය. එය හඳුන්වනු ලබන්නේ Electoral College සමූහය යනුවෙනි. සෑම ප්‍රාන්තයකම සියලු දේශපාලන පක්ෂ ඔවුන්ගේ සමූහය තෝරා ගනු ලබන්නේ මැතිවරණයට පෙරදීය. එය සමන්විත වන්නේ පක්ෂ නිලධාරින්ගෙනි. අමෙරිකාවේ ජනගහණය අනුව ජාතික මට්ටමේ මැතිවරණයක් පැවැත්වීමට වැය වන කාලය සහ මුදල් කන්දරාව සැලකිල්ලට ගෙන මෙවැනි මැතිවරණ ක්‍රමවේදයක් අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වූයේ අද ඊයෙක නොව 1787 වසරේ සිටය. පසුකාලීනව එම Electoral College ක්‍රමය මතවාදයට ලක්වූවද, අද වනවිටත් එම ක්‍රමය සංශෝධනය කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම වෙනම කතාවකි.
අමෙරිකාවේ ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට එරට සියලු පුරවැසියන්ට අවස්ථාව උදා වූවද, අවසන් අදියරේදී ජනාධිපතිවරයා තීරණය කරනු ලබන්නේ ජනතා ඡන්දයෙන් නොව එක් එක් ප්‍රාන්තවල ස්ථාපිත වී ඇති එම Electoral College ක්‍රමය යටතේය. ඒ අනුව ජනපති තෝරා ගැනීමේදී තීරණාත්මක වන්නේ ඡන්ද 538ක් පමණි. එම ඡන්ද 538 අමෙරිකාවේ ප්‍රාන්ත 50කට සහ කොලොම්බියා ස්වයංපාලන කලාපයට බෙදී ගොස් ඇත්තේ පාර්ලිමේන්තුව සහ සෙනෙට් සභාව නියෝජනය කරන ආසන සංඛ්‍යාවට සමානවය.
අමෙරිකාවේ ප්‍රාන්ත 50ක එවැනි ආසන 535ක් ඇති අතර, කොලොම්බියා සමූහයේ දිස්ත්‍රික්ක සඳහා එසේ වෙන්කර ඇති ආසන සංඛ්‍යාව 3කි. ජනපති ධුරයට පත්වීමට අවශ්‍ය වන්නේ එම Electoral College ඡන්ද අතුරින් 270ක් පමණි. පසුගිය 2020 ජනාධිපතිවරණයේදී ජෝ බයිඩ්න් Electoral College ඡන්ද 306ක් දිනා ගත් අතර, ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමි වූයේ ඡන්ද 232ක් පමණි. Electoral College යනු ස්ථානයක් හෝ කාර්යාලයක් නොව එය මැතිවරණ ක්‍රමවේදයක් පමණක් වන අතර, එක් එක් ප්‍රාන්තවලින් පාර්ලිමේන්තුව නියෝජනය කරන ආසන සංඛ්‍යාව අනුව Electoral College ඡන්ද හිමියන් තීරණය කරනු ලබන්නේ අදාළ ප්‍රාන්තයේ බලධාරීන් විසිනි. ඒ අනුව ඩිමොක්‍රටික්, රෙපබ්ලිකන් පක්ෂ පමණක් නොව සෙසු සුළු පක්ෂ නියෝජනය වීමේ අවස්ථාව ද එම ක්‍රමයට ඇතුළත් වී තිබේ.
ජනපතිවරයා තීරණය කරන අවසන් අදියර වන ඡන්ද 538කින් සමන්විත Electoral College ක්‍රමය තුළ එක් එක් අපේක්ෂකයන් සඳහා වෙන් වෙන් වශයෙන් කණ්ඩායම් පත් කර ඇති බැවින් එය එක් අතකින් විනිවිදභාවයකින් යුතු ක්‍රමවේදයක් බවට හඳුන්වනු ලැබුවද, එය මෙතෙක් කාලයක් සාර්ථකව සිදු වූවද, බහුතර ජනතාවගේ කැමැත්තට හා ජනතාව අතර ජනප්‍රියත්වයට පත් වු අපේක්ෂකයන් පරාජයට පත්වීමේදී ඉතා බරපතළ ලෙස විවේචනයට ලක්වූ අවස්ථාවන් ද එමටය. හිලරි ක්ලින්ටන් සහ ඊට පෙර ඇල් ගෝර් පරාජයට පත්වීමේදී සිදු වූයේ එවැනි තත්ත්වයකි.
අමෙරිකානු මැතිවරණ ඉතිහාසයට අනුව එරට ප්‍රධානතම පක්ෂ ද්විත්වය වන රෙපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂවලට පොදු වූ ප්‍රාන්ත කිහිපයක් ද වේ. ඒවා සම්ප්‍රදායිකව ප්‍රධාන පක්ෂවලට පූර්ණ වාසි ගෙන දෙන ප්‍රාන්ත බවට පත්වී තිබේ. කැලිෆෝනියා, ඔරිගන්, වොෂින්ටන් වැනි ප්‍රාන්ත ඩිමොක්‍රටික් පක්ෂයට වාසිදායක බවටත්, ඇලබාමා, ලුසියානා හා ටෙක්සාස් වැනි ප්‍රාන්ත රෙපබ්ලිකන් පක්ෂයට වාසිදායක බවටත් ප්‍රකටය. එසේ වුවද පාවෙන ඡන්ද බවට පත් වී ඇති ප්‍රාන්ත 7ක් ද වේ. පෙන්සිල්වේනියා, මිචිගන්, ජෝර්ජියා, උතුරු කැරොලිනා හා නෙවාඩා වැනි එවැනි ප්‍රාන්තවලට ඕනෑම මැතිවරණයකදී අපේක්ෂකයන්ගේ වැඩි උනන්දුවක් සහ අවධානයක් යොමු වන අතර, මෙවර ජනාධිපතිවරණයේදී කමලා හැරිස් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිම ප්‍රවර්ධන වැඩසටහන් පවත්වනු ලැබුවේ ද එම ප්‍රාන්ත කේන්ද්‍ර කර ගනිමිනි. මීට මාස කිහිපයකට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයකින් දිවි ගලවා ගත්තේ ද එවැනි පාවෙන ඡන්ද ඇතුළත් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේදීය.
මැතිවරණයක අවසන් දින කිහිපයේදී අනාවැකි පිට අනාවැකි පළ වීම ලොව පුරා සියලු රටවල සුලබව දක්නට ලැබුණද, මෙවර අමෙරිකානු ජනාධිපතිවරණය ඊට හාත්පසින්ම වෙනස් මුහුණුවරක් ගෙන තිබේ. රටේ මීළඟ ජනාධිපති කවුරුන් දැයි කිසිදු දේශපාලන විශාරදයකුට තවමත් අනාවැකි පළ කළ නොහැකි තරම් එය සංකීර්ණ වී තිබේ. ඉන් පැහැදිලි වන්නේ එක් නගරයක හෝ එක් ප්‍රාන්තයක එක් ඡන්දයකින් පවා ජනාධිපතිවරණය උඩු යටිකුරු වීමට ඇති ඉඩකඩ වැඩි බවය. මේ වනවිට ජනප්‍රියත්වය අතින් ඩොනල්ඩ් ට්‍රම්ප් පසු වන්නේ කමලා හැරිස්ට වඩා ඉදිරියෙනි. ට්‍රම්ප් පසුවන්නේ ද කමලා හැරිස්ට වඩා උද්දාමයකිනි. එහෙත් නොවැම්බර් 5 වැනිදා ජනතාව ප්‍රකාශ කරන ඡන්දය සෘජුවම රටේ ජනාධිපතිවරයා තෝරා පත් කරගනු ලබන ඡන්ද භාවිතයක් නොවන බැවින්ද, ජනප්‍රියත්වය මැතිවරණයේදී තීරණාත්මක සාධකයක් නොවන බැවින්ද වේලාසනින්ම ජයග්‍රහණය සැමරීමට ට්‍රම්ප් මෙන්ම කමලා ද ඉක්මන් නොවනු ඇත. මන්ද ඉදිරි වසර 4දී ධවල මන්දිරයේ හිමිකාරිත්වය දරනු ලබන පුද්ගලයා තෝරා ගන්නා ජනාධිපතිවරණයේ සැබෑ යුද බිම වන්නේ නොවැම්බර් 5 වැනිදා ජනතාව භාවිත කරන ඡන්දය නොව එම ඡන්ද ප්‍රතිඵල අනුව Electoral College ක්‍රමවේදයෙන් ගණනය කරනු ලබන ඡන්ද සංඛ්‍යාව බැවිනි.
අමෙරිකාවේ සෑම ජනාධිපතිවරණයක්ම පවත්වනු ලබන්නේ අදාළ වසරේ නොවැම්බරයේ පළමු අඟහරුවාදා ය. අමෙරිකානු පුරවැසියන් සිය ඡන්දය භාවිත කරනු ලබන්නේ එදිනටය. අනතුරුව එම ඡන්ද ගණනය කර සහතික කිරීමෙන් පසු දෙසැම්බරයේ දෙවැනි බදාදාට පසු එළැඹෙන පළමු අඟහරුවාදා Electoral College සමූහයේ රැස්වීමක් අතරතුර ඡන්ද හිමියන් සිය ඡන්දය භාවිත කරන අතර, මෙවර එය පැවැත්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 17 වැනිදාය. එම ඡන්ද ගණනය කරනු ලබන්නේ ලබන වසරේ ජනවාරි 6 වැනිදා පැවැත්වීමට නියමිත කොන්ග්‍රසයේ රැස්වීමේදීය. අනතුරුව ජනවාරියේ 20 වැනිදා අමෙරිකාවේ 47 වැනි ජනාධිපති සහ 50 වැනි උපජනාධිපති එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධාන විනිසුරුවරයා ඉදිරියේදී දිව්රුම් දෙනු ඇත.
ෆවුස් මොහොමඩ්