Home » කෙම්පිටිය වලව්වට කළුවරේ ආ මාරයෝ

කෙම්පිටිය වලව්වට කළුවරේ ආ මාරයෝ

by thanushika
November 2, 2024 12:30 am 0 comment

දරුවෙක් මෙලොවට බිහි වීමෙන් පසුව මවුපියන් විසින් කැතකුණු අතගා අධ්‍යාපනය ලබා දී මෙරට රැකියාවකට හෝ පිටරට රැකියාවකට ඔවුන්ව යොමු කරන්නේ දරුවන්ගේ යහපැවැත්ම උදෙසාය. පසුව ඔවුන් විවාහ වී බිරිය, දරුමල්ලන් සමඟ ජීවිතය ගතකරද්දී මවුපියෝ වයෝවෘද්ධ තත්ත්වයට පත් වී නිවෙසේ කාමරයට ⁣පමණක් සීමා වෙති. දූ දරුවන් ද දෙස් විදෙස් රටවල සිදුකරන ජීවන සටනත් සමඟ ඇති කාර්යබහුලත්වය නිසා වයෝවෘද්ධ මවුපියන් ගැන සොයා බැලීමට ද කාලයක් නොමැති තරම්ය.

එවැනි දරුවකුගේ ඇස නොගැටුණු මවුපියන්ට අත් වූ අනුවේදනීය ඉරණමක් සම්බන්ධයෙන් ඉකුත්දා කෑගල්ල බුළුරුප්ප ප්‍රදේශයෙන් වාර්තා විය.

කෑගල්ල, හෙට්ටිමුල්ල, බුළුරුප්ප, කෙම්පිටිය වලව්වේ හිමිකරු වන්නේ ක්‍රිෂාන්ත පුලස්ති මාරපනයි. ඔහුගේ වයස අවුරුදු 75කි. කෑගල්ල, බුලත්කොහුපිටිය ප්‍රධාන මාර්ගයේ බුළුරුප්ප හන්දියෙන් වමට හැරී මීටර් 400ක් පමණ පසු කළ තැන මෙම ‘කෙම්පිටිය වලව්ව’ හමුවේ. පුලස්ති මාරපනගේ බිරිය මාලිකා කෙම්පිටියයි. මෙම යුවළට දරුවන් දෙදෙනෙකි. වැඩිමල් පිරිමි දරුවා ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටියි. දියණිය කලකට ඉහතදී හදිසියේ මිය ගියාය.

ක්‍රිෂාන්ත පුලස්ති මාරපන කෑගල්ල මීදෙනිය මාරපන වලව්වේ 11 දෙනෙකු ගෙන් යුත් පවුලක වැඩිමල් පිරිමි දරුවාය. පසුව ඔහු බුළුරුප්ප කෙම්පිටිය වලව්වේ පදිංචිව සිටි නැසීගිය ටී. බී. කෙම්පිටියගේ දියණියක් වන මාලිකා කෙම්පිටිය සමඟ විවාහ වී බුළුරුප්ප කෙම්පිටිය වලව්වේ පදිංචි වීය.

කෙම්පිටිය වලව්වට ගොඩ සහ මඩ ඉඩම් අක්කර ගණනාවකි. ගොඩ ඉඩම්වල රබර්, වල්ලාපට්ටා, කෙසෙල් ඇතුළු විවිධ ගස්කොළන් වගා කර තිබේ. විශාල කුඹුරු ද කම්කරුවන් යොදවා වැඩ කටයුතු සිදු කරන්නේ පුලස්ති මාරපන විසින්ය.

පුලස්ති මාරපන ගණිත ගුරුවරයෙකි. කෑගල්ල හෙට්ටිමුල්ල බණ්ඩාරනායක ජාතික පාසලේ සහ කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ සේවය කොට විශ්‍රාම ලැබිය. පසුව ඔහු කෑගල්ල ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කොට ජයග්‍රහණය කර මන්ත්‍රීවරයෙකු ලෙස දීමනාව ද නොගෙන ප්‍රදේශයේ ජනතාවට සේවය කළ මන්ත්‍රීවරයෙකි. ඔහු තම ධන පරිත්‍යාගයෙන් ප්‍රදේශයේ පාසල් දරුවන්ට පොත්පත්, ඇඳුම් පැලඳුම් සහ නිවෙසක් තනා ගැනීමට ඉඩමක් නොමැති දුප්පත් ජනයාට ඉඩම් කැබලි කඩා දී ඇති පරිත්‍යාගශීලි ධනවතෙකි. කලක සිට බිරිඳ අසනීප තත්ත්වයක් හේතුවෙන් එක්තැන්ව සිටියි. වලව්ව රැක බලා ගැනීමට ප්‍රදේශයේ 57 හැවිරිදි පුද්ගලයෙක් සිටි.

ඉකුත් 26 වැනිදා වලව්වේ මුරකරු වලව්වේ කුඹුරු වගා කිරීමට අවශ්‍ය බිත්තර වී මිලට රැගෙන ඒමට පොලොන්නරුවට ගොස් තිබුණේ ඔහුගේ පුතාට වලව්ව රැක බලා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙමිනි.

ඉකුත් 28 වැනිදා පෙරවරුවේ වලව්වේ වී මිලට ගැනීමට දෙදෙනෙක් ආනමඩුවේ සිට ලොරි රථයකින් වලව්වට පෙරවරු 7.30ට පමණ පැමිණ තිබේ. වලව්වට පැමිණි ලොරියේ සිටි දෙදෙනා පුලස්ති මාරපනට කතාකොට ඇත. වලව්වේ දොර ඇර තිබුණ ද කිසිම ප්‍රතිචාරයක් නොමැති අවස්ථාවේ දී 8.15 පමණ මුරකරුගේ පුතු පැමිණ වලව්වේ විවෘතව තිබුණු දොරෙන් ඇතුළතට ගොස් බලා තිබේ.

එම අවස්ථාවේ කාමරයක තිබුණු එක ඇඳක පුලස්ති මාරපන උඩුබැලි අතට වැටී සිටින අයුරු සහ මාලිකා කෙම්පිටිය බිම වැටී සිටින අයුරු දැක ‘බාප්පාට’ දන්වා තිබුණි. පසුව ඔහු පුලස්ති මාරපනගේ පවුලේ ඥාතීන්ට මේ බව දන්වා ඇති අතර පවුලේ ඥාතීන් විසින් මේ බව කෑගල්ල මූලස්ථාන පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් දන්වා තිබුණි.

පසුව කෑගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර රණසිංහ ඇතුළු කණ්ඩායමක් ගොස් විමර්ශන කටයුතු සිදු කරන ලදි.

පුලස්ති මාරපන සහ මාලිකා කෙම්පිටිය එකම කාමරයක ‘ඇඳන් දෙකක’ නින්දට ගොස් ඇති බවට හෙළි වී තිබේ. එක ඇඳක පුලස්ති ⁣මාරපන උඩුබැලි අතට වැටී සිට ඇති අතර ඔහුගේ මුඛයට ප්ලාස්ටර් ගසා තිබුණි. අත්පා බැඳ තිබුණි. ඇඳ සිටි සරම ගලවා ගෙල වටා ඔතා තිබුණි. ඝාතනයක් සිදුව ඇති බවට වටහා ගත් පොලිසිය වහාම අසල්වැසියන් හා ඥාතීන් එක්ව මාලිකා කෙම්පිටිය කෑගල්ල මහ රෝහලට ඇතුළත් කරන ලදි.

පසුව පොලිසිය කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව කෑගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් මැල්කම් මචාඩෝ සිද්ධිය වූ නිවෙසට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරන ලදි. දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අනතුරුව දේහය ඥාතීන්ට භාර දෙන ලෙසත් මරණය සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් අධිකරණයට හෝ කෑගල්ල මූලස්ථාන පොලිසියට දන්වන ලෙස මහේස්ත්‍රාත්වරයා පැමිණ සිටි ජනයාට නියෝග කළේය.

පසුව දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඉකුත් 29 වැනිදා කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුචිර නදීර විසින් සිදු කරන ලදි. වෛද්‍යවරයා විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබුණි.

තවදුරටත් විමර්ශන කටයුතු සිදු කිරීමේදී අනාවරණය වී ඇත්තේ යම් කිසි පිරිසක් නිවෙසට ඇතුළු වී නිවසේ අල්මාරි ඇතුළු දෑ අවුස්සා වටිනා භාණ්ඩ සොයා පසුව වලව්වේ හිමිකරු වන ක්‍රිෂාන්ත මාරපනගේ කාර් රථය ද රැගෙන පලා ගොස් ඇති බවයි. පසුව කාර් රථය පින්දෙනිය පොලිස් වසමේ කොට්ටපොළ ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පින්දෙනිය පොලිසිය විසින් සොයාගෙන තිබුණි. නිවෙසට ඇතුළු වී ඇති පිරිස සම්බන්ධයෙන් පොලිසිය දීර්ඝ විමර්ශනයක් සිදු කරමින් සිටී.

කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි.එල්. ලීලවංශගේ උපදෙස් මත පොලිස් අධිකාරි චන්දන කන්දේවත්තගේ සෘජු අධීක්ෂණයෙන් කෑගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගමගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර රණසිංහ, උප පොලිස් පරීක්ෂක ලාල් ප්‍රියන්ත, සැරයන් මාරසිංහ (48683), කොස්තාපල්වරුන් වන බණ්ඩාර (78617), නවරත්න (79840), චානක (90427), කෑගල්ල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිවංක දෙහිමඩුගේ, සැරයන් වසන්ත (34165) යන නිලධාරින් කණ්ඩායම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන ලදි.

චමින්ද ජයලත් කෑගල්ල විශේෂ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division