Home » ගම්පොළ කෝටිපතියකුගේ පුතෙක් මහමඟදී ගත් බිල්ල

ගම්පොළ කෝටිපතියකුගේ පුතෙක් මහමඟදී ගත් බිල්ල

by Mahesh Lakehouse
November 2, 2024 12:30 am 0 comment
අන­තු­රින් මිය­ගිය මොහො­මඩ් සිරාස්

– කෝටිපතියාගේ 17 හැවිරිදි පුත්‍රයා ධාවනය කළ ජීප් රථයට යටවී වයස අවුරුදු තුනහමාරක මොහොමඩ් සිරාස්ට දිවි අහිමි වෙයි
– නොනවත්වා ධාවනය වූ ජීප් රිය පලතුරු වෙළෙන්දෙකුත් හප්පලා

කෝටිපති ව්‍යාපාරිකයකුගේ 17 හැවිරිදි පුතෙකු පැද ආ නවීන ජීප් රථයක්, ඉදිරියෙන් ගමන් ගත් ත්‍රීරෝද රථයක හැපෙන්නේ ගම්පොළ බස් නැවතුම්පොළ ඉදිරිපිට ඇති සුදු ඉර අසලදීය. එම රිය අනතුරින් ත්‍රීරෝද රථය මාර්ගය මත පෙරළී යාමෙන් එහි ගමන් ගත් වයස අවුරුදු තුනහමාරක පිරිමි දරුවකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමේ සිද්ධියෙන් ප්‍රදේශවාසීහු තවමත් කම්පාවට පත්ව සිටිති.

මේ අනතුරින් මියගොස් ඇත්තේ විදේශ රටක සිට ගම්පොළ ඉල්ලවතුර ප්‍රදේශයට පැමිණ සිටි මොහොමඩ් සිරාස් අම්ඩේ නමැති දරුවායි.

අනතුර සිදුකර ඇති ජීප් රථය නොනවත්වා මීටර 55ක් පමණ ඉදිරියට ගොස් ගම්පොළ පෞද්ගලික බස් නැවතුම්පොළ තුළට හැරවීමේදී එහි සිටි පලතුරු වෙළෙන්දෙක් ද එම රියේ ගැටී ඇති අතර අසල තිබූ තවත් ත්‍රීරෝද රථයක ද ජීප් රථය ගැටී එම ජීප් රථය නැවතී තිබේ. මේ රිය අනතුර සිදුවූ ආකාරය නගරයේ බොහෝ දෙනා දැක තිබිණි.

අනතුරින් පලතුරු වෙළෙන්දා ද තුවාල ලබා ඇති අතර ත්‍රීරෝද රථයට ද හානි සිදුවී තිබේ.

දරුවා සමඟ ඔහුගේ මව, පියා හා සහෝදරියන් දෙදෙනෙකු කටාර් රාජ්‍යයේ සිටින බවත් ගම්පොළ, ඉල්ලවතුර ප්‍රදේශයේ පදිංචි පියාගේ මව අසනීපව රෝහල්ගත කර සිටීම නිසා මොවුන් ලංකාවට පැමිණ ඇත්තේ ඇගේ දුකසැප බැලීම සඳහාය.

රෝහල්ගතව සිටින මව බැලීමට මව සහ පියා ගොස් ඇති අතර දරුවා රැගත් වෙනත් ත්‍රීරෝද රථයක් රෝහල වෙත ගොස් ඇත්තේ ඉන් අනතුරුවය.

ඒ යන අතරතුර පිටුපසින් පැමිණි මෙම ජීප් රථය ත්‍රීරෝද රථයේ ගැටී ඇති අතර එය විසි වී පෙරළී ඇති බව පොලිසිය සඳහන් කරන්නේ මේ ගැන සිදුකරන ලද විමර්ශනවලින් පසුවය.

තුවාල වූ දරුවා ඇතුළු සියලු දෙනා රෝහල්ගත කළ ද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවා මරුමුවට පත්ව ඇත.

දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ද සිදු කෙරිණි. රෝහල් හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක විසින් මරණ පරීක්ෂණය සිදු කරන ලදි.

ජීප් රථය පැදවූ ව්‍යාපාරිකයාගේ පුතා දාහත් හැවිරිදි පාසල් සිසුවකු ද වන අතර ඔහු ගම්පොළ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරික්ෂාකාරී ලෙස වාහනයක් ධාවනය කරමින් මාරක රිය අනතුරක් සිදුකිරීම නිසාය.

ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අසංක බණ්ඩාර ගුණතිලකගේ උපදෙස් මත පොලිස් අධිකාරි කමල් ආරියවංශගේ අධීක්ෂණයෙන් ගම්පොළ පොලිස් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දුගේ මෙහෙයවීමෙන් එහි රථවාහන අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නන්දන කුමාර, සැරයන්වරුන් වන (49007) වික්‍රමසිංහ, (68710) රත්නායක, (39885) කුලරත්න, (50699) පෙරේරා, (82711) රුචිර ශ්‍රී යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

සිරාස්ගේ මව හා පියා රෝහ­ලේදී වැල­පෙන අයුරු

සිරාස්ගේ මව හා පියා රෝහ­ලේදී වැල­පෙන අයුරු

ගම්පොළ - සුරංග දිල්හාන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division