ෆේස්බුක් (මුහුණුපොත) මෙන්ම සමාජ මාධ්‍ය හරහා තරුණ, තරුණියන් වෙනුවෙන් තරු පන්තියේ හෝටල්වල සංවිධාන කරන නීති විරෝධී ඩී.ජේ. මත්ද්‍රව්‍ය සාදයන් ගැන පසුගිය දිනවල දිගින් දිගටම අසන්නට දකින්නට ලැබුණේ ජනමාධ්‍ය මඟිනි.
මුහුණුපොත ඔස්සේ සංවිධාන කරන ලද මත්ද්‍රව්‍ය සාදයක් නුවරඑළිය ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක පැවැත්වෙද්දී එය වටලා තරුණයන් 31ක් නුවරඑළිය පොලිස් භාරයට ගැනුණේ නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි ඇතුළු නිලධාරීන් සිදුකළ වැටලීමකදීය. එම පිරිස කොළඹ සහ ප්‍රදේශ කීපයක පදිංචි අවුරුදු 19 – 32 වයසේ පසුවන අය වෙති. ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය පොලිසිය විසින් සොයාගන්නා ලදි.
නුවරඑළිය ප්‍රදේශයේ අදාළ නිවාඩු නිකේතනයේ සංවිධාන කර තිබූ එම ෆේස්බුක් මත්ද්‍රව්‍ය සාදය සඳහා බදුල්ල ප්‍රදේශයේ සිට පවුල් පිටින් සහභාගිවීමට නවීන පන්නයේ මෝටර් රථවලින් පිරිසක් යන බවට මෝටර් රථ අංක සමඟ බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්තට සිය විශ්වාසදායක ඔත්තුකරුවකු මාර්ගයෙන් තොරතුරක් ලැබිණි.
ඒ අනුව බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චානක විරංජීව විජේරත්න ඇතුළු නිලධාරීන් කැඳවූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත ඔවුන්ට අවශ්‍ය උපදෙස් දුන්නේ මේ ගැන ඉතා ඉක්මනින් සොයා බලන ලෙසය.
ඒ අනුව බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති චානක විරංජීව විජේරත්න ඇතුළු නිලධාරීන් බදුල්ල – බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හාලිඇළ, බෝගහමඩිත්ත ප්‍රදේශයේ ක්ෂණික මාර්ග බාධකයක් යොදා රථ වාහන පරික්ෂාවට ලක් කරන්නේ අදාළ පිරිස සොයා ගැනීමටය.
මේ අතරතුරේ ලද තොරතුරු අනුව එම අංක සඳහන් නවීන පන්නයේ වාහන දෙකක් බදුල්ල සිට හාලිඇළ නගරය දෙසට වේගයෙන් ධාවනය වෙමින් තිබිණි.
පොලිස් නිලධාරීන් වහා එම මෝටර් රථ දෙක නවතා පරීක්ෂා කරන ලදි. තරුණ තරුණියන් පිරිසක් එහි සිටි අතර තමන් නුවරඑළිය ප්‍රදේශයේ විනෝද චාරිකාවක යන බව ඔවුහු පොලිස් නිලධාරීන්ට පැවසූහ. මානසික රෝගීන්ට ලබා දෙන මත්පෙති 22ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2830ක්, හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 840ක්, කූෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 130ක් සමඟ වාහන දෙකේ සිටි අය අත්අඩංගුවට ගැනීමට කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින්ට හැකිවූයේ එහිදීය.
බදුල්ල නගරය අවට ප්‍රදේශයේ පදිංචි මොවුන් සියලුම දෙනා වාහන දෙක සමඟ බදුල්ල පොලිසිය භාරයට ගෙන ගොස් බදුල්ල පොලිසියේ නිල සුනඛ අංශයේ නිල සුනඛ ‘ටීමී’ගේ සහාය මත දැඩි පරීක්ෂාවට ලක් කරන ලදි. මෙහිදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2830ක්, හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 840ක්, කූෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 130ක් සහ මානසික රෝගීන් සඳහා ලබා දෙන මත්පෙති 22ක් සමඟ බදුල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 34, 37, 39 වයසේ පසුවන තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනිණි. තරුණියන් ඇතුළු සෙසු පිරිසගේ ප්‍රකාශ සටහන් කරගෙන ඔවුන් මුදාහැරීමට කටයුතු කරන ලදි. අත්අඩංගුවට ගත් තරුණයන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මොවුහු නුවරඑළිය ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක මුහුණුපොත හරහා සංවිධාන කර තිබූ මත්ද්‍රව්‍ය ඩී.ජේ. සාදයකට යන බවට පොලිස් නිලධාරීන් හමුවේ පැවැසූහ.
බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත, පොලිස් අධිකාරි බුද්ධික ගුණසේකර යන නිලධරයන්ගේ උපදෙස් මත බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චානක විරංජීව විජේරත්න ඇතුළු නිලධාරීන් මෙහෙයුම සිදුකරන ලදි.
සී.ගමගේ – සොරණාතොට සමූහ