ජාවාරම්කරුවන් විදෙස් රටවල සිට හොර පාරෙන් මෙරටට රැගෙන එන භාණ්ඩ මෙතෙකයි කිව නොහැකිය. එකී නොකී භාණ්ඩ අතරේ වාහන අමතර කොටස් ප්‍රමුඛය. ඒ අතර මෝටර් බයිසිකල් අමතර කොටස් ජාවාරම ජයටම සිදු කෙරේ. මේ අයුරින් නීති විරෝධීව මෙරටට රැගෙන එන ඕනෑම භාණ්ඩයකින් රටට අහිමි වන බදු ප්‍රමාණය ගණනය කළ නොහැක. නැව් මඟින් ගෙන එන මෙවැනි භාණ්ඩ ගෙන එන්නේ ඉතාම සූක්ෂ්මවය.
මෙම ජාවාරම්වලට කොතෙකුත් වැට බැඳුණ ද සූක්ෂ්මව ඒවා කරළියට පැමිණෙන්නේ කාගේ වරදින් ද යැයි දන්නෝ දනිති.
මේ ඊට කදිම උදාහරණයකි.
සිද්ධිය වන්නේ වෙන්නප්පුව පොලිස් වසමේය. ස්ථානය හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ නයිනමඩම ගිං ඔය පාලම අසලය. තීරු බදු නොගෙවා ජපානයෙන් හොර රහසේ රැගෙන එන මෝටර් බයිසිකල් අමතර කොටස් එකලස් කර මෝටර් බයිසිකල් විකිණීමට කටයුතු කර තිබිණි. ඒ නිවසක් ඇතුළතය.
වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චිට මේ පිළිබඳව රහසිගත තොරතුරක් ලැබුණේ ඉකුත් 29 වැනි දිනය.
මේ තොරතුර කන වැකුණු වහාම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා උපාය දූතයන් යොදවා තොරතුරු ලබාගැනීමට කටයුතු කළේය. දින කීපයක් උපාය දූතයන් අවට සැරිසරමින් අදාළ තොරතුරු සනාථ කරගත්තේය.
ඒ අනුව පොලිස් කණ්ඩායමක් අදාළ නිවස ඇතුළත පවත්වාගෙන යන මෙම මෝටර් බයිසිකල් එකලස් කිරීමේ ජාවාරම වැටලීමට කටයුතු කරන ලදි. අලෙවිය සඳහා සකස් කරන ලද මෝටර් බයිසිකල් තුනක්, ඉන්ධන ටැංකි, චැසි, එන්ජින්, ටයර් ඇතුළු අමතර කොටස් රැසක් මෙහිදී අත්අඩංගුවට ගැනුණි. ජාවාරමට හවුල් වයස අවුරුදු 38ක්වූ ප්‍රධාන සැකකරු ද පොලිසියට කොටු විය.
පොලිස් භාරයට ගත් මෙම මෝටර් බයිසිකල් හා අමතර කොටස්වල වටිනාකම රුපියල් කෝටි එකහමාරකට අධික බව හෙළි විය. තවදුරටත් විමර්ශන සිදු කිරීමේදී අනාවරණය කරගැනීමට හැකි වූයේ මීට පෙර මෙසේ සකස් කළ මෝටර් බයිසිකල් තිහකටත් වඩා රටපුරා ප්‍රදේශ ගණනාවක පුද්ගලයන්ට අලෙවිකර ඇති බවයි. විශේෂයෙන් මෙවැනි මෝටර් බයිසිකල් තරුණයන් විශාල ලෙස මිලදී ගැනීමට පෙළඹී සිටින අතර ඔවුන් තමනට අවශ්‍ය වන අවස්ථාවක අන්තර්ජාලය ඔස්සේ හා වෙනත් වෙනත් ක්‍රම මඟින් තොරතුරු සොයාගෙන මෙම ස්ථානයට පැමිණ මෝටර් බයිසිකල් මිලදී ගන්නා බව අනාවරණය විය. මෙසේ එකලස් කර අලෙවි කිරීමට කටයුතු කරන ලද මෝටර් බයිසිකල්වල ලියාපදිංචි සහතික ඇතුළු ලියකියවිලි කිසිවක් නොමැති නිසා ඒවායේ නියම වටිනාකමට වඩා ඉතා අඩු මිලකට අලෙවි කරන බව පොලිසිය සඳහන් කෙළේය.
රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනාකමකින් යුත් මෝටර් බයිසිකලයක් රුපියල් ලක්ෂ හත අටකට අලෙවි කිරීමට මෙම ජාවාරම්කරුවන් කටයුතු කරන බව හෙළි විය.
මෙසේ සකස් කරන ලද මෝටර් බයිසිකල් තිහකට වැඩි සංඛ්‍යාවක් මේ වන විට ප්‍රදේශ ගණනාවකට අලෙවිකර ඇති බව පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.
මෙම ජාවාරම සම්බන්ධව තවත් තොරතුරු ලබා ගැනීමට පොලිසිය දීර්ඝ විමර්ශනයක් සිදු කරමින් සිටින බව වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේය.
හලාවත කොට්ඨාස භාර පොලිස් අධිකාරි පාලිත අමරතුංගගේ උපදෙස් මත වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චිගේ මෙහෙයවීමෙන් දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද ගුණසේන, සැරයන්වරුන් වන 86820 කුමාර, 24045 දිල්මි, 8457 සේනක, කොස්තාපල්වරුන් වන 80026 කුමාරතුංග, කාන්තා පොලිස් කොස්තාපල් 13309 රේණුකා ඇතුළු පිරිසක් මෙම වැටලීම සිදු කරන ලදි.
මිහිර විජේසේකර – මාරවිල සමූහ