මී ගවයින් දඩයම් කිරීමේ සිදුවීම් දිනෙන් දින වාර්තා වෙයි. පොලිසිය ද එම කල්ලි කණ්ඩායම් පසුපස ලුහුබඳින්නේ ඔවුන් අල්ලා ගැනීම සඳහාය. එහෙත් ජාවාරම්කරුවෝ ද ඉතා සූක්ෂ්මය. ඔවුන් තැන තැන ගොස් මීගව දඩයමේ නිරත වෙති.
කොත්මලේ ජලාශ රක්ෂිතය ආශ්‍රිතව සැරිසරන මී ගවයන් දඩයමේ පැමිණි පිරිසක් මී ගවයකුට වෙඩි තබා මරා මස් කරමින් සිටියදී කොත්මලේ යුද හමුදා කඳවුරේ සෙබළුන් විසින් එම පිරිසේ එක් අයෙකු සමඟ මෝටර් රථයක්, එම්.කේ.18 ඊ.එම්. වර්ගයේ තුවක්කුවක්, පිහි සමඟ රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදල් අත්අඩංගුවට ගෙන පුස්සැල්ලාව පොලිසිය වෙත භාරදී තිබුණේ පසුගියදාය.
මෙම පිරිස පසුගිය දිනෙක අලුයම තුනට පමණ මෝටර් රථයකින් පැමිණ මී ගවයාට වෙඩි තබා ඇති අතර එම වෙඩි හඬ සමඟ ඒ පිළිබඳව සෝදිසි කළ යුද හමුදා සෙබළුන් මෙම දඩයක්කරුවෝ දැක ඇත.
අවි අත දරා සිටින හමුදා සෙබළුන් දුටු දඩයක්කරුවෝ ද බියට පත්ව තම තුවක්කුව ඇතුළු සියලු දේ දමා පලා යමින් සිටියදී ඉන් එක් අයකු හමුදා සෙබළුන් විසින් මෙසේ අල්ලගෙන තිබුණි.
පලාගිය පිරිසගේ හැඳුනුම්පත්, රියැදුරු බලපත් සහ මුදල් පසුම්බි දමා ගොස් තිබුණ අතර රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් හමුදා සෙබළුන්ට හමුවී ඇත.
කොත්මලේ ජලාශ රක්ෂිත ප්‍රදේශයේ සිටින මීගවයන් සහ එළගවයන් දඩයම් කිරීම වසර ගණනක සිට සිදුවන අතර බොහෝ අය මෙය ජාවාරමක් බවට පත් කරගෙන ඇත්තේ ඉන් හොඳ ආදායමක් ද උපයා ගනිමිනි.
මොවුන් රැගෙනවිත් තිබූ මෝටර් රථයේ ඩිකියේ අමතර ටයරය ඉවත්කොට ඉටි කොළ අතුරා මස් ප්‍රවාහනයට සූදානම් කොට තිබෙන අයුරු ද දක්නට තිබුණි. එසේම මෝටර් රථයේ ඉදිරිපස බපල් එක ඇතුළේ සඟවා තිබූ තියුණු පිහි දෙකක් ද සොයා ගැනීමට හමුදා සෙබළුන්ට හැකි විය.
පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා තිබේ.
ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අසංක බණ්ඩාර ගුණතිලකගේ උපදෙස් මත පොලිස් අධිකාරි දුෂ්‍යන්ත හේරත්ගේ අධීක්ෂණයෙන් ගම්පොළ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු, පුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික හේමකුමාර යන නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ආරියරත්න, සැරයන් (82711) රුචිර ශ්‍රී ඇතුළු කණ්ඩායමක් රාත්‍රියේම එම ප්‍රදේශයට ගොස් යුද හමුදා කණ්ඩායම සමඟ එක්ව විමර්ශන ආරම්භ කර තිබුණි.
ගම්පොළ – සුරංග දිල්හාන්