පුරා වස්තුවක් යනු කුමක්ද? එය එම පනත්වලින්ම අර්ථනිරූපණය කර තිබේ. පුරාවිද්‍යා අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් යම් දෙයක් හෝ ස්ථානයක් පුරාවිද්‍යා ස්ථානයක් බවට සහතිකයක් ලබා දී ඇත්නම් එවැනි ස්ථානයක දෙවක් තමන් සතු කර ගැනීමට තැත් කිරීම මෙරට නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදකි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී පනතේ එවැනි වැරදිවලට සම්බන්ධ වූවන්ට කිසිම මහේස්ත්‍රාත් අධිකරණයකින් ඇප ලබාදීමක් සිදු නොවන්නේය.
මෙරට ඇතුළත නිදන් ගොඩ ගැනීමට යද්දී අල්ලන අය සහ සිරගත වන ප්‍රමාණය ඉහළ යමින් පවතියි. පුරාවස්තු ආඥා පනත් සම්බන්ධව පවතින අනවබෝධය හේතුවෙන් හිටිහැටියේ අන් සතු දේවල් ළඟාකර ධන කුවේරයන් බවට පත්වන්නට නොතිත් ආශාවන් පොදි බැඳගත් බොහොමයකට සිර ගෙවල්වල කල්දේරම් බත් කෑමට සිදුව ඇත්තේ ඒ හේතුවෙනි.
නිදන් වදුල් පහක් ගැන අපි අසා ඇත්තෙමු. ඉන් පළමුවැන්න වෛද්‍ය පරම්පරාව එක්ව ආරක්ෂා කරගෙන යන ‘බෙහෙත්’ වදුලයි. දෙවැන්න පුරාණ යක්ෂ ගෝත්‍රිකයන්ගේ දැනුම් සමභාරය ගොඩනැගී ඇති ‘වැව්’ වදුලයි. තෙවැන්න සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කර ඇති ස්ථානවලට අයත් ‘ධාතු’ වදුලයි. සිවුවැන්න ලොකු කුඩා සෑම ස්තූපයකම තැන්පත් කර ඇති ‘චෙත්‍යය’ වදුලයි.
මේ සියල්ලට වඩා අද සමාජයේ කතාවට බඳුන් වන්නේ ‘නිදන්’ වදුලයි. එය වදුලු ගණයට අයත් පස්වැන්නයි. ඇතැමුන් මේ පස්වැන්න ඇති තැන් සොයා ගොස් අමාරුවේ වැටෙනා අවස්ථා එමටය. සිරබත් කෑමෙන් පසුව ඇප මත මුදා හැර නිවෙසට පැමිණියත් වසර ගණන් නඩු කීමට ඔවුනට සිදු වේ. නිමේෂයකින් ධනවතුන් වන්නට පෙරුම් පිරූ මේ අයට අත්වන ඉරණම ශෝචනීය වේ. හරි මඟට ගොස් ජීවිතය ජයගත් අයට වඩා වැරදුණු දා අසරණතාවලට පත්වන පිරිස හාත්පසින් වැඩිය. රජයේ රැකියාවල නියැළෙන අයගේ රැකියා අහිමි වී ඇත. පවුලට තිබූ කීර්තිය පළුදු වී ඇත. නිදන්වලට ඇබ්බැහිවූවන් නිසා පවුල් පිටින් ලැජ්ජාවට පත්ව ඇත. පවුලේ සමගිය දෙදරා යයි. මේවායේ පැවැත්මක් තිබුණ ද එය තාවකාලික පැවැත්මකි. නීතියට හසු නොවී සිටින උදවියට වුවත් පැවැත්මක් නැතැයි යනුවෙන් සමාජයේ පැතිරෙන කතා ද එමටය.
එවැනි ‘නිදන් වදුලක්’ සොයා ගිය පිරිසක් ගොඩට ගත් ‘සේසත’ අලෙවි කරන්නට මත්තෙන් කොටුකර ගැනීමට පොල්පිතිගම පොලිසියේ නිලධරයන් කණ්ඩායමකට හැකිවූයේ පසුගියදාය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ යාපහුව රාජධානියට අයත් පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉරුදෙණියාය ජනපදයට අයත් පොතුවිල ප්‍රදේශයේ ගෙවත්තක පොළොව හාරා නිධානයකින් ගොඩට ගත් පුරාවස්තු තොගයක් නිෙවසක තබාගෙන වත්පිළිවෙත් අනුව ආවතේව කරමින් සිටිනා බවට ලද තොරතුරකට අනුව පොල්පිතිගම පොලිස් කණ්ඩායමක් ඉකුත්දා උදේ කාලයේදී එම ස්ථානය වටලන්නේ ඒ ගැන මුලින් ලැබුණ තොරතුරු ගැන සොයා බැලීමෙන් පසුවය.
පොලිසිය එහි ළඟා වන විටත් නිවෙසේ සාලයක මේසයක් මත බුද්ධ රූප සහ දේව රූප අසල තබා ඇති බඳුනක් සුදු පැහැති වස්ත්‍රයකින් වසා තිබුණි. එහි තිබුණේ නිධන් වස්තු සහිත බඳුනකි. ඒවාට සුවඳ දුම් අල්ලමින් දෙදෙනෙකු භක්තියකින් යුතුව ආවතේව කරමින් සිටිනු පොලිස් නිලධරයන්ට දැකගත හැකි විය.
ඒ අනුව අත්අඩංගුවට පත් දෙදෙනාගෙන් එම බඳුන්වල ඇත්තේ මොනවාදැයි පොලිසිය ප්‍රශ්න කළ විට ඔවුන් පවසා සිටියේ වත්තේ අඩි අටක පමණ වළක් දින කිහිපයක් තිස්සේ හාරා ඉන් මෙම වස්තුන් ගොඩට ගත් බවයි. ඒවා අතර රන් කාසි පහක්, මැණික් ගල් අටක්, ඒවා බහාලු තඹ සෙම්බුවක් හමුවූ බවද ඔවුන් පොලිසියට පවසා තිබිණි. බැලු බැල්මට පස්, මඩ මුසු වූ ඒවා පොළොවෙන් ගත් ඒවා බවට අනුමාන කෙරිණි.
ඒ සඳහා ගාල්ල ප්‍රදේශයේ සිට එහි පැමිණි ප්‍රධාන කපුවා පොලිසිය එම ස්ථානය වටලන අවස්ථාවේදී ඉන් නික්ම ගොස් තිබුණි. ඔහු ගාල්ල බලා ගිය බව අත්අඩංගුවේ පසුවන දෙදෙනා පැවසූහ.
එය එසේ වුවත් දුරකතර ගෙවා පැමිණි කට්ටඬියා වැඩේ කර නිධානය ගොඩට ගෙන දී තමාගේ ගතමනාව රැගෙන ගොස් ඇති බවට පවුලේ අයගෙන් දැනගන්නට ලැබුණි. එහෙත් අත්අඩංගුවට පත් දෙදෙනා ඒ සම්බන්ධව කිසිවක් පවසා නැත.
මෙහි වටිනාකම කොතෙක්ද යන්න මෙතෙක් හෙළිවී නැත. එය එසේ වුවත් නිදන් වස්තු සන්තකයේ තබාගෙන සිටි එක් සැකකරුවෙක් අවුරුදු 29ක් වයසැති අයෙකි. ඔහු පොල්පිතිගම පොලිස් වසමේ පදිංචිකරුවෙකි. අනෙකා අවුරුදු 44ක් පමණ වයසැති අයෙකි. ඔහු හලාවත පොලිස් වසමේ පදිංචිකරුවෙකි. ඔවුන් දෙදෙනාම මහව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
මෙම ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ඉඩමකි. ඒ සම්බන්ධව
පුරාවිද්‍යා අංශයේ බලධාරීන් පැමිණ මෙම අත්අඩංගුවට පත් භාණ්ඩ හා ස්ථානය නිරීක්ෂණය කොට ගියද තවමත් එහි වාර්තාවක් ලැබී නැත. එමෙන්ම මේවා සැබෑ රන් ද, සැබෑ මැණික් ද යන්න දැනගැනීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මඟින් පරීක්ෂණයක් සිදු කර ඇත. ඒ මහේස්ත්‍රාත්වරයා ලබාදී ඇති නියෝග මතය. එහි වාර්තාව ද මෙතෙක් ලැබී නැතැයි ද පොලිසිය කියයි.
වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සහ නිකවැරටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි වසන්ත ජයමිණි කුමාරගේ උපදෙස් මත මහව සහකාර පොලිස් අධිකාරි ප්‍රියන්ත බණ්ඩාරගේ අධීක්ෂණයෙන් පොල්පිතිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්රබුද්ධ කුලතුංග, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.එම්. හේරත්, සැරයන්වරුන් වන තිස්ස (17688), අනුර (33693), ලලිත් (38583), හේරත් (55029), ඒකනායක (36775), සංජීව (70792) යන නිලධාරින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අතර කාන්තා පොලිස් සැරයන් (2835) මේනකා, සැකකරුවන් සම්බන්ධව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට සහභාගි වූවාය.
පොල්පිතිගම නන්දන කැලේගම