Home » පිස්තෝලයක් හතළිස්දාහට විකිණෙන මාලිම්බඩ තුවක්කු ෆැක්ටරිය

පිස්තෝලයක් හතළිස්දාහට විකිණෙන මාලිම්බඩ තුවක්කු ෆැක්ටරිය

by sachintha
November 9, 2024 12:30 am 0 comment

මෙරට පාතාල ක්‍රියාකාරකම් සඳහා අපරාධකරුවන් විසින් බොහෝවිට යොදා ගනු ලබන්නේ විදේශයන්හි නිෂ්පාදනය කරන ලද තුවක්කු පිස්තෝල ඇතුළු අවිආයුධයි. ඇතැම්විට දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ගිනි අවිද යොදාගන්නා අවස්ථා ද ඇත. ඒ අතර ස්වර්ණාභරණ නිෂ්පාදනය කරන මුවාවෙන් තුවක්කු පිස්තෝල නිපදවා අලෙවි කළ පුද්ගලයකු රිවෝල්වරයක් සහ එය නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරන උපකරණද සමඟ මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 23 වන දින පස්වරුවේදීය.

ඒ මාතර කොට්ඨාස විශේෂ කාර්යාංශයේ නිලධාරීන් විසින් ලබා දෙන ලද තොරතුරකට අනුවය.

මාතර කොට්ඨාස විශේෂ කාර්යාංශයේ නිලධාරීන් විසින් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මන් කෝට්ටගේට මේ ගිනි අවි කම්හල පිළිබඳව තොරතුරු ලබා දුන්නේ ඉකුත් දිනකය.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මන් කෝට්ටගේ තමාට විශේෂ කාර්යාංශ නිලධාරීන්ගෙන් ලද තොරතුර පිළිබඳව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහට දැනුම් දුන් අතර ඔහුගේ උපදෙස වූයේ එදිනම විධිමත් මෙහෙයුමක් සැලසුම් කර අදාළ අවි කම්හල වටලා සැකකරුවන් සහ ගිනි අවි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට ක්‍රියා කරන ලෙසයි.

එම උපදෙස්වලට අනුව ක්‍රියාත්මක වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මන් කෝට්ටගේ තම ඒකකයේ සේවයේ නියුතු පොලිස් පරීක්ෂක එච්. එම්. ජේ. රත්නායක, උප පොලිස් පරීක්ෂක නුවන් සංජීව, උප පොලිස් පරීක්ෂක මිහිරංග, කොස්තාපල්වරුන් වන 92908 ඉෂාන්, 34912 පියරත්න, 99297 මධුසංඛ, 103950 බණ්ඩාර, 104298 ප්‍රියදර්ශන සහ කොස්තාපල් (රියැදුරු) 78926 සම්පත් යන නිලධාරීන් කැඳවා තමන්ට ලද තොරතුර සහ ඒ සම්බන්ධයෙන් මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ විසින් ලබා දෙන ලද උපදෙස් පිළිබඳව දැනුම්වත් කරන ලදි. අනතුරුව ගිනි අවි කම්හල වැටලීම සඳහා ඒ මොහොතේම සැලසුමක් සකස්කර නිලධාරීන් දැනුම්වත් කරන ලදි.

එලෙස සකස් කරන ලද සැලසුමට අනුව මෙහෙයුම ආරම්භ කළේ එදින පස්වරු හතරට පමණය. වහා මාලිම්බඩට ගිය පොලිස් කණ්ඩායම විශේෂ කාර්යාංශය ලබා දුන් තොරතුරට අදාළ නි‍ෙවස හඳුනාගෙන නිවෙස වටලා පරීක්ෂාවකට ලක් කළේය. එහිදී ගිනි අවි නිෂ්පාදනය කරන ලද බවට සැක කරන 64 හැවිරිදි සැකකරු හඳුනාගෙන ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ කරුණු මත වැඩිදුරටත් නිවස පරීක්ෂා කර සැකකරු විසින් නිෂ්පාදනය කර සඟවා තබා තිබූ උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් සහ ඊට යොදන උණ්ඩ පහක් සොයා ගන්නා ලදි. පොලිස් කණ්ඩායම තව තවත් එම නිවසේ සිදුකළ පරීක්ෂාවේදී ගිනි අවි නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා උපකරණ ද සොයා ගැනීමට හැකි විය.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු අනාවරණය කර සිටියේ තමා විසින් මීට පෙර අවස්ථා දෙකකදී රිවෝල්වර දෙකක් නිෂ්පාදනය කර මාතර තොටමුණ ප්‍රදේශයේ සහ මිදිගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකුට රුපියල් පහළොස් දහසකට සහ හතළිස් දහසකට අලෙවි කරන ලද බවයි.

එම තොරතුර අනුව පොලිස් කණ්ඩායම ඊළඟට ගමන් කළේ මාතර තොටමුණ ප්‍රදේශයටයි. සැකකරු ලබාදුන් තොරතුරට අනුව අදාළ නි‍ෙවස වට කළ පොලිස් කණ්ඩායම රිවෝල්වරය මිලදී ගත් බවට සැක කරන හතළිස් හතර හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තබන ලද තවත් ගිනි අවියක් සොයා ගන්නා ලදි.

දෙවැනි ගිනි අවිය සොයාගත් පොලිස් කණ්ඩායම ඒ බව තම උසස් නිලධාරියා වූ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහට දැනුම් දුන් අතර ඔහුගේ උපදෙස වූයේ තොරතුරේ සඳහන් ඊළඟ ගිනි අවියද එදිනම අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

එම උපදෙස් අනුව පොලිස් කණ්ඩායම ඊළඟට ගමන් කළේ මිදිගම ප්‍රදේශයේ ගිනි අවිය මිලදී ගත් පුද්ගලයා සොයාගෙනය. ප්‍රධාන සැකකරුගෙන් අනාවරණය කරගන්නා ලද තොරතුරු අනුව එම ගිනි අවිය මිලදී ගත් පුද්ගලයාගේ නි‍ෙවස වෙත ළඟා වූ පොලිස් කණ්ඩායම නැවත වතාවත් සැක හැර දැනගත්තේ තමන් ළඟා වී සිටින්නේ අදාළ සැකකරුගේ නි‍ෙවස වෙතද යන්නය.

සියලු තොරතුරු සැක හැර තහවුරු කර ගැනීමෙන් පසු පොලිස් කණ්ඩායම වහා එම නි‍ෙවස ද වටකර සෝදිසි මෙහෙයුමක් දියත් කළ අතර නීති විරෝධී ලෙස නිෂ්පාදනය කරන ලද ගිනි අවිය මිලදී ගත් බවට සැක කරන පනස් හතර හැවිරිදි පුද්ගලයා එහිදී අත්අඩංගුවට ගැනීමට සමත් විය.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී එකවර තොරතුර හෙළි කිරීමට ක්‍රියා නොකළ සැකකරු පසුව තමන් එය මිලදී ගත් බවත් මේ වන විට එය සඟවා තබා ඇති බවත් හෙළිදරව් කළේය. එම තොරතුර ඔස්සේ නිවස හා අවට ප්‍රදේශයේ පරීක්ෂා කළ පොලිස් කණ්ඩායම සැකකරු විසින් සඟවා තිබූ ගිනි අවිය දැඩි පරීශ්‍රමයකින් පසු අත්අඩංගුවට ගත්තේය.

මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා, ඔවුන් සන්තකයේ තිබූ ගිනි අවි සහ පළමු සැකකරු ගිනි අවි නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගත් උපකරණ ආදිය මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත රැගෙනවිත් වැඩිදුර පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකරුවන් තිදෙනාම මාතර මහේස්ත්‍රාත් අධිකරණෙට ඉදිරිපත් කරන ලද අතර ගිනි අවි මිලදී ගත් සැකකරුවන් දෙදෙනා වරද පිළිගැනීම හේතුවෙන් ඇප මත මුදා හැරිණි. නීති විරෝධී ලෙස ගිනි අවි නිෂ්පාදනය කර අලෙවි කිරීමේ කටයුතුවල නිරත වූ ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කළේය.

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න සහ තංගල්ල සහ මාතර කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසාගේ උපදෙස් සහ මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහගේ අධීක්ෂණයෙන් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

ජයසිරි පේදුරුආරච්චි – ගන්දර සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division