Home » පාතාලේ ටී56ක් එක්ක හිටපු අයිපී ගහපු ගේම්

පාතාලේ ටී56ක් එක්ක හිටපු අයිපී ගහපු ගේම්

by sachintha
November 9, 2024 12:31 am 0 comment

නීති විරෝධිව ටී56 තුවක්කුවක් ළඟ තබාගෙන පාතාල අපරාධ ක්‍රියාවන්ට සම්බන්ධ වූ හිටපු පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ අවේක්ෂණ සහ බුද්ධි ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක සම්පත් ඇතුළු නිලධාරින් කණ්ඩායමට ඉකුත් 1 වැනිදා හැකි විය. රටේ නමගිය අපරාධකාරයන් විසින් පසුගිය කාලයේ සිදුකළ අපරාධ ගණනාවකට භාවිත කළ ටී56 වර්ගයේ තුවක්කුව තැන තැන රැගෙන යමින් එම අපරාධවලට දායක වූ එම පුද්ගලයා ටී56 තුවක්කුව සමඟ එදින අලුයම් කාලයේ අත්අඩංගුවට ගැනුණේ මීගම, දර්ගා නගරයේ නි‍ෙවසක සිටියදීය. ඔහු අත්අඩංගුවට ගැනීමට සිදුකළ විමර්ශනය පියවරෙන් පියවර පෙළ ගැසෙන්නේ මෙසේය.

මීට මාසයකට පමණ පෙරදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් චන්දනට සිය පෞද්ගලික තොරතුරුකරුවකුගෙන් විශ්වසනීය තොරතුරක් ලැබිණි.

“සර්… හිටපු අයිපී මහත්තයෙක් පාතාලේ කට්ටියක් එක්ක සෙට් වෙලා ඉන්නවා… එයා මොකක්හරි තුවක්කු ජාවාරමක් කරනවා…“ යැයි කී එම තොරතුරුකරු එකී පුද්ගලයාගේ නම්-ගම් ඇතුළු සියලු තොරතුරු ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දනට දැනුම් දුන්නේය.

අනතුරුව එම තොරතුර පිළිබඳව මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙනිය ද දැනුම්වත් කෙරිණි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ඍජු අධීක්ෂණයෙන් එම පුද්ගලයා පිළිබඳව එම අංශයේ බුද්ධි සහ ආවේක්ෂණ ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක සම්පත් ඇතුළු කණ්ඩායම ආවේක්ෂණ සහ බුද්ධි තොරතුරු රැස් කරමින් ඔහු ගැන පුළුල් සෝදිසියක් සිදු කළේය.

එහිදී අනාවරණය වූයේ එම පුද්ගලයා අලුත්ගම, දර්ගා නගරයේ සිටින 37 හැවිරිදි මහේෂ් මධුර නමැත්තෙක් බවය. ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙක් බවත් මේ වසරේ පෙබරවාරි මාසයේදී වැඩ තහනමකට ලක්වූ අයෙක් බවත් හෙළිදරව් විය. එසේම මෙකී හිටපු පොලිස් පරීක්ෂකවරයා පොලිස් විශේෂ කාර්ය බළකායේ සිටියදීම මොරටුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක සමඟ සබඳතා පවත්වා ඇති බවත් අනාවරණය කර ගැනිණි.

විවාහකයකු ද වන මහේෂ් මධුරට දරුවකු ද සිටී. එහෙත් ඔහු බිරිය සමඟ වසර තුනක පමණ කලෙක සිට අමනාප වී සිටින බවත් ඔහු අවිස්සාවේල්ල ප්‍රදේශයේ වෙනත් කාන්තාවක සමඟ ඇසුරක් පවත්වන බවත් අවේක්ෂණ රාජකාරියේ නිරත වූ උපපොලිස් පරීක්ෂක සම්පත් ඇතුළු කණ්ඩායම අනාවරණය කරගත්තේය. ඒ අතර සීඅයිඩී නිලධාරින් වැඩිදුරටත් ඔහු ගැන කළ සෝදිසියේදී අනාවරණය වූයේ මහේෂ් මධුර පොලිස් විශේෂ කාර්ය බළකායෙන් ඉවත් කළ පසු එනම් මීට මාස කීපයකට පෙරදී වර්තමානයේ බූස්ස බන්ධනාගාරයේ පසුවන ගණේමුල්ල සංජීවගේ ප්‍රධාන ගෝලයෙක් වන දිනේෂ් වසන්ත සමඟද සබඳතාවක් ගොඩනඟා ගෙන ඇති බවය.

දිනේෂ් වසන්ත පාතාල අපරාධ ක්‍රියා ඔස්සේ මනුෂ්‍ය ඝාතන සහ වෙඩි තැබීම් කීපයකටම සම්බන්ධ වූ අපරාධකාරයෙකි. ඔහු ගණේමුල්ල සංජීව, පස් පොඩ්ඩා, පොඩි ලැසී, කරන්දෙණියේ සුද්දා වැනි නමගිය අපරාධකාරයන් සමඟ සබඳතා පවත්වන අයෙකි. හිටපු නාවික හමුදා සෙබළෙක් වන දිනේෂ් වසන්ත ගම්පහ, මාදෙල්ගමුවේ පදිංචිකරුවෙකි. 39 හැවිරිදි වසන්තගේ වැඩිමල් සහෝදරයා පැට්ටා මංජුය. මංජු මෙන්ම වසන්ත ද මේ වන විට ඩුබායි වෙත පලා ගොස් සිටින අපරාධකාරයන් දෙදෙනෙකි.

එලෙස ඩුබායි සිටින වසන්ත සමඟ ද සබඳතා පවත්වන මධුර ගැන ඉකුත් දින කීපයේම ඔහු යන එන තැන්, ඇසුරු කරන පුද්ගලයන් ගැන ආවේක්ෂණ රාජකාරියේ නිරත වූ සීඅයිඩී නිලධාරින් කණ්ඩායමට පසුගිය 31 වැනිදා තොරතුරක් ලැබී තිබුණේ මධුර සිය දරුවා බැලීමට ඔහුගේ විවාහක බිරිය සිටින වැලිපැන්න පොලිස් වසමේ, මීගම, තල්ගස්ගොඩ, සඳුන් උයනේ නි‍ෙවසට පැමිණෙන බවය. ඒ KH 6191 දරන කළු පැහැති ඇල්ටෝ රථයෙන් බවය.

ඒ අනුව ඉකුත් 1 වැනිදා අලුයම එම නි‍ෙවස වැටලූ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් චන්දන ඇතුළු කණ්ඩායම මධුර එම නි‍ෙවසේ සිටියදී අත්අඩංගුවට ගන්නා ලදි. අනතුරුව නි‍ෙවස සහ ඔහු යන-එන ඇල්ටෝ කාරය පුළුල් ලෙස පරීක්ෂාවකට ලක්කරද්දී නවීන පන්නයේ ටී56 තුවක්කුවක් සහ ඊට යොදන ජීව උණ්ඩ 30ක් සමඟ මැගසීනයක් එම කාරයේ පිටුපස අසුනේ කුෂන් කොටස හාරා ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබියදී සීඅයිඩී නිලධාරින් කණ්ඩායම විසින් සොයා ගැනිණි. අනතුරුව අත්අඩංගුවට ගත් හිටපු පොලිස් පරීක්ෂක මධුරගෙන් ප්‍රශ්න කරන්නට වූයේ ඒ වන විටත් සීඅයිඩී නිලධාරින් රැස්කරගෙන තිබූ තොරතුරු ඔස්සේය. එහිදී සීඅයිඩී නිලධාරින් මධුරගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළේ එම ගිනිඅවිය කෙසේ ලැබුණාදැයි විමසමිනි.

“මට මේක ලැබුණේ හෝමාගම පැත්තේ තැනකින්… මීට මාස තුනකට වගේ ඉස්සෙල්ලා… වසන්ත තමයි ඩුබායි ඉඳලා කතා කරලා මට මේ වෙපන් එක හෝමාගමට ගිහින් ගන්න කිව්වේ…“ යැයි ඔහු පාපෝච්චාරණය කළේය.

අත්අඩංගුවට ගත් 37 හැවිරිදි මහේෂ් මධුර මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රඳවා ගැනීමේ නියෝග මත වැඩිදුරටත් රඳවාගෙන සීඅයිඩී නිලධාරින් ප්‍රශ්න කළේය. එලෙස ප්‍රශ්න කරද්දී අනාවරණය වන්නේ අත්අඩංගුවට ගත් එම තුවක්කුව පසුගියදා සිදුවූ ක්ලබ් වසන්ත, හංවැල්ලේ බස් ව්‍යාපාරිකයා මෙන්ම හංවැල්ලේ මන්නා රොෂාන් යන අයගේ ඝාතනවලට මෙම ටී56 තුවක්කුව යොදාගෙන ඇති බවයි. ක්ලබ් වසන්ත ඝාතනයට යොදාගත් ටී56 තුවක්කු දෙකෙන් එකක් මෙම තුවක්කුව බවට හෙළි විය.

එසේම මෙම තුවක්කුව යොදාගෙන දිනේෂ් වසන්ත සහ පැට්ටා මංජුගේ උපදෙස් මත ගම්පහ ඔස්මන් සහ කෙහෙල්බද්දර පත්මේගේ පාර්ශ්වයේ අය ඝාතනය කිරීමට ද සූදානමක් තිබූ බව මධුර සිදුකළ පාපෝච්චාරණවලින් හෙළි වී තිබේ. ටී56 තුවක්කුව ළඟ තබාගෙන සිටිමින් මහේෂ් මධුර සිදුකර තිබුණේ කිසියම් ඝාතනයක් සඳහා ටී56ක් අවශ්‍ය බවට ඩුබායි සිටින දිනේෂ් වසන්ත හෝ වෙනත් අපරාධකාරයකුගෙන් දුරකතන ඇමතුමක් ලැබූ සැණින් එම ටී56 කාරයේ දමාගෙන ගොස් වෙඩික්කරුවන්ට ලබා දී එම අපරාධය සිදු කිරීමෙන් පසු නැවත එය ඝාතකයන් ගෙනැවිත් දමන ස්ථානයකින් ලබාගෙන රැගෙන යාමයි. එසේ පසුගිය කාලයේ මෙකී ටී56 යොදාගෙන සිදුකළ අපරාධවල වෙඩික්කරුවන් නැතිනම් ඝාතකයන් නීතියේ රැහැනට කොටු වුවත් ටී56 තුවක්කුව සොයා ගැනීමට නොහැකි වූයේ මධුර සූක්ෂ්ම ලෙස එම තුවක්කුව රැගෙන පලා ගොස් තිබූ හෙයිනි.

මධුරගේ බැංකු ගිණුම් පරීක්ෂාවේදී හෙළි වී ඇත්තේ පසුගිය මාස පහක පමණ කාලය තුළදී රුපියල් ලක්ෂ 40ක් පමණ මුදලක් එහි සංසරණය වී ඇති බවයි. ඒ අනුව මහේෂ් මධුරට දැනට අත්අඩංගුවේ පසුවන සහ ඩුබායි වෙත පලාගොස් සිටින නමගිය පාතාල අපරාධකාරයන් වන ගණේමුල්ල සංජීව, පොඩි ලැසි, අහුන්ගල්ලේ ලොකු පැටි, කරන්දෙණියේ සුද්දා වැනි අපරාධකාරයන් රැසක් සමඟ සබඳතා තිබී ඇති බවද හෙළි වී තිබේ. ඔහු එම අපරාධකාරයන්ගේ උපදෙස් මත ඝාතන සඳහා ටී56 සපයමින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් හම්බ කර ඇති බවද මේ වන විට අනාවරණය වී තිබේ.

අධිකරණ නියෝග මත හිටපු පොලිස් පරීක්ෂක මධුර වැඩිදුරටත් රඳවා තබාගෙන සීඅයිඩී නිලධාරින් විමර්ශන සිදු කරමින් සිටින්නේ ඔහු එම ටී56 සපයා දී සිදුකර ඇති සෙසු අපරාධ මොනවාද යන්න සොයා බැලීම සඳහාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති පී. අම්පාවිලගේ සහ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණියගේ උපදෙස් මත මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණියගේ අධීක්ෂණයෙන් එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් චන්දන, උපපොලිස් පරීක්ෂක සම්පත්, සැරයන් 40947 ගමගේ, කොස්තාපල්වරුන් වන 70701 සම්පත්, 32857 කුලසිංහ, 27275 මුණසිංහ, 27429 වීරසිංහ, 23652 හරිශ්චන්ද්‍ර සහ 92695 ඉද්දමල්ගොඩ යන නිලධාරීහු විමර්ශනවලට එක්වූහ.

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division