නිවාසවලට ඇතුළුවී දේපොළ සොරකම් කරගෙන යන සමහර සොර සතුරන් නිවාසවල පදිංචිකරුවන් පිටතට ගිය පසු පමණක් නොව නිවැසියන් නිවස තුළ නිදා සිටින විටද නිවාසවලට ඇතුළුවී දේපොළ සොරකම් කරගෙන යෑමට පුරුදුව සිටිති. ඇතැම් අවස්ථාවල සොරුන් නිවාසවලට ඇතුළුවී නිදා සිටින නිවැසියන්ට දීර්ඝ නින්දක් ලබාදීම සඳහා කිසියම් වායුවක් ආශ්වාස කිරීමට කටයුතු යොදා දේපොළ සොරකම් කරගෙන යන අයුරුද අසන්නට ලැබේ.
එමෙන්ම ඇතැම් සොරුන් නිවාසවලට ඇතුළුවී නිවැසියන්ට නොදැනෙන පරිදි දේපොළ සොරකම් කරගෙන යන අවස්ථා පිළිබඳ තොරතුරු අනාවරණය වේ.
නිවැසියන් නිදා සිටියදී ඔවුන්ට නොදැනෙන පරිදි රුපියල් ලක්ෂ 18ක් පමණ වටිනා මුදල් සහ රන් ආභරණ තොගයක් සොරකම් කරගෙන යෑමේ සිද්ධියක් නොබෝදා ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා විය. ගාල්ල නගරය ආසන්නයේ පිහිටි මෙම දෙමහල් නිවසේ රජයේ රෝහලක හෙදියක් ඇගේ මව්පියන් සහ සොහොයුරාද සමඟ පදිංචිව සිටිති. මෙම සොහොයුරා නිවසේ එක් කොටසක ඇලුමිනියම් භාණ්ඩ උපාංග නිපදවීමේ කම්හලක් පවත්වා ගෙන යනු ලබයි. අනිත් සොහොයුරා විදේශගතව සිටියි.
ගමේ කිසිවකුට කරදරයක් නොමැතිව අවශ්‍ය විටෙක අන් අයටද උදවු කරමින් මෙම පවුල සාමකාමීව ජීවත් විය. මේ අතර දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ අයෙකු මෙම ගමට මහත් හිසරදයක් විය.
‘දිල්ෂාන්’ නමැති මෙම පුද්ගලයා හෙදියගේ පවුලේද ඥාතියෙකු විය. දිනපතා මත්ද්‍රව්‍ය පානය කිරීමට දිල්ෂාන් කෙසේ හෝ මුදල් උපයා ගත්තේය. කාලය මෙසේ ගෙවී යද්දී මෙම හෙදියගේ නිවසට ඇතුළුවී දේපොළ සොරකම් කිරීමේ සිතක් දිල්ෂාන්ට පහළ විය. මේ සඳහා තම මිතුරන් දෙදෙනෙකුගේ සහාය ලබා ගැනීමට දිල්ෂාන් තීරණය කළේය. ඔවුන් දෙදෙනාද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෝ වෙති.
මේ සඳහා දිල්ෂාන් තම මිතුරන් දෙදෙනා හමුවීමට ගියේය. එම මිතුරන් දෙදෙනා දිල්ෂාන්ගේ ගමට යාබද ගමේ පදිංචිකරුවන්ය.
“මචං ‘තරුෂ’ අපේ ගමේ වැඩක් තියනවා. නයනත් එකතු කරගෙන තුන්දෙනාම මේ වැඩේට බහිමු. ලොකු මුදලකුත් ගන්න පුළුවන්” යැයි තරුෂ හමුවීමට ගිය දිල්ෂාන් තම ඥාති හෙදියගේ නිවස බිඳීමේ අදහස තරුෂට එලෙස ඉදිරිපත් කළේය. දෙවරක් නොසිතු තරුෂ එක්වරම දිල්ෂාන්ගේ යෝජනාවට කැමති විය. අනතුරුව නයනට ද මේ බව පැවසූ විට ඔහුද ඊට බලවත් ලෙස කැමැත්ත පළ කළේය.
අනතුරුව තිදෙනා හෙදියගේ නිවස බිඳීම සඳහා දිනයක් ද නියම කර ගත්හ.
මේ අතර පසුගිය අගෝස්තු මස 31 වන දින හෙදිය තම මව්පියන් සහ සොහොයුරා සමඟ ඥාතියෙකුගේ නිවසේ පැවති මංගල උත්සවයකට සහභාගී වීමට ගොස් ආපසු පැමිණෙන විට රෑබෝවී තිබුණි. ආපසු පැමිණ ඔවුන් පැලඳගෙන ගිය රන් ආභරණ පසුව අල්මාරියේ තැන්පත් කරන තෙක් මේස ලාච්චුවක දැම්මාය. ඊට පසු දින හෙදිය සේවයට ගියේ එම රන් ආභරණ ලාච්චුවේ තිබියදීය. මේ අතර එදින රාත්‍රී හෙදියගේ නිවස බිඳීමට දිල්ෂාන්, තරුෂ සහ නයන තීරණය කර තිබුණි. එදින රාත්‍රී ආහාර ගත් හෙදිය මව්පියන් සහ සොහොයුරා සුපුරුදු පරිදි නින්දට ගියහ. රෑබෝ වන විට තරුෂ සහ නයන යන දෙදෙනා දිල්ෂාන්ගේ නිවසට පැමිණියහ. පසුව මැදියම් රාත්‍රිය පසුවූ විට තිදෙනාම හෙදියගේ නිවස දෙසට ගියහ. දිල්ෂාන් හෙදියගේ නිවස තරුෂට සහ නයනට පෙන්නා ඈතට ගොස් බලා සිටියහ. ඒ වන විට හෙදියගේ පියා එක් කාමරයකද සොහොයුරා තවත් කාමරයකද හෙදිය සහ මව තවත් කාමරයකද නිදා සිටියහ. ඒ වන විට ඔවුහු තද නින්දේ පසු වූහ.
මැදියම් රැය පසුවී තිබුණි. දිල්ෂාන් පෙන්නූ මඟ ඔස්සේ ගොස් තරුෂ සහ නයන හෙදියගේ දෙමහල් නිවසේ උඩුමහලට නැඟ ගත්හ. එහි ඇලුමිනියම් තහඩුවලින් සවිකර තිබු දොරක් විවෘත කර ගත් තරුෂ සහ නයන නිවසේ බිම් මහලට පැමිණියහ. කාමර තුනක නිවසේ අය තද නින්දේ පසුවන අයුරු තරුෂලාට දැකගන්න ලැබුණි. ඔවුන්ගෙන් තමන්ට කිසිම බාධාවක් නොවන බව ඔවුහු අවබෝධ කර ගත්හ. එනිසා සොරුන් දෙදෙනා කිසිවකු නොසිටි කාමරයකට ඇතුළු වූහ. එහි මේස ලාච්චුවක් විවෘත කළ විට රන් ආභරණ තොගයක් ඇති බව දැකගත් මේ සොරු දෙදෙනා වහා එම රන් ආභරණ ගමන් මල්ලක දමා ගත්හ. අනතුරුව වසා තිබූ අල්මාරියක්ද විවෘත කළ විට එහි මුදල් තොගයක් දුටු සොරු දෙදෙනා එම මුදල් තොගයද ගමන් මල්ලේ දමා ගත්හ. තවදුරටත් මෙහි රැඳී සිටීම අනවශ්‍ය බව තේරුම් ගත් සොරුන් ඇතුළුවූ දොරෙන්ම වහා පිටතට පැමිණියහ. ඒ සමඟම ඈතටවී රැක සිටි දිල්ෂාන්ද ඔවුන්ට එක් විය. අනතුරුව තරමක් ඈතට ගොස් පාළු තැනකදී මොවුන් තිදෙනා සොරකම් කළ දේපොළ තුනට බෙදා ගත්හ.
අනතුරුව තිදෙනා නිවෙස් බලා ගියහ.
මේ අතර හෙදිය ඇතුළු නිවසේ අය සිරිත් පරිදි අලුයම නැගිට බලන විට නිවසට කිසිවකු ඇතුළුවී ඇති බව දැන ගත්හ. වැඩිදුරටත් සොයා බලන විට නිවසට සොරුන් ඇතුළුවී රන් ආභරණ තොගයක් සහ මුදල් ද සොරකම් කරගෙන ගොස් ඇති බව අවබෝධ කර ගත්හ.
ඒ සමඟම හෙදිය ගාල්ල පොලිසියට ගොස් පැමිණිල්ලක් කළාය. තම නිවසට රාත්‍රී කාලයේ ඇතුළුවූ සොරුන් රන් වළල්ලක්, රන් මුදු දෙකක්, රන් මාල දෙකක් සහ ඔරලෝසුවක්ද රුපියල් එක්ලක්ෂ විසිහත් දහසක මුදලක්ද සොරකම් කරගෙන ගොස් ඇති බවත් මුළු දේපොළවල වටිනාකම රුපියල් දහහත් ලක්ෂ තිස්නව දහසක් වටිනා බවත් එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කළාය.
ඒ පිළිබඳව ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කැලුම් තිලකරත්නගේ උපදෙස් පරිදි මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එස්. ජයවීරගේ මෙහෙයවීම මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී. ජී. ආනන්ද ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කළේය.
සොරකම සිදුවී පැය විසිහතරක් ගතවීමට පෙර පොලිස් පරීක්ෂක ආනන්දට තොරතුරක් ලැබුණි. ඉන් අනාවරණය වූයේ සොරකම් කරන ලද රන් වළල්ලක් විකිණීමට පුද්ගලයෙකු ගාල්ල කළුවැල්ලේ රන් ආභරණ වෙළෙඳ සැලකට එමින් සිටින බවය. ඒ අනුව වහා ක්‍රියාත්මකවූ පොලිස් පරීක්ෂක ආනන්ද ඇතුළු පිරිසක් කළුවැල්ලට ගොස් රන් ආභරණ වෙළෙඳ සැල් අසල රැක සිටියහ. ටික වේලාවක් ගත වන විට පුද්ගලයෙක් පැමිණ රන් ආභරණ වෙළෙඳ සැලකට ඇතුළු විය. ඒ සමඟම වෙස්වළාගෙන සිටි පොලිස් පරීක්ෂක ආනන්ද රන් ආභරණයක් මිලදී ගන්නා මුවාවෙන් වෙළෙඳසැලට ගොස් රන් වළල්ලක් විකිණීමට පැමිණි සිටි සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත අනිත් සැකකරුවන් දෙදෙනාද අත්අඩංගුවට ගනු ලැබූහ. මෙම සොරකම සැලසුම් කළ දිල්ෂාන් සමඟ සොරකම කරන ලද තරුෂ සහ නයන යන සැකකරුවන් විසින් සොරකම් කරන ලද ඉතිරි රන් ආභරණ වෙළෙඳසල්වලට විකුණා තිබියදී සොයා ගෙන තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබිණි.
ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කැලුම් තිලකරත්නගේ උපදෙස් පරිදි මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. එස්. ජයවීරගේ මෙහෙයවීම මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී. ජී. ආනන්ද, පොලිස් පරීක්ෂක සුමිත් පාලිත, සැරයන්වරුන් වන (58987) හසන්ත, (7964) චන්ද්‍රසේන, (13825) කාරියවසම්, (4500) පුෂ්පකුමාර, (58971) බණ්ඩාරිගොඩ සහ (43504) අබේතුංග යන නිලධාරිහු විමර්ශනවලට එක්වූහ.
එස්. දීයගහගේ
දකුණු පළාත් සංචාරක