අහංගම පොලිස් වසමේ වැල්හේන්ගොඩ, නොම්මර 221/2 නිවසේදී ඉකුත් ඔක්තෝබර් 3 වැනිදා රාත්‍රියේ අඹුසැමි යුවළක් කපා-කොටා ඝාතනය කර තිබිණි. එලෙස ඝාතනය කර තිබුණේ 68 හැවිරිදි ප්‍රේමතිලක ජයසිංහ සහ ඔහුගේ බිරිය වන 63 හැවිරිදි අල්ගේවත්තගේ කමනි වීරතුංගය. ඔක්තෝබර් 4 දා අලුයම එම ද්විත්ව ඝාතනය පිළිබඳව අහංගම පොලිසිය දැනුම්වත් කිරීමත් සමඟ එහි විමර්ශන අහංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ජයවීරගේ මෙහෙයවීමෙන් ආරම්භ කෙරිණි.
අමානුෂික ලෙස කපා-කොටා එම යුවළ ඝාතනය කර තිබිණි. එම ද්විත්ව ඝාතනයේ විමර්ශන අහංගම පොලිසිය සිදු කළේ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේ ද උපදෙස් මතය. ඒ අනුව එකී ද්විත්ව ඝාතනයේ විමර්ශනවලට ගාල්ල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ (soco) නිලධාරින් මෙන්ම ඇඟිලි සලකුණු නිලධාරින් ද එක් විය. ඒ අතර සැකකරුවන් සොයා විමර්ශන සඳහා පොලිස් කණ්ඩායම් කීපයක්ම එක් කිරීමට ද ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයෝ කටයුතු කළහ. එහිදී ගාල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කැලුම් තිලකරත්නගේ උපදෙස් මත ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එස්.එල්. නාරංගොඩ ඇතුළු කණ්ඩායම ද එම විමර්ශනවලට එක් වූහ. ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක නාරංගොඩගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක යොහාන් මධුෂංක, කොස්තාපල්වරුන් වන 73121 විතාරණ, 89418 සාරංග සහ78828 ගීතප්‍රිය යන නිලධාරින් කණ්ඩායම සිදුකළ විමර්ශනයකදී එම ද්විත්ව ඝාතනය සිදු කිරීමට අනුබල දුන් සහ එම ද්විත්ව ඝාතනය සම්පූර්ණයෙන්ම මෙහෙයවූ කලහේ ලොකුගේ ප්‍රියන්ත හෙවත් ටෝනි අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධරයන්ට හැකි විය. ඒ ඝාතනයෙන් දින 10ක් ඉකුත් වූ පසුගිය ඔක්තෝබර් 13 දාය.
මේ අතර ටෝනි විසින් එම ද්විත්ව ඝාතනය සිදු කිරීමට රුපියල් කෝටියක් සහ පිස්තෝලයක් ලබාදුන් ටිරාන් සඳරුවන් හෙවත් ටික්කා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ කොස්තාපල් 70701 සම්පත් සිදුකළ සූක්ෂ්ම විමර්ශනයකින් අනතුරුව පොලිස් පරීක්ෂක ගයන්ත ඇතුළු කණ්ඩායමට හැකි විය. ඒ ඉකුත් ඔක්තෝබර් 26 දා පෙරවරුවේය.
ඒ අනුව අහංගම, වැල්හේන්ගොඩ පදිංචිව සිටි ප්‍රේමතිලක සහ කමනි අඹුසැමියන් ඝාතනයට අනුබල දුන් ටෝනි සහ එම ද්විත්ව ඝාතනය සඳහා රුපියල් කෝටියකට කොන්ත්‍රාත්තුව ගත් ටිරාන් සඳරුවන් එම ඝාතනයට ටෝනි විසින් ලබා දුන් ගිනිඅවියද සමඟ රහස් පොලිස් අත්අඩංගුවට පත්වීමේ කතාව දිග හැරෙන්නේ මෙලෙසය.
කමනි සහ ප්‍රේමතිලක අඹුසැමියන් ලෙස වසර 30ක පමණ කලක සිටම වැල්හේන්ගොඩ නිවසේ ජීවත් වූහ. ඔවුන්ගේ මුල් ගම අහංගම පොලිස් වසමේම වෙනත් ගම් ප්‍රදේශයක්ය. වයෝවෘද්ධ කතක වූ කමනිගේ දෑස් වසර 15ක පමණ සිට නොපෙනේ. එහෙත් ඇයට නිවස ඇතුළේ වැඩපළ කිසිම බාධාවකින් තොරව කරගැනීමට හැකියාව පැවැතියේ පළපුරුද්දෙන් මෙනි. ප්‍රේමතිලක රජයේ රැකියාවක නියුතුව විශ්‍රාම සුවයෙන් පසුවිය.
දෙදෙනාට එක් දියණියක පමණක් සිටී. විවාහ වී සිටි දියණිය එම නිවසේම සිය සැමියා සමඟ ජීවත් වේ. ඇය ගැබිනියකි. පසුගිය ඔක්තෝබර් 03 වැනිදා දියණිය සිය සැමියා සමඟ කඩුවෙල පිහිටි සැමියාගේ මහගෙදර නිවසට ගියාය. ඇය තුන්වැනිදා රාත්‍රී 9ට පමණ මවට දුරකතන ඇමතුමක් දුන්නාය. ඊට ප්‍රතිචාර දැක්වූ මව,
“තාත්තයි මායි රෑට කාලා ඉන්නේ දුවේ… දැන් නිදාගන්නයි හදන්නේ…“ යැයි පැවැසුවාය. ඒ සිය මව දියණියට කී අවසන් වදන් පෙළයි.
පසුදා එනම් ඉකුත් ඔක්තෝබර් 4 දා පෙරවරු 8ට පමණ දියණිය මවුපියන්ගේ දුක-සැප විමසීමට දුරකතන ඇමතුමක් ගත්තාය. ඒ මොහොතේ ඇය මවට මෙන්ම පියාගේ ජංගම දුරකතනයට ද ඇමතුම් ගත්ත ද ප්‍රතිචාරයක් නොලැබිණි.
අනතුරුව ඇය ළඟපාත සිටින ඥාති මාමා කෙනෙකුට ඇමතුමක් ගත්තාය.
“මාමේ… අපි කඩුවෙල ඇවිල්ලා ඉන්නේ… අම්මයි තාත්තයි තනියම ගෙදර ඉන්නේ… මං ගෙදර ෆෝන් එකටත් ගත්තා… තාත්තගේ හෑන්ඩ් ෆෝන් එකටත් ගත්තා… දෙන්නම කතා කරන්නේ නෑ… අනේ මාමේ… අපේ ගෙදරට ගිහින් අම්මයි තාත්තයි ගැන පොඩ්ඩක් හොයලා බලන්න පුළුවන් ද?“ යැයි ඇය එලෙස මාමාට ආයාචනය කළාය.
එසැණින් එම ඥාති මාමා වැඩිහිටි යුවළ සිටි නිවසට ගියේය. ඔහු නිවස අසලට යද්දී දුටුවේ ගේට්ටුව මෙන්ම නිවසේ ඉදිරිපස දොරද විවර කර ඇති ආකාරයයි. ඔහු නිවස ඇතුළටම ගොස් පසුව මුළුතැන්ගෙයට ද ගියේය. ඒ මොහොතේ දුටු දේ ඔහුට අදහාගත නොහැකි විය. ප්‍රේමතිලක සහ කමනි යුවළ මුළුතැන්ගෙය තුළ වැටි සිටියේ ලේ විලක් මැදය. කිසියම් කෙනෙකු හෝ පිරිසක් දෙදෙනාගේ ගෙල කපා ඒ දෙදෙනා ඝාතනය කර ඇති බව ඥාති මාමාට බැලු බැල්මට වටහා ගැනීමට හැකි විය.
අනතුරුව එම ද්විත්ව ඝාතනය පිළිබඳව අවට පදිංචිකරුවන්ට ද දන්වද්දී අහංගම පොලිසියට ද එම ද්විත්ව ඝාතනය සැල වූයේ දුරකතන ඇමතුමක් මාර්ගයෙනි. ඒ අනුව අහංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ජයවීරගේ මෙහෙයවීමෙන් විමර්ශන ඇරැඹෙද්දී ගාල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කැලුම් තිලකරත්නගේ උපදෙස් මත ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එස්.එල්. නාරංගොඩගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක යොහාන් මධුෂංක ඇතුළු කණ්ඩායම ද විමර්ශනවලට එක් වූහ.
එම ද්විත්ව ඝාතනය පිළිබඳව අහංගම පොලිසිය ද විමර්ශන සිදුකරද්දී පොලිස් පරීක්ෂක මධුෂංක ඇතුළු කණ්ඩායම ද ඝාතකයන් සොයා ගැනීමේ පොටක් පාදා ගැනීමේ අටියෙන් විවිධ පැති ඔස්සේ විමර්ශන සිදු කළහ. එහිදී එම යුවළ සාහසික ලෙස එලෙස ඝාතනය කිරීමට තරම් ආරවුලක් ද තිබී නැති බවක් විමර්ශන නිලධාරින්ට පළමුවෙන්ම අනාවරණය විය.
එසේම විමර්ශන නිලධාරින් සොයා ගත්තේ මේ යුවළ ගමේ අය සමඟ නොගැවසී තමන්ගේ පාඩුවේ නිවසේම සිටින අය බවය. විමර්ශන නිලධාරින් සීසීටීවී කැමරා පරීක්ෂාවක් සිදු කරන ලදි. එහෙත් එම නිවසේ සීසීටීවී කැමරා නොවීය. අවට නිවෙස්වල සීසීටීවී කැමරා පරික්ෂා කරද්දී යාබද නිවසේ සීසීටීවී කැමරාවක එම යුවළ සිටි නිවසින් ඔක්තෝබර් 4 වැනිදා පෙරවරු 6.38ට පමණ දෙදෙනෙකු පිටව යන ආකාරය දිස්වූයේ එම දෙදෙනාගේ හිස කොටසේ දර්ශන පමණක් සීසීටීවී කැමරාවේ සටහන් වෙමිනි. එය අයිපී මධුෂංක ඇතුළු කණ්ඩායමට නියම හෝඩුවාවක් විය.
අනතුරුව ඒ ඔස්සේ අවට තව තවත් සීසීටීවී කැමරා පරීක්ෂාවේදී එම දෙදෙනා මුහුදුබඩ දුම්රිය මාර්ගයට පිවිස දුම්රිය මාර්ගයේ පා ගමනින් කිලෝමීටරයක් පමණ යන ආකාරයක් හඳුනා ගැනිණි. තව තවත් පරීක්ෂා කරද්දී මේ දෙදෙනා ගාලු – කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිස එම මාර්ගයේද ගාල්ල දෙසට කිලෝමීටරයක පමණ දුරක් පා ගමනින් ගොස් කතළුව හංදියෙන් ත්‍රිරෝද රථයකට නඟින ආකාරය කතළුව හංදියේ අවට සීසීටීවී කැමරා පරීක්ෂාවෙන් අනාවරණය විය.
වැඩිදුරටත් විමර්ශනයේදී හෙළි වූයේ එම පුද්ගලයන් දෙදෙනා එම ත්‍රිරෝද රථයෙන් ගොස් ගාල්ල, දෙවට හංදියෙන් බැස එම ස්ථානයට ගාල්ල දෙසින් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකුගෙන් මුදල් ඉල්ලාගෙන ත්‍රිරෝද රථයේ කුලී මුදල ගෙවන ආකාරයයි. ඒ එදින පෙරවරු 8.45ට පමණය. ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරින් කණ්ඩායම ගාල්ල, දෙවට හංදියෙන් ත්‍රිරෝද රථයෙන් බැස ගිය දෙදෙනා ගැන පුළුල්ව විමර්ශන සිදු කරද්දී එම ස්ථානයේදී දෙදෙනාට යතුරුපැදියකින් පැමිණ මුදල් දුන් තැනැත්තා ගැනත් විමර්ශනය කරන්නට විය.
ඔහු පැමිණි යතුරුපැදිය ඔස්සේ විමර්ශන සිදු කෙරිණි. එම යතුරුපැදියේ දර්ශන ගාල්ල – උඩුගම මාර්ගයේ සීසීටීවී කැමරාවක මනා සේ සටහන් වී තිබිණි. එම යතුරුපැදියේ අංකය මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමෙන්තුවෙන් පරීක්ෂා කෙරිණි. එහි ලියාපදිංචි නම සහිත පුද්ගලයා ද්විත්ව ඝාතනය සිදුවූ නිවසට යාබද නිවසේ අයෙක් බව හෙළි විය.
ඒ සමඟම යුවළ ඝාතනයට විමර්ශන නිලධාරින්ගේ සැකය එම අල්ලපු නිවසේ පදිංචි අයකු වෙත එල්ල විය. පොලිස් නිලධාරින් එසැණින් එම නිවෙස වෙත ගියේය. එහි සිටියේ වැඩිහිටි යුවළක් සමඟ ඔවුන් දෙදෙනාගේ දියණිය සහ පුතුය. ඊට අමතරව වයස අවුරුදු 22ක පමණ තරුණයෙක් එහි සිටියේය. ඔහු වැඩිහිටි යුවළගේ නිවසේ සිටි දියණියගේ පුත්‍රයාය. ඒ පුතුගේ නම්-ගම් විමසද්දී පොලිස් නිලධාරින්ට අනාවරණය වූයේ අදාළ යතුරුපැදිය ඔහුගේ නාමයට තිබෙන බවයි. විමර්ශන නිලධාරින් එකී තරුණයාගෙන් එම යතුරුපැදිය ගැන ප්‍රශ්න කළේය.
“සර්… මං මීට ඉස්සරවෙලා මෝටර් බයික් කීපයක් විකිණුවා…“ යැයි තරුණයා කීවේය.
“මේ ලියාපදිංචි අංකේ තියෙන බයික් එක තමුන්ගේ නමට තියෙන්නේ…“ යැයි පොලිස් නිලධාරින් කියද්දී ඔහු එම යතුරුපැදියේ කතාව කියන්නට විය.
“සර්… ඔය කියන බයික් එක මගේ තමයි… හැබැයි ඔය බයික් එක පදින්නේ මගේ තාත්තා… මගේ අම්මයි තාත්තයි වෙන්වෙලා ඉන්නේ… තාත්තා පිටරට ගෑනු කෙනෙක් එක්ක ගාල්ලේ ජීවත්වෙන්නේ… බයික් එක තියෙන්නෙ තාත්තා ගාව…“ යැයි එම තරුණයා පැවැසීය.
එලෙස හෙළි වූ තොරතුරු ඔස්සේ සැණින් ක්‍රියාත්මක වූ ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක යොහාන් මධුෂංක ඇතුළු කණ්ඩායම අදාළ යතුරුපැදිය පාවිච්චි කළ එදා ත්‍රිරෝද රථයට ගෙවීමට මුදල් රැගෙන ආ පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලදි. ඒ ඉකුත් ඔක්තෝබර් 13 දාය.
එලෙස අත්අඩංගුවට ගැනුණේ කලහේ ලොකුගේ ප්‍රියන්ත හෙවත් ටෝනිය. සංචාරක කර්මාන්තයට අදාළ ව්‍යාපාරික කටයුතුවල නියැළි සිටින 50 හැවිරිදි ටෝනි ගාල්ල, මාගාල්ලේ, ගංගාරාම පාරේ පදිංචිකරුවෙකි. ඔහුගෙන් එම යුවළ ඝාතනය ගැන ප්‍රශ්න කෙරිණි.
එහෙත් ඔහු එම යුවළ ඝාතනයට තමාගේ සබඳතාවක් නොමැති බව පවසමින් ත්‍රිරෝද රථයෙන් පැමිණි දෙදෙනාට මුදල් දුන් බව පමණක් සැබෑවක් බව කීවේය. ඔහුගේ පාපෝච්චාරණයෙන් හෙළි වූයේ ත්‍රිරෝද රථයෙන් බැස මුදල් ඉල්ලූ දෙදෙනා සුසිල් සහ ප්‍රසන්න බවය. එලෙස නම්-ගම් හෙළි වීමත් සමඟ පොලිස් නිලධාරින් මාගාල්ලේම පදිංචිකරුවකු වන සුසිල් සොයා ගියේය. එහෙත් ඔහු සහ ප්‍රසන්න ඒ වන විටත් ප්‍රදේශයෙන් පලා ගොස් සැඟවී සිටියේය.
ඔවුන් දෙදෙනා සොයා මේ වන විට පොලිසිය පුළුල් විමර්ශනයක් සිදු කරමින් සිටී. පොලිස් නිලධාරින් මේ වන විට අනාවරණය කරගෙන තිබෙන්නේ ටෝනි විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත සුසිල් සහ ප්‍රසන්න විසින් කපා-කොටා එම යුවළ ඝාතනය කර ඇති බවය. ඒ එම යුවළගේ යාබද නිවසේ සිටින ටෝනිගේ විවාහක බිරියගේ නිවසේ අය සමඟ තිබෙන ඉඩම් ආරවුලක් හේතුවෙන් සුසිල් සහ ප්‍රසන්න නිවසට රිංගා ඇත්තේ ඔප්පුවක් සෙවීමට බවට ද හෙළි විය. ඒ අනුව එම ආරවුලේ බොහෝ තොරතුරු ද මේ වන විට විමර්ශන නිලධාරින් විසින් අනාවරණය කරගෙන තිබේ.
මේ අතර මෙකී ද්විත්ව ඝාතනයේ විමර්ශන එලෙස සිදු වෙද්දී ඉකුත් ඔක්තෝබර් 26 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ කොස්තාපල් 70701 සම්පත් සිදුකළ සූක්ෂ්ම විමර්ශනයකින් රුපියල් කෝටියක කොන්ත්‍රාතුවකට කාන්තාවක ඝාතනය කිරීමට තැත් කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනුණේ ගිනිඅවියක් ද සමඟිනි. ඔහු හබරාදූව, මීපේ, හෙට්ටිගෙවත්තේ, නිදහස් උයන පාරේ පදිංචි ගාර්දිය වලවේ හේවා ආරච්චිගේ ටිරාන් සඳරුවන් හෙවත් ටික්කාය. ටික්කා අත්අඩංගුවට ගැනීමට රහස් පොලිස් කොස්තාපල් සම්පත්ට පොටක් පෑදෙන්නේ මෙලෙසිනි.
කොස්තාපල් සම්පත්ට සිය පෞද්ගලික තොරතුරුකරුවකුගේ මාර්ගයෙන් මීට මාස තුනකට පමණ පෙරදී තොරතුරක් ලැබිණි.
“සර්… අපේ පැත්තේ පොරකට මර්ඩර් එකකට කන්ට්‍රැක් එකක් දීලා… රුපියල් කෝටියකට කන්ට්‍රැක් එක දීලා තියෙන්නේ… දැන් මිනිහා වෙපන් එකකුත් ළඟ තියාගෙන ඉන්නේ…“ යැයි එම තොරතුරුකරු සම්පත්ට කීවේය.
එසේම තොරතුරුකරු එකී කොන්ත්‍රාත්තුව ගත් පුද්ගලයාගේ නම්-ගම් සියලු විස්තර ද කොස්තාපල් සම්පත්ට ලබා දුන්නේය. කොස්තාපල් සම්පත් මෙවැනි විමර්ශන සඳහාම දක්ෂ රහස් පොලිස් නිලධාරියෙකි.
මීට වසර තුනහමාරකට පමණ පෙරදී ගලපිටමඩ පොලිස් වසමේ බෝගහහේනේ සිදුවූ ඝාතනයක සුලමුල අනාවරණය කරගෙන සැකකරු ගාල්ල දිස්ත්‍රික්කයේ බටපොළ පොලිස් වසමේ සැඟවී සිටියදී ඉකුත් ඔක්තෝබර් 9 දා අත්අඩංගුවට ගැනීමට සමත් වූයේ ද සම්පත්ගේ සූක්ෂ්ම විමර්ශනයක ප්‍රතිඵලයකිනි.
කොස්තාපල් සම්පත් සිය පෞද්ගලික තොරතුරුකරුගෙන් ලද එම තොරතුර පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය දැනුම්වත් කළේය. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණියගේ අධීක්ෂණයෙන් එම කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයන්තගේ මෙහෙයවීමෙන් කොස්තාපල් සම්පත් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශනයක් ඇරැඹීය.
මීට මාස තුනකට පමණ පෙරදී ලද එම තොරතුර පිළිබඳව කොස්තාපල් සම්පත් පැති කීපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කළේ සැකකරු කෙසේ හෝ අත්අඩංගුවට ගැනීමේ අටියෙනි. තොරතුරුකරුගෙන් අනාවරණය වූයේ එම පුද්ගලයා හබරාදුවේ, මීපේ අයෙකු බවයි. විමර්ශන ඇරැඹීමත් සමඟ කොස්තාපල් සම්පත්ට තොරතුරුකරු මාර්ගයෙන් වැඩිදුරටත් හෙළිදරව් වන්නේ එම ගිනිඅවිය ළඟ තබාගෙන සිටින පුද්ගලයා එය සන්තකයේ තබාගෙන සිටින්නේ ගාල්ල, මාගාල්ලේ ව්‍යාපාරිකයකුගේ වුවමනාවකට කාන්තාවක ඇතුළු පිරිසක් ඝාතනය කිරීමට බවයි. එසේම ඔහුට එම ඝාතනය සඳහා රුපියල් කෝටියක මුදලක් පොරොන්දු වුවත් ඒ වන විට ඔහුට රුපියල් 10,000ක මුදලක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ලබා දී ඇති බවත් හෙළි විය.
අනතුරුව ක්‍රියාත්මක වූ කොස්තාපල් සම්පත් උපක්‍රමයක් යොදමින් එම ගිනිඅවිය ළඟ තබාගෙන සිටි පුද්ගලයා හබරාදූව පොලිස් වසමේ මීපේ හන්දියේදී අත්අඩංගුවට ගත්තේය. ඒ ඉකුත් ඔක්තෝබර් 26 දා පෙරවරු 8.20ට පමණය. ඔහු අත්අඩංගුවට ගැනුණේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයන්ත සමඟ කොස්තාපල්වරුන් වන 70701 සම්පත්, 91631 ගුණසිංහ, 97179 පෙරේරා, 97598 රංගේ බණ්ඩාර, 37380 හේමචන්ද්‍ර, 104597 කුමාර සහ කොස්තාපල් රියැදුරු 16471 චාමික ඇතුළු නිලධාරින් කණ්ඩායම සිදුකළ වැටලීමකිනි.
ඔහු අත්අඩංගුවට ගන්නා ලද්දේ ගිනිඅවිය ඉණේ සඟවාගෙන ටී56 අවියට යෙදිය හැකි ජීව උණ්ඩ 6ක් හා පතරොම් බහාලන ලද කුඩා බෑගයක් ළඟ තබාගෙන කිසියම් අපරාධයක් සඳහා තොරතුරු සොයමින් අනියම් පෙම්වතියක හමුවීමට යන අතරේය. අත්අඩංගුවට ගත් ටිරාන් සඳරුවන් හෙවත් ටික්කා 26 හැවිරිදිය. ඔහු මීට පෙර ද බාලවයස්කාර දැරියක අපහරණය කිරීමේ චෝදනාවකට ලක් වූ අයෙකි. තැඹිලි කපන රැකියාවේ නිරත ටිරාන් දැඩි සේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටී. අත්අඩංගුවට ගත් සඳරුවන්ගෙන් පොලිස් නිලධාරින් ප්‍රශ්න කළේය.“තමුන් මේ තුවක්කුවකුත් ළඟ තියාගෙන මොකද්ද කරන්න හදපු අපරාධය…?“ පොලිස් නිලධරයෝ එලෙස ප්‍රශ්න කළහ.
සර්… මට මාස දෙකකට විතර කලින් රුපියල් කෝටියකට කන්ට්‍රැක් එකක් හම්බ වුණා… ඒක දුන්නේ මාගාල්ලේ ටෝනි අයියා… ගෑනු කෙනෙක් මරන්න කියලා… ඒ ගෑනු කෙනා මැරුවම තව වාසි වෙනවා… එතකොට තව මට සලකනවා කිව්වා… ඒ ගෑනු කෙනා අහංගම ඉන්නවා කිව්වේ… මට ඒ ගේම ගහන්න වෙපන් දෙකකුයි රුපියල් දහදහකුයි දුන්නා… දැන් දීලා මාස දෙකක් විතර වෙනවා… මට කිව්වා ලෑස්ති වෙලා හිටපන් එයා කියන දවසට වැඩ කරපන් කිව්වා…“ යැයි සැකකාර සඳරුවන් පොලිස් නිලධාරින්ට පැවැසීය. එසේම ටිරාන් කීවේ,
“සර්… කොහොමහරි මට ඒ මර්ඩර් එක කරගන්න බැරිවුණා… හැබැයි… මේ පහුගිය දවසක ඒ ගෑනු කෙනයි එයාගේ මහත්තයයි කපලා මරලා දාලා තිබුණා…“ යැයි අත්අඩංගුවට ගත් ටිරාන් සීඅයිඩී නිලධාරින් ඉදිරියේ එලෙස පැවැසීය.
අනතුරුව විමර්ශන නිලධාරින් ඒ ගැන සොයා බලද්දී එලෙස ටිරාන්ට රුපියල් කෝටියකට කොන්ත්‍රාත්තුව සහ ඝාතනයට ගිනිඅවිය ලබා දී තිබුණේ ඒ වන විට ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන සිටි ටෝනිය. ඒ අනුව ටෝනි, ජයසිංහ යුවළ ඝාතනයේ කිසිවක් නොදන්නා බව කියන කතාව අසත්‍යයක් බව ටිරාන් හෙවත් ටික්කා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු කළ පාපෝච්චාරණයෙන් ද හෙළිදරව් විය.
කෙසේ හෝ ටිරාන් සඳරුවන් හෙවත් ටික්කා ලවා ටෝනි විසින් එම ඝාතනය කිරීමට බොහෝ සේ උත්සාහ කර තිබිණි. ඔහු දින ගණනාවක්ම ටිරාන්ට එම ඝාතනය කිරීමට දින නියම කර කීවද ටිරාන් එය සිදු කිරීම මඟ හරිමින් ටෝනිගෙන් මුදල් ලබාගනිමින් සිට ඇත. අනතුරුව ටිරාන් විසින් එම ඝාතන සිදු නොකිරීම නිසා ටෝනි විසින් ටිරාන්ව දුන් ගිනිඅවි දෙක ඉල්ලා තිබිණි. එහිදී ටිරාන් එක් ගිනිඅවියක් ඔහුට ලබා දී අනෙක ලබා දීම මඟ හරිමින් සිටියේය.
කෙසේ හෝ ටෝනිට, ටිරාන් ගිනිඅවිය ලබා නොදීමට ගත හැකි ක්‍රියාමාර්ගයක් ද ඒ වන විට තිබී නැත. එම ගිනිඅවිය ළඟ තබාගෙන කිසියම් අපරාධයක් සිදු කිරීමට තැත් කරමින් සිටියදී ඉකුත් 26 වැනිදා ටික්කා සිඅයිඩී නිලධාරින්ට කොටු විය.
මේ වන විට ටෝනි විසින් ලබාගත් ගිනි අවිය සහ කමනි සහ ප්‍රේමතිලක යුවළ ඝාතනයෙන් පසු පලා ගිය සැකකරුවන් දෙදෙනා සොයා පුළුල් විමර්ශනයක් සිදු කෙරෙමින් තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අත්අඩංගුවට ගත් ටිරාන් සඳරුවන් මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාස නිලධාරින් විසින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර සැකකාර ටෝනි අහංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ජයවීරගේ මෙහෙයවීමෙන් සැරයන් 15921 අරුණ විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
අමිල මලවිසූරිය
ඡායාරූප – දකුණු පළාත් සංචාරක