Home » කරත්තකරුවන්ගේ ඓතිහාසික මැදිහත්වීම ගැන හෙළිදරව් කරන්න මට අවශ්‍ය වුණා

කරත්තකරුවන්ගේ ඓතිහාසික මැදිහත්වීම ගැන හෙළිදරව් කරන්න මට අවශ්‍ය වුණා

ලේඛිකා රසිකා සෝලංගආරච්චි

by Mahesh Lakehouse
November 9, 2024 12:30 am 0 comment

මාධ්‍යවේදිනියක් ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ රසිකා සෝලංගආරච්චි නිර්මාණකරණයට පිවිසෙන්නේ සිය මාධ්‍යවේදී දිවිසැරියගත කරද්දී ම ය. ඇසළ අහස නවකතාව ලියමින් නවකතාකරණයට පිවිසි ඇයගේ හතරවන නවකතාව පෙරඹර කළුවරයි. රේන්දකරුවන් ඇසුරේ ලංකාවේ ආර්ථික ඉතිහාසය වියමන් වෙද්දී කරත්තකරුවන්ගේ ආර්ථික මැදිහත්වීම ගැන බොහෝ විට නිර්මාණකරුවන්ගේ අවධානය යොමු වූයේ නැත. ඒ අතීතය සොයා යන රසිකා කරත්තකරුවන් ලංකා ආර්ථික ඉතිහාසයේ සංධිස්ථානයක් වන්නේ කෙසේද යන්න ගැන මේ නවකතාව හරහා පාඨක අවධානයට ලක් කරන්නීය.

පෙරඹර කළුවර ඔස්සේ ඔබ ගමන් කරන්නේ අතීතයට. අතීතය මෙතරම් ඔබට සමීප වෙන්න බලපෑ හේතු කාරණා මොනවාද?

මම හිතනවා අපි හැමෝම යම් තරමකට අතීතකාමී මිනිස්සු කියලා. මම හුඟක් වෙලාවට ඒ පැරණි තොරතුරු සොයන්න ගවේෂණය කරන්න කැමතියි. මාධ්‍යවේදනියක් විදියට කටයුතු කරද්දී මම එවැනි යට ගිය තොරතුරු සොයා බලන විෂයයන්, අවස්ථා ගැන ලිව්වා. මම විශේෂයෙන් කැමතියි පුරාණ ලංකාව ගැන විදේශිකයන් ලියූ තොරතුරු කියවන්න. එවැනි පොත් සෑහෙන ප්‍රමාණයක් මා කියවා තිබෙනවා. ඒවායේ සඳහන් වන පැරණි ලංකාවේ ජන සමාජයට, ජන ජීවිතයට, ස්වභාවික පරිසරයට මම හුඟක් කැමතියි. අනෙක් අතට එවැනි තොරතුරු හා විෂයයන් හැදෑරීම, සෙවීම හා කියවීම එක්තරා පර්යේෂණයක් වගේ. එයින් මගේ දැනුම පුළුල් වෙනවා. මා ඒ තොරතුරු සෙවීමෙන් විශාල ආශ්වාදයක් ලබනවා. ඒ වගේම මම කුඩා කාලයේ හැදී වැඩුණේ ගමක. මම ආච්චි සහ සීයා ඇසුරේ සෑහෙන කාලයක් හිටියා. ඒ පුංචි සන්දියේ ලබපු අත්දැකීම්වලින් ලබා ගත්ත දේවල් මම තවම කියලා ඉවර නෑ කියලත් මට හිතෙනවා. වර්තමාන සමාජයේ කතාවක් කියනවට වඩා අතීත කතාවක් සොයා යන්න මේ කාරණා මාව පොළඹවන්න ඇති කියලා හිතනවා.

විශේෂයෙන් ඉතිහාසය, පුරාවිද්‍යාව වැනි විෂයයන්ට අදාළ ශාස්ත්‍රීය පොතපත කියැවීමට මම කැමතියි. මම හිතනවා හැමෝම ග්‍රහණය කරගත හැකි විදියට ලියන්න මාව පොළඹවන්න ඇත්තේ ඒ ඇසුරෙන් ලැබූ දේවල් නිසයි කියලා. මට නම් අතීතය කියන්නෙ ම හැමවිට ම කුතූහලයෙන් පිරුණු තැනක්. ඒ අතර ත්‍රාසය, භීතිය, සෞන්දර්ය, ආදරය, මානව දයාව, ලෙංගතුකම වගේ බොහෝ දේවල් මට සොයාගන්න පුළුවන්. නවකතාවක් ලියන්න, ඒ වගේ කාරණා හරි ලේසියෙන් යොදාගන්න පුළුවන් කියලයි මගේ හැඟීම. එහි ම මම ගවේශණයක් පර්යේෂණයක් කිරීමයි කරන්නේ. පෙරඹර කළුවර කියන්නේ එවැනි ගවේෂණයක ප්‍රතිඵලයක්.

කරත්තකරුවන්ගේ නැඟීම ලංකා ආර්ථිකයට, දේශපාලනයට හා සමාජයීය වශයෙන් ජනතාවට කළ බලපෑම ගැන කතා කරනවා අඩුයි. මෙවැනි මාතෘකාවක් තෝරා ගැනීමට ඔබේ නිර්මාණාවේශය අවුළුවා ලූ සාධක මොනවාද?

ඕනෑම රටක පවතින සමාජ ආර්ථික පරිසරය ඊට වඩා ඉදිරියට හෝ වෙනත් සමාජයක් කරා ගෙන යාමට මූලිකව ඉවහල් වන සාධක අතර මහාමාර්ග පද්ධතියට ලැබෙන්නේ ඉතාම සුවිශේෂී ස්ථානයක්. මහාමාර්ග ඔස්සේ රටෙන් එළියට යන හා රට ඇතුළට එන දේවල් ඒ රටේ සමාජ විපර්යාසවලට ද ලොකු රුකුලක් සපයනවා. එහිදී ප්‍රවාහන මාධ්‍ය තමා එහි වාහකයා වන්නේ. අතීතයේ දී දී ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය වුණේ කරත්ත. එක්දහස් අටසිය විසිගණන්වල එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ කාලේ නුවර කොළඹ පාර ඉදිවීමත්, ඒ ඔස්සේ රට මැද සිට කොළඹ වරායට කරත්තවලින් මේ රටේ දේවල් පිටරටට ගෙන යෑමත් අපේ යටත් විජිත ඉතිහාසයේ විශේෂ සන්ධිස්ථානයක්. කෝපි, තේ, කොකෝවා ආදී වැවිලි ආර්ථිකය තුළ විශාල තැනක් කරත්තවලට ලැබුණා. කොයිතරම් ද කියනවා නම් කරත්තකරුවන්ට කේවල් කිරීමට හැකියාව ලැබෙනවා තමන්ගේ ගාස්තු සම්බන්ධයෙන්. ඉතිහාසයේ ප්‍රථම වර්ජනය අපට අසන්නට ලැබෙන්නේ කරත්තකරුවන්ගෙන්. මම ඒ පැරණි තොරතුරු සෙව්වා. නමුත් කරත්තකරුවන්ගේ ජීවිත ගැන ලියැවුණු තොරතුරු හරි අඩුයි. අපි දන්නවා මුහුදු බඩ ආශ්‍රිතව ගොඩනැඟුණු රේන්ද කර්මාන්තය ඇසුරෙන් ලංකාවේ වෙනම ආර්ථික, සමාජ විපර්යාසයක්, නැඟීමක් සිදු වුණා. අරක්කු පීප්ප පටව ගෙන රට පුරා බෙදා හැරුණේ කරත්ත මඟින්. රේන්ද, මිනිරන් වැනි කර්මාන්ත ඇසුරේ ගොඩනැඟෙන නව ධනපති පන්තියේ මුල්ම වාසනාවන්තයෙක් වන්නේ මොරටුවේ ජොරනිස් සොයිසා. ඔහුගේ ඥාති සහෝදරයෙක් එක් කරත්තයකින් දියුණු වූ පුද්ගලයකු බව මා අසා, කියවා තිබුණා.

එවැනි මිනිසුන් රටේ සිටින්නට බැරි ද යන පැනය මට ඇති වුණා. මම මට හුරුපුරුදු මගේ ගම් ප්‍රදේශය වන ගම්පහ පැරණි හෙනරත්ගොඩ ආශ්‍රිතව මේ කරත්තකරුවන් ගැන තොරතුරු සෙව්වේ ඒ අනුවයි. වාසනාවට මට එවැනි වයෝවෘද්ධ කරත්තකරුවන් දෙදෙනකු මුණ ගැසුණා. ඔවුන්ගෙන් දැනගත් තොරතුරු බොහෝම රසවත්. පැරණි හෙනරත්ගොඩ කියන්නෙ ම එක් අතකින් කතා සාගරයක්. මම සොයාගත් යම් යම් තොරතුරු මා කියැවූ, ඇසූ දේවල් ඇසුරෙන් පාඨකයාට යමක් දීමට මට අවශ්‍ය වුණා. කරත්තකරුවන්ගේ ජීවිතය කියන්නේ එක්තරා උප සංස්කෘතියක්. කරත්ත කවි ඇරුණම ඔවුන් ගැන තොරතුරු වැඩි දෙනෙක් දන්නේ නැහැ. අපේ අතීත වංශ කතාවේ සුවිශේෂී පංගුකාරයන් පිරිසක් වුණු ඔවුන් ගැන හෙළිදරව් කරන්න මට අවශ්‍ය වුණා. කළුගල් තළා දැමූ නුවර කොළඹ පාරේ කරත්තයක් පසුපසින් ගිය මිනිසකුට රතු විල්ලුද පලස් මත ඇවිදින්නත් බැරිකමක් නෑ කියන හැඟීම මට ඇති වුණේ මේ ගවේෂණයේදි.

පෙරඹර කළුවර ගොඩනැඟීමට ඔබ භාවිත කරන බස ඒ ඒ වකවානුවල අනන්‍යතාව රැකෙන පරිද්දෙන් යෙදීමට ඔබ බොහෝ පරිස්සම් වෙනවා.

ඔව් එය අනිවාර්යයෙන් විය යුතු දෙයක්. අතීත කතාවක් කියද්දි නොගැළපෙන තැනකට යොදන නොගැළපෙන එක් වචනයක් නිසා වුණත් පාඨක විශ්වාසය බිඳී යන්න පුළුවන්. ඒ නිසා මම එතනදී ඉතාම ප්‍රවේශම් වුණා. ඒ වගේම කතාවේ කාලවකවානු වෙනස් වීම, සමාජ පරිසර වෙනස් වීම මට දක්වන්න පුළුවන් එක ක්‍රමයක් තමයි භාෂාව. උදාහරණයක් විදිහට කියනවා නම් මේ කතාවේ මුල් කොටසේ මුදල් හඳුන්වන්නේ කාසි කියන වචනයෙන්. කතාවේ අවසාන භාගයේදී සල්ලි යන වචනය පාවිච්චි කරනවා. තව තැනක උඩිච්චි කියන වචනය මම යොදා ගන්නවා. අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී මේ වචනය යොදා ගන්නේ ‘තේ උඩිච්චි‘ කියලනෙ. මම එහෙම යෙදුවා නම් එතැන විශාල වරදක් වෙනවා. මොකද මම මේ කියන කාලෙ ‘තේ‘ තිබුණෙ නෑනෙ.

විශේෂයෙන් පුද්ගල නාම යෙදීමේදී මට බොහෝ ප්‍රවේශම් වීමට සිදු වුණා. මේ කියන කාලයේ පුද්ගල නාමවලින් ඔහුගේ කුලය තරාතිරම බොහෝවිට හෙළිදරව් වුණා. මට අවශ්‍ය චරිතවල ස්වභාවය එළි දක්වන්න එවැනි කුඩා කරුණු පවා බෙහෙවින් ඉවහල් වුණා. කුලවත් පරම්පරාවල මිනිසුන් අකුරු හතරක පහක නම් යොදා ගනිද්දී කුලහීන මිනිසුන් හැඳින්වීමට යොදා ගත්තේ බොහෝවිට අකුරු දෙකක තුනක නම්. ඒවා ඇසුරෙන් ඔවුන් ජීවත් වන වකවානුව ගැන බොහෝ දේ හෙළිදරව් කිරීමට මට හැකි වුණා.

ජනශ්‍රැතික බස හා ජනවහර ඔබ සුරු ලෙස හසුරුවනවා. මේ ජනවහර ගැන වන අධ්‍යයනය ඔබ කෙලෙස ද සපුරා ගන්නේ…

මමත් ගමක හැදී වැඩුණු කෙනෙක්. ගම්වල මිනිස්සු කතාබහේදී නිතරම උපමාවක් යොදාගෙන කතා කරනවා. මට කුඩා කාලයේ ඉඳලම ඒවා නිතරම ඇහිලා තිබෙනවා. ඒ වගේම ගැමි වහරෙන් ලියැවුණු පොතපත වගේම දෘෂ්‍ය මාධ්‍ය නිර්මාණත් මම හුඟක් ඇසුරු කර තිබෙනවා. කුඩා කාලේ ඉතා දීර්ඝ කාලයක් අපි ජාතික ගුවන්විදුලියේ මුවන්පැලැස්ස නාට්‍ය ඇහුවා. මට මතකයි එහි එන සමහර ගැමි යෙදුම් ගැන පාසලේදී සිංහල ගුරුතුමිය සමඟ පවා කතා කළා. මම ඒ භාෂාවට බොහොම ඇලුම් කරනවා. ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ මම නිබන්ධනයක් සඳහා ප්‍රාදේශීය භාෂා සහ උප භාෂා පිළිබඳ බොහෝ තොරතුරු සෙව්වා. එයින් පසුවත් ඒ පිළිබඳ තව හැදෑරීම් කළා. අද පවා කෙනකු කතාබහ කරන විට යොදන සමහර වචන, යෙදුම්වලින් හෙළිවන සමහර සාමාජයීය තොරතුරු ගැන සෙවීමට මම උනන්දුයි. මං හිතන්නේ පෙරඹර කළුවරේ භාෂාව ඔපමට්ටම් වුණේ ඒවායේ බලපෑමෙන්.

කතාව පුරා ඔබ යම් උපහාසයක් ගොඩනඟනවා. මිනිසුන් කරමින් ඉන්න දේවල් වගේම හිතන දේවල් ගැනත් ඔබ යම් නාට්‍යානුසාරී ලෙසකින් බලනවා…

අපේ සමාජයේ තියෙන සමහර විශ්වාස තර්කයට එකඟ නැහැ කියා මට දැනිලා තියෙනවා. ඒ වගේම ඒ සමහර ඇදහීම් විශ්වාස වගේ දේවල්වලට තිබෙන්නේ එක් එක්කෙනාට අනන්‍ය වූ හේතු මිස පොදු සමාජයට බලපෑමක් කළ කළ හැකි හේතු නොවේ. උදාහරණයක් ලෙස ගතහොත් මෙහි එන කුමීගේ චරිතය විසින් අදිරියන්ට කුඩා වාලම්පූරියක් දෙනවා තමන්ව සිහි වෙන්න තියා ගන්න කියලා. මිනිස්සුන්ගෙ විශ්වාසයක් තියෙනවා දකුණට කැරකුණු වාලම්පුරියක් වාසනාව ගේනවා කියලා. ඒ වාලම්පුරිය කුමී ළඟ තියෙද්දි ඇයට ලැබුණු වාසනාවක් නෑ. ඇයට මරණය පවා අත්වෙනවා. අදිරියන් දියුණු වෙන්නේ ඔහුගේ ශූර බුද්ධියත්, උත්සාහයත්, කැපවීමත් නිසා මිස වාලම්පුරියේ බලපෑමෙන් නොවෙයි. නමුත් ඔහුට එය අමිල වටිනාකමක් සහිත දෙයක් වන්නේ කුමී දුන් නිසයි. ඔහුගෙන් පසු එය ඒ පවුලේ වෙන කාටවත් වැඩක් නෑ. ඒ නිසායි එය පබළු මැණිකා ලවාම පාගවා කුඩු කරවන්නේ. යම් යම් බාහිර දේවල්වල තිබෙන වාසනාව හෝ අවාසනාව එකිනෙකා භාරගන්න විදිය අනුව සාපේක්ෂයි කියලා මම හිතනවා.

සමහර චරිත කතාවේ පෙනී සිටින්නේ එක්වරයි. උදාහරණයක් ලෙස කුමී ගන්න පුළුවන්. නමුත් මුළු කතාව පුරාම ඈ අවිඥානිකව පෙනී සිටිනවා. ඔබේ ආඛ්‍යාන ක්‍රමවේදය ගැන කතා කළොත්?

මට දැනුණ හැටියට පාඨකයන් අතර මේ කතාවේ ඉතාම ජනප්‍රිය චරිතය වුණේ කුමී. ඇය සිටින එකම අවස්ථාව හරිම ශුංගාරාත්මක අවස්ථාවක්. අදිරියන් පවා ඒ මොහොතේ කෙටි වෙලාවකට විඳපු හැඟීම් ජීවිත කාලයම ස්මරණය කරනවා. එහෙම වෙන්නේ කුමී මැරුණු නිසයි. ඒ නිසයි ඔහුගේ තැවුල් සිත ඔහුට වද දෙන්නේ. ඇය ජීවත් වුණා ඔහුට ඇයව කාලයක් යද්දී බොහොම සාමාන්‍ය කෙනෙක් වෙන්න තිබුණා. අපේ සිතේ සදානුස්මරණීය ආනන්දයක් හැමවිටම ඇති කරන්නේ අහිමි වන දේවලුයි. විරහ ගීත ඔය තරම් ජනප්‍රිය වෙන්න හේතුවත් ඒකයි. මෙතනදිත් මම යොදා ගත්තේ ඒ රීතියයි. අදිරියන්ට ජීවිත කාලය පුරා සිතින් විඳවන්න දෙයක් ඉතුරු වුණහම ඔහු එයින් මිදෙන්න මනස වෙනස් දෙයකට යොදවා ඉතාම කාර්යබහුල වී වැඩ කරනවා. ඔහු දියුණු වෙන්නේ ඒ නිසා. මානසික ප්‍රශ්න තැවුල්වලින් මිදෙන්න හොඳම ක්‍රමය තමයි වැඩ කිරීම. ඔහු අනුදන්නේ ඒ ක්‍රමය. ඒ අතරෙ සිතුවම් පටක් වගේ ඉඳහිට පැරණි මිහිරියාව හිත කොනිති ගස්සමින් රිද්දනවා. ඒකත් මිනි­‍ෙහකුට වැඩෙන්න හොඳ දෙයක් කියලයි මම හිතන්නේ.

සුමුදු චතුරාණී ජයවර්ධන

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division