Home » ඉක්මන් ප්‍රතිකාරයෙන් සුව කළ හැකි ආමවාත සන්ධි ශ්‍රෝතය

ඉක්මන් ප්‍රතිකාරයෙන් සුව කළ හැකි ආමවාත සන්ධි ශ්‍රෝතය

by Mahesh Lakehouse
November 9, 2024 12:30 am 0 comment

වැඩිහිටියන් අතරේ ද වත්මන් තරුණ දුවා දරුවන්ගෙන්ද ඉඳහිට ඇසෙන සන්ධි වේදනා, චලන අපහසුතා සහිත පීඩාකාරී තත්ත්ව ආයුර්වේදයේ හඳුනා ගන්නේ අස්ථි සන්ධි ප්‍රදාහිත වීම ලෙසය. එය රෝගයක් ලෙස හඳුන්වනවාට වඩා රෝග පද්ධතියක නාමයක් ලෙස හැඳින්වීම උචිතය. එහි කාණ්ඩ ගණනාවක් තිබෙන අතර අද අප කතා කරන්නේ ආමවාත සන්ධි ශ්‍රෝතය පිළිබඳ ය.

ආමවාත සන්ධි ශ්‍රෝතය

ආයුර්වේද රෝග විඥානයේ දී මෙම රෝගයට හේතුව වන්නේ ශරීරයේ ඇතිවන ආමය සහ වාතය විසින් සන්ධි ස්ථාන පීඩාවට පත් කිරීමය.

ආමය යනු ආහාර ගැනීමෙන් පසු කුස තුළ දී ජීර්ණය වී හොඳින් ජීර්ණය වූ ආහාර කොටස්වල සාරය ශරීරයට උරා ගැනීමෙන් ශරීරය නිවැරදිව පෝෂණය වීම වෙනුවට එම ආහාර නිසි ලෙස ජීර්ණය නොවීමෙන් ශරීරයට අවශෝෂණය වන අමු ආහාර ශ්‍රාවය ආමය වේ. අර්ධ වශයෙන් ජීර්ණය වූ ආහාර සාරය ශරීරගත වන්නේ නම් එය භයානක විෂකි. එය “ආම විශං මහා ඝෝරං” ලෙස ආයුර්වේදයේ දැක්වේ. එම නිසාම ආයුර්වේදය පවසන්නේ කුසගින්න මනාව නඩත්තු කර ගත යුතු බවය.

මේ ආමය, වාතය නමැති ශක්ති ප්‍රභේදය මඟින් සන්ධි ස්ථාන වෙත රැගෙන ගොස් එම සන්ධි ස්ථාන ප්‍රදාහයට ලක් කරයි. ආමවාත සන්ධි ශ්‍රෝතය ඇතිවන්නේ එසේය. එහිදි වැඩි වශයෙන් පීඩාවට ලක් වන්නේ දණහිස, වළලුකර, වැලමිට, උරහිස් සන්ධි වැනි ශරීරයේ විශාල සන්ධිය. අනතුරුව එය ක්‍රමයෙන් අත්වල ඇඟිලි දක්වා ද අනෙක් සන්ධි ස්ථාන වෙතද පැතිරේ.

රෝගයේ මුල් අවස්ථාවේදී අධික වේදනාවක් ශරීරයේ ඇති වේ. පිපාසය, අලස බව, ශරීරයේ බර බව දැනේ. ආහාර නොදිරවීම ප්‍රකට කරයි. ආහාර අරුචිය නිසා මුවට අප්‍රසන්න බවක් දැනේ. චලන අපහසුතාව ඇති වේ. සමහර අවස්ථාවල කොඳුඇටපෙළේ පවා වේදනාව හා තද බවක් ඇති වේ. පපුව තද වෙන්න ගනී. අන්ත්‍ර කූජනය හෙවත් බඩේ ශබ්ද ඇති වේ.

රෝගයෙන් වැළකීමට ආමය වළක්වා ගැනීම

නිසි පාලනයක් සහිත ආහාර රටාවක් අවශ්‍යය. සංයෝග විරුද්ධ ආහාර එකවර නොගත යුතුය.

උදාහරණයක් ලෙස ගොඩ දිය මස් එකට නොකෑ යුතුය. එනම් මස්, මාළු සහ බිත්තර එකට නොකෑ යුතුය. මාංශමය ආහාර ගත් විට කිරි භාවිත නොකළ යුතුය. මාත්‍රා විරුද්ධ ආහාර නොගත යුතුය. එනම් තමන්ගේ දිරවීමේ ශක්තියට නොගැළපෙන ආහාර නොගත යුතු බවය. දිරවිය හැකි පමණට ආහාර ගත යුතුය. කුසයෙන් හතරෙන් එකක් හිස්ව තබා ගැනීම ආයුර්වේද නියමයයි.

කාල විරුද්ධ ආහාරයෙන් වැළකිය යුතුය. එනම් ග්‍රීෂ්ම සීත කාලයට අනුව තමන් විසින් තම ආහාරය තෝරාගත යුතු බවය. ‍

තෙල් අධික ආහාර වැඩි වශයෙන් හෝ රාත්‍රි කාලයේ පරිභෝජනය නොකළ යුතු බව ආයුර්වේදයේ ‍පෙන්වා දෙයි. ආහාරයෙන් පසු යම් කාලයක් ආහාර ජීර්ණය සඳහා ලබා දිය යුතුය.

දවල් කාලයේ නිදා ගැනීම, ව්‍යායාම අඩුව, ආම විෂ ඇතිවීමට පොදු හේතු වේ.

ආමය බලවත් වීමෙන් ඇතිවන ආමවාත සන්ධි ශ්‍රෝතයට කරන ප්‍රතිකාරයේ දී සන්ධිවල තෙල් ගැල්වීම නොකළ යුතු බවය. තෙල් ගැල්වීමෙන් රෝග තත්ත්ව තීව්‍ර කරයි.

බාහිර ප්‍රතිකාර ලෙස පත්තු මැල්ලුම් සහ ඇතුළු රූක්ෂ ප්‍රතිකාර කළ යුතුය. ආමය ඉවත් කරවන අභ්‍යන්තර ප්‍රතිකර්ම ලෙස හැකි තරම් සරල ආහාර ගත යුතුය.

තිත්ත රසය බහුල ආහාරපාන ආමවාත සන්ධි ශ්‍රෝතයට ආයුර්වේදයේ නිර්දේශය වේ. එ‌ෙඬරු තෙල් යොදාගෙන විරේචනය ද ආමවාත සන්ධි ශ්‍රෝතයට හොඳ ප්‍රතිකාරයකි.

ආයුර්වේදයේ පෙන්වා දෙන ආකාරයට සායනික චිකිත්සාව යනු, රෝග නිධානය ඉවත් කිරීමය. මුල් අවස්ථාවේදීම නිවැරදි ප්‍රතිකාරයට යොමු වුවහොත් සන්ධි ආශ්‍රිත මාංසපේශීන්වල පටකවලට හානියක් නොවී රෝගය මුළුමනින්ම සුව කරගත හැකිය.

කල්ගත වුවහොත් එම පටකවලට සිදුවන හානිය වැඩි බැවින් නිවැරදි කරගැනීම ඉතා අපහසුය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division